පුංචි ළමයින්ට හොඳම අධ්‍යාපනික ඇප්ස් 7ක්

අද කාලේ හැදෙන පුංචි ළමයි තාක්ෂණය සහ තාක්ෂණික මෙවලම් එක්ක ගොඩක් දුරට සම්බන්ධයි. එයාලට නවීන තාක්ෂණය ඉවෙන් වගේ තේරෙනවා. ඒ වගේම දරුවන්ගේ වැඩි කැමැත්ත තියෙන්නෙත් මේ තාක්ෂණික මෙවලම් එක්ක ගනුදෙනු කරන්නයි. ඉතින් අකමැත්තෙන් වුණත් වැඩිහිටියන්ට සිද්ද වෙනවා පුංචි ළමයින්ට මේ තාක්ෂණික මෙවලම් පාවිච්චි කරන්න ඉඩ දෙන්න. මොකද තාක්ෂණය කියල කියන්නෙ බිල්ලෙක් නෙමෙයිනේ. හැබැයි ඉතින් හැමදේටම සීමාවක් තියෙනවා. වැඩිහිටියෝ විදිහට අන්න ඒ සීමාව හොඳින් අඳුනගෙන ඉන්න ඕනේ දරුවන්ව තාක්ෂණය එක්ක මිශ්‍ර කරන්න කලින්. විශේෂයෙන් අද කාලේ දරුවන්ට හොඳින්ම හුරුපුරුදු තාක්ෂණික මෙවලම විදිහට ස්මාර්ට් ෆෝන් එක තමයි ගොඩක්ම ජනප්‍රිය. හැබැයි ස්මාර්ට් ෆෝන් වල බොහොමයක් හොඳ පැති වගේම අයහපත් පැතිත් තියෙනවා. ඒවායින් එක යහපත් පැත්තක් තමයි දරුවන්ගේ ඉගෙනීම් වැඩ වලට ස්මාර්ට් ෆෝන් එකකින් ලැබෙන දායකත්වය. ඉතින් ස්මාර්ට් ෆෝන් එකක් දරුවන්ට පාවිච්චි කරන්න ඉඩ දෙන ගමන් ඔවුන්ගේ අධ්‍යාපනය දියුණු කරන්න පුළුවන් ඇප්ස් ගොඩක් දැනට නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේ දරුවන්ට ගොඩක් වැදගත්, ඇප්ස් කිහිපයක් හඳුන්වලා දෙන්නයි අපි අද මේ ලෑස්ති වෙන්නෙ. 

 

1. Youtube Kids

Youtube Kids කියන්නෙ යූටියුබ් එකේම, දරුවන් වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන ස්මාර්ට් ෆෝන් ඇප් එකක්. මේ ඇප් එකේ තියෙන්නේ ළමයින්ගේ වීඩියෝ විතරයි. මේකේ පසුතල නිර්මාණය පවා ළමයින්ගේ ඇස්වලට ආකර්ෂණීය ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතාම සරල විදිහට කුඩා දරුවෙකුට උනත් හසුරුවන්න පුළුවන් වීම විශේෂම දෙයක් මේ ඇප් එකේ තියෙන. මේ ඇප් එකත් සාමාන්‍ය යූටියුබ් ඇප් එක වගේම Chromecast පහසුකම සඳහා සහය දක්වනවා. ලොකු පරාසයක අධ්‍යාපනික, විනෝදාත්මක වීඩියෝ මිලියන ගණනක් මේ ඇප් එක තුළ අන්තර්ගත වෙලා තියෙනවා.

 

 

2. ABC Kids

මේ ඇප් එක ඉතාම කුඩා දරුවන්ගේ ඉඳන් වයස අවුරුදු දහයක් විතර වෙනකන් දරුවන්ට පාවිච්චි කරන්න පුළුවන් ඇප් එකක්. මේක නොමිලේ බාගත කරගන්න පුළුවන් ඇප් එකක්. විශේෂම දේ වෙන්නෙ මේ ඇප් එකේ ඇඩ්ස් ඇතුළත් නොවීමයි. ඒ වගේම අකුරු හැඩ හඳුනා ගැනීමට, ඒවා ශබ්ද කරන ආකාරය හඳුනාගැනීමට සහ විනෝදාත්මක අභ්‍යාස වල යෙදීමට, දරුවන්ගේ හෝඩියේ දැනුම වැඩි කිරීමට මේ ඇප් එක උපකාරී වෙනවා. ඉතින් කුඩාම දරුවන්ට ගොඩක් වටිනා ඇප් එකක් කියලා නිර්දේශ කරන්න පුළුවන් හොඳ ඇප් එකක් තමයි ABC Kids කියන්නෙ.

 

 

3. Intellijoy

Intellijoy කියන්නෙ ඇප්ස් ගණනාවක එකතුවක් තියෙන ආයතනයක්. මේ නමින් ඇප්ස් ගොඩක් තියෙනවා කැමති විදිහට තෝරාගන්න. විශේෂයෙන් Intellijoy Early Learning Academy කියන්නෙ කුඩාම වයසේ දරුවන්ට එක එක ක්‍රියාකාරකම් වල යෙදෙන්න පුළුවන් ඇප් එකක්. පින්තූර පාටකිරීම, හැඩතල හඳුනාගැනීම, පාට හඳුනාගැනීම වගේ එක එක ක්‍රියාකාරකම් වලට එක එක ඇප්ස් මෙයාලගේ තියෙනවා. හැබැයි මේ ඇප්ස් නොමිලේ ලබාදෙන ඇප්ස් නෙමෙයි. යම් මුදලක් අය කරනවා මේ ඇප්ස් වල පහසුකම් ටික ලබාදෙන්න. 

 

 

4. Kids Doodle

දරුවන්ගේ චිත්‍ර ඇඳීමේ හැකියාව දියුණු කරන්න නිර්මාණය කරපු ඇප් එකක් තමයි Kids Doodle. මේ ඇප් එක නොමිලේ ලබාගන්න පුළුවන් ඇප් එකක්. ස්මාර්ට් ෆෝන් එකක් තුළ නිර්මාණය වුණු කැන්වස් එකක් උඩ කැමති කැමති දේවල් අඳින්න, ඒවා මකන්න, වගේ ගොඩක් දේවල් මේ ඇප් එකෙන් කරන්න පහසුකම ලබාදීලා තියෙනවා. දරුවන් ඇඳපු චිත්‍ර වීඩියෝ එකක් විදිහට ප්ලේ කරගන්නත් මේ ඇප් එකෙන් පහසුකම් ලබාදීලා තියෙනවා. විශේෂයෙන් දරුවන්ගේ නිර්මාණ සමාජ මාධ්‍ය වල පළ කරන්නත් මේ ඇප් එකෙන්ම පුළුවන් වීමත් මේ ඇප් එකේ තියෙන විශේෂත්වයක්.

 

 

5. Barefoot World Atlas

මේ ඇප් එක ඇපල් දුරකථන සඳහා විතරයි ලබාගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම මේ ඇප් එක නොමිලේ ලැබෙන ඇප් එකක් නෙමෙයි. මේ ඇප් එක මුදල් ගෙවීමෙන් පසු භාවිතා කරන්න තමයි හැකියාව තියෙන්නේ. හැබැයි කුඩා ළමයින්ගේ රටවල් පිළිබඳ දැනුම වැඩි කරන්න ගොඩක් වටිනා ඇප් එකක් තමයි මේ. රට රටවල් ඇප් එක හරහා ගවේෂණය කරන්න ඒ ඒ රටවල් ගැන දැනුම වැඩිකරගන්න ගොඩක් ලොකු පරාසයක පහසුකම් ගොඩක් මේ ඇප් එකට ඇතුළත් වෙනවා. විශේෂයෙන් සාගර, නගර වගේ දේවල් දරුවන්ටම සොයාගෙන ඉගෙන ගන්න පුළුවන් මේ ඇප් එක හරහා. අවුරුදු හතරට වැඩි දරුවන්ට තමයි මේ ඇප් එක විශේෂයෙන් නිර්මාණය කරලා තියෙන්නේ. 

 

 

6. Busy Shapes

මේ ඇප් එක Android වර්ගයේ දුරකථන වගේම Apple දුරකථන සඳහාත් ලබාගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ ඇප් එක නොමිලේ ලබාදෙන ඇප් එකකුත් නෙමෙයි. නොමිලේ ලබාදෙන වර්ෂන් එකක් තිබුණත් ඒකෙ තියෙන්නේ Demo එකක් විතරයි. ඒ නිසා මේ ඇප් එකේ පහසුකම් ලබාගන්න නම් ඇප් එක මිලදී ගන්න වෙනවා. ඒ නිසා මේ ඇප් එක ඇතුළේ ඇඩ්ස් ඇතුළත් වෙන්නෙ නෑ.  පාට සහ හැඩතල ගැන අවබෝධය කුඩා දරුවන්ට ලබාදෙන්න තමයි මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ. එක එක මට්ටම් වලට දරුවන්ගේ දැනුම දියුණු කරවන ඇප් එකක් විදිහට මේ ඇප් එක නිර්දේශ කරන්න පුළුවන්. 

 

 

7. DP Education

DP එඩියුකේෂන් කියන ඇප් එක අපේ රටේ නිර්මාණය වෙච්ච ඇප් එකක්. විශේෂයෙන් කොරෝනා වසංගතය කාලේදී අධ්‍යාපනය මගහැරුණු දරුවන්ට ලබාදීපු ලොකු අවස්ථාවක් විදිහට මේ ඇප් එක හඳුන්වන්න පුළුවන්. කුඩාම දරුවන්ගේ පටන් උසස්පෙළ දරුවන්ට වෙනකන් අධ්‍යාපනය ලබාගන්න පුළුවන් සුවිශේෂී ඇප් එකක් තමයි මේ. විශේෂම කාරණාව වෙන්නෙ මේ ඇප් එක මුළුමනින්ම නොමිලේ ලැබෙන ඇප් එකක් වගේම ගුරුවරුන් විසින් වීඩියෝ හරහා අධ්‍යාපනය ලබාදීමක් තමයි මේ ඇප් එකෙන් සිද්ධ වෙන්නෙ. විභාග සඳහා සූදානම් වෙන ළමයින්ට නම් කාලසටහනකට අනුව විෂය නිර්දේශ ආවරණය කිරීමත් මේ වසංගත කාලසීමාවේදී කියන්න බැරි තරම් අගය කළ යුතු දෙයක්. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *