ආසියානු රටවල සාම්ප්‍රදායික ඇඳුම් පිළිබඳ තොරතුරු

රටක දේශයක සාම්ප්‍රදායික ඇඳුම හෝ ජාතික ඇඳුම විදිහට බොහෝවිට ඇඳුමක් දැක්වෙනවා. එයින් ඔවුන් සැරසීගෙන සිය ජාතික සංස්කෘතික උත්සව ආදියට සහභාගි වෙනවා. අපෙත් සිංහල අවුරුදු, පෝය, මංගල අවමංගල අවස්ථාවලට සාම්ප්‍රදායික ජාතික ඇඳුම් පාවිච්චි වෙනවා. ඉතින් මේ ජාතික ඇඳුම විදිහට ඇඳුමක් තීරණය වෙන්න ඒ රටේ නිමැවුන රෙදි, ජනතාව කැමති වර්ණ, සෘතු භේදය වැනි සාධක බලපානවා. අපි බලමු ඒ විදිහේ ලස්සන ජාතික ඇඳුම් කිහිපයක් ගැන විස්තර. 

 

1. චීනය – චොන්ග්සම් (Cheongsam) 

චීනයේ වඩාත් ජනප්‍රිය සාම්ප්‍රදායික ඇඳුම  චොන්ග්සම් කියා හඳුන්වනවා. මෙය 1920 දී ෂැංහයි වලදි වැඩිදියුණු වූ විලාසිතා අංගයක් ලෙස දැක්වෙනවා. මෙවැනි ඇඳුම් ඉන් පෙරත් චීන ජනතාව ඇන්දත් එය වඩාත් එකලස් මෝස්තරයක් ලෙස පැමිණියේ ඒ කාලෙදි. මේකෙදි පිරිමි අඳින ඇඳුම  චන්පෝ කියලා හැඳින්වෙනවා. අද වෙච්චි චීනයේ විතරක් නෙමෙයි, තායිවානය හොංකොං වගේ පැතිවලත් මේ ඇඳුම සාම්ප්‍රදායික ඇඳුම  විදිහට පාවිච්චි වෙනවා. චීන කාන්තාවන්ගේ ඇඟ සිහින් සහ අඟ පසඟ සාපේක්ෂව කුඩාතරයි. මේ සාම්ප්‍රදායික චීන ඇඳුම  මගින් කාන්තාවන්ගේ සිරුරේ හැඩය මනාව විදහා පෙන්වනවා.

 

2. ජපානය කිමෝනා (Kimono) 

ජපානයේ කිමෝනාව නම් අපේ රටේ අය දැකලා තියෙනවා. ඔෂින් වගේ පැරණි ජපාන නාටක වල මෙම කිමෝනා ඇඳුමින් එදිනෙදා වැඩ කරන ගෑණු පිරිමි අය පේන්න ඉන්නවා. දැන්නම් ජපානයේ උත්සව අවස්ථා, සාම්ප්‍රදායික අවස්ථාවලට හැරුණාම කිමෝනා එදිනෙදා ජීවිතයට අඳින පළඳින අය දැන්නම්  සෑහෙන අඩුයි. කිමෝනා වලදි විවිධ අවස්ථාවලදි අඳින කිමෝනා වර්ග තියෙනවා. දිග ආකාරයෙන් කපන කිමෝනා ශීත කාලයට වෙනමත් ගිම්හානයට ලිනන් රෙදි වලිනුත් ජපන් ජනතාව පාවිච්චි කළා. මෙම කිමෝනා ඇඳුම් 1600 – 1800 කාලයේදි ජපාන රාජ්‍ය සේවකයෝ සිය නිල ඇඳුමක් විදිහටත් පාවිච්චි කළා. එහෙත් අද වෙද්දි ජපානයේ ඉහළ නිලතල වල අයටත් කිමෝනා අඳින්න කියා බලකිරීමක් නැහැ. ඔවුන් අද යුරෝපීය ඇඳුම ජාතික අවස්ථාවන්ට අඳිනවා.

 

 

3. දකුණු කොරියාව – හන්බොක් (Hanbok)

දකුණු කොරියාවේ සහ උතුරු කොරියාවේ ජාතික ඇඳුම් එක සමාන වුණත් ඒවාට යෙදෙන නම් වෙනස්. දකුණු කොරියාවේ ජාතික ඇඳුම හන්බොක් නම් වෙද්දි උතුරු කොරියානුවන් එය චොසෝන් කියා හඳුන්වනවා. මේ කොරියානු ඇඳුමත් ශතවර්ෂයක් විතර පැරණි ඇඳුමක්. හන්බොක් උත්සව අවස්ථාවලට අඳින සහ සාමාන්‍ය ඇඳුම ලෙස දෙකක් තියෙනවා. ඒ වගේම වයස, සෘතු භේදය ගෑණු පිරිමි අනුවත් මේ ඇඳුම වෙනස් වෙනවා. හන්බොක්වලට නිශ්චිත පාටක් නැහැ. ඔවුන් විවිධ වර්ණ සහ ඩිසයින් ඒ ඇඳුමට යොදාගන්නවා. එක් කලකදී සමාජයේ කුල මල, නිල තල අනුව මේ සාම්ප්‍රදායික ඇඳුම වෙනස් වුණත් අද ඒ තත්ත්වය අඩුයි.

 

 

4. මොංගෝලියාව – ඩීල් (Deel) 

ඩීල් කියන්නේ මොංගෝලියානුවන් අඳින පළඳින ලස්සන ඇඳුම් විශේෂයක්. ඩීල් දැන් නම් විවිධ ආකාරයේ ගවුම් විදිහට අපිට පේන්නට තියෙනවා. ලංකාවෙත් ගවුම් මෝස්තර වලට මේ ඩීල් වල ආභාෂය ලැබිලා තියෙන බව පේනවා. ඩීල් ඇඳුම  සාමාන්‍යයෙන් දිළිසෙන රෙදි වලින් තමයි මහන්නේ. මේ ඇඳුම් ගෑණු පිරිමි දෙපාර්ශවයටම තියෙනවා. ඔවුන් පවුලේ උත්සව අවස්ථාවන්ට සහ චන්ද්‍රමාස අවුරුදු උත්සවයට මේ ඩීල් ඇඳුමෙන් සැරසෙනවා. බෞද්ධ දේශයක් වන මොංගෝලියාවේ පංසල් යන්නත් මේ ඇඳුම පාවිච්චි වෙනවා.

 

 

5. ඉන්දියාව – සාරි සහ කුර්තා

ඉන්දියාව විශාල දේශයක් නිසා විවිධ කලාප වල විවිධ ආකාරයේ සාම්ප්‍රදායික ඇඳුම් තියෙනවා. ඒත් ඉන්දියානුවන් ජාතික ඇඳුම විදිහට නියෝජනය කරන්නට බොහෝවිට සල්වාර් ඇඳුම, කුර්තා සහ සාරි යොදාගන්නවා. සාරිය නම් ඉන්දියානු කාන්තාවන් තවමත් උත්සව අවස්ථාවන්ට වගේම සාමාන්‍ය අවස්ථාවන්ටත් යොදාගන්නවා. ලංකාවේ කාන්තාවන්ගේ උත්සව ඇඳුමක් විදිහට සාරිය එන්නත් ඉන්දියානු ආභාෂය හේතු වුණා. කුර්තා ඇඳුමෙදී දණහිස දක්වා වූ වැඩ දැමූ දිග ශර්ට් එකක් පිරිමි විසින් අඳිනවා. උතුරු ඉන්දියාවේ දිල්ලි වල නම් අද සාරි එදිනෙදා ජීවිතයට අඳින ගැහැණු අය ටිකක් දකින්නට අඩුයි. ඒත් දකුණු ඉන්දියාවේ තවමත් සාරි අඳින කතුන් වැඩි වශයෙන් දකින්නට ඉන්නවා.

 

6. පිලිපීනය – බරොන්ග් ටගාලොග්/ බරොතෙ සායා (Barong Tagalog, Baro’t Saya

Barong Tagalog කියන ඇඳුම  පිරිමි උඩට අඳින කදිම හැට්ටයක් වගේ කමිසයක්. එය අත්දිගට තියෙන්නේ. අත්දිග ෂර්ට් එකක් වැනි මේ ඇඳුම  පිලිපීනයේ දේශපාලකයින් නිලධාරීන් වැනි ඉහළ මට්ටමේ අය අදටත් අඳිනවා. ඔවුන් රට නියෝජනය කරන අවස්ථා වලදි මේ ඇඳුම අඳිනවා. 

Baro’t saya

බ්ලවුස් ෂර්ට් එකක් විදිහට තමයි මේ ඇඳුම කාන්තාවන්ට යොමු වෙන්නේ. මෙය අලංකාරව එම්බ්‍රොයිඩර් මෝස්තර වලින් හැඩ වෙනවා. කුඩා ගැහැණු ළමුන්ට සහ කාන්තාවන්ට වඩාත් අලංකාර මෝස්තර වලින් බරෝතෙ සායා අද වනවිට නිර්මාණය වෙනවා. පිලිපීන කාන්තාවනුත් සිය උත්සව අවස්ථාවන්ට මේ ඇඳුම  අඳිනවා.

 

7. ඉන්දුනීසියාව – කෙබායා (Kebaya)

කෙබායා කියන ඉන්දුනීසියානු ජාතික ඇඳුම කාන්තාවන් සඳහා සැදුනක්. පිලිපීනයේ මැලේසියාවේ වගේ පිරිමි අය කලිසමටත් උඩින් වැටෙන කදිම කමිසයක් සාම්ප්‍රදායික ඇඳුම  විදිහට ඉන්දුනීසියාවේදි අඳිනවා. මේ කෙබායා ඇඳුම ඉන්දුනීසියානු සංස්කෘතියට මුස්ලිම් අරාබි සංස්කෘතියෙන් එකතු වුණු අංගයක් වෙනවා. එහෙත් අරාබි කාන්තාවන්ට වඩා වෙනස් වර්ණ සහ මෝස්තර ඉන්දුනීසියානු යුවතියන් කෙබායා ඇඳුමට යොදාගන්නවා. කෙබායා ඇඳුම් ගවුම් සහ කලිසම් වැනි නවීන මෝස්තර සමගත් ගලපාගන්න ඉන්දුනීසියානු යුවතියන්ට පුළුවන් වෙලා තියෙනවා.

 

ලංකාවේ ජාතික ඇඳුම  විදිහට පිරිමි අය සුදුපැහැති අත්දිග කමිසයත් සරමත් ගැහැණු අය ඔසරියත් පාවිච්චි කරනවා. ඒත් සාම්ප්‍රදායික සීසෑමේ උත්සව වලදී ජනාධිපති අගමැතිතුමන්ලාත් සරම් කෙටිය සහ ටී ෂරට් එකෙන් සැරසිලා ඉන්නවා අපි දකිනවා. ඉතින් ජාතික ඇඳුම  කියන්නෙත් රටවල් දේශයන් අනුව වෙනස් වෙන සුන්දර ඇඳුම් ගොඩක්. ඒ ගැන ඔයාලට යම් විස්තරයක්, මඟ පෙන්වීමක් මේ ආසියානු සාම්ප්‍රදායික ඇඳුම් තුළින් ලැබෙන්නට ඇති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *