ලංකාවට ආවේණික සර්ප විශේෂ 7ක් ගැන කරුණු ටිකක් දැනගමුද?

සර්පයො කියන්නෙ උරග ගණයට අයත් සත්ත්ව කොට්ඨා​සයක්. ලෝකෙ වටේම සර්ප විශේෂ ගණනාවක් ඉන්නවා. ඒ අතරින් ලංකාවට ආවේණික සර්ප විශේෂ 58ක් විතර තියනවා. ඔන්න අද අපි කියන්න හදන්නෙ ඒ අතරින් කිහිපයක් ගැනයි. බලන්න ඔයාලා හිතන් ඉන්න දේවල්ද මෙයාලගෙ ඇත්තම තත්ත්වෙ කියලා. 

 

1. මුදු කරවලා / හත් කරවලා

දැනට හඳුනාගෙන තියන ලංකාවට ආවේණිකම සර්පයො අතරින් ඉන්න උග්‍රම විෂ සහිත සර්පයා තමා මේ. මෙයාලා අයිති වෙන්නෙ Elapidae කුලයටයි. කොච්චර විසද කිව්වොත් මෙයා දෂ්ඨ කරපු කෙනෙක් නින්දෙන්ම මැරෙන්නත් පුළුවන්. මුදු කරවලා වැඩිපුරම රෑට තමා එළියට බහින්නෙ. ඒ වගේම කෑමට පොඩි ගෙම්බන්, මීයන් මෙන්ම වෙනත් සර්පයොත් ආහාරයට ගන්නවා. මෙයාලා පෙනුමෙන් නම් බොහොම ලස්සනයි. හැබැයි වේදනාවකින් තොරව මාරාන්තික විෂ දෂ්ඨ කිරීමේ හැකියාවක් තියෙනවා. පුද්ගලයින්ගේ ශ්වසන පද්ධතිය අක්‍රීය කරන්න මේ විෂ වලට හැකියාව තියනවා. මෙයාලට තියෙන්නෙ බොහොම කෙටි දළ යුගලයක්. ගොඩක්ම ව්‍යාප්ත වෙලා ඉන්නෙ තෙත් කලාපයේ. උග්‍ර විෂ සහිත සර්පයෙක් වුණත් නිස්කාරණේ දෂ්ඨ කරන්නෙ නැහැ. පෑගුණොත් හෝ හිරිහැරයට ලක් වුණොත් දෂ්ඨ කරනවා. 

 

2. පලා පොළඟා 

ලංකාවට ආවේණික එකම රුක්වාසි සර්ප විශේෂය තමයි මේ. පෙනුමෙන් නම් හරිම ලස්සනයි. විෂ අතින් ගත්තොත් මධස්ථ විෂ ඝනයට තමා අයිති වෙන්නෙ. මෙයාලා තෙත් කලාපේ වගේම වියළි කලාපෙත් ඉන්නවා. ඒ ඒ පරිසර අනුවර්තන අනුව පලා පොළඟාගෙ පෙනුමේ පැහැය වගේ එක එක ලක්ෂණ වෙනස් වෙනවා. තෙත් කලාපීය පලා පොළඟාට අනික් ප්‍රදේශ වලට වඩා ලස්සන පැහැයක් තියනවා. මෙයාලගෙ ශරීරයේ වර්ණ​ක නිසා විලෝපිකයන්ගෙන් ආරක්ෂා වෙන්නත් පුළුවන්. දවල් රෑ දෙකේම එක විදියට දකින්න පුළුවන් සර්පයෙක් තමා මේ. කලින් කිව්වා වගෙ මේගොල්ලො ඉන්නෙ ගොඩක්ම ගස්වල අතු අතර. ඒ වගේම මීයන්, ගෙම්බන්, කටුස්සන් වගේම පොඩි කුරුල්ලො ආහාරයට ගන්නවා. තමන්ට අනතුරක් දැණුනම ඉදිරියට පැනලා දෂ්ඨ කරන්න පසුබට වෙන්නෙ නෑ. මෙයාලා දෂ්ඨ කරලා මැරුණු කවුරුත් වාර්තා වෙලා නැති උනත් පලා පොළඟාගෙ විෂ වකුගඩු සහ හදවතට දැඩි බලපෑම් කරන නිසා දෂ්ඨ කළොත් අනිවාර්යයෙන්ම රෝහල් ගත කළ යුතුයි. 

 

3. පඳුරු මාපිලා

මාපිල් වර්ග ගණනාවක් ඉන්නව. ඉනුත් සමහර මාපිල් වර්ග ලංකාවෙ වගේම ඉන්දියාවෙත් ඉන්නව. හැබැයි පඳුරු මාපිලා ලංකාවට ආවේණික වර්ගයක්. තෙත් කලාපීය වනාන්තර ආශ්‍රිතව ඉන්න නිසා නිතර දැකගන්න ලැබෙන සර්පයෙක් නෙවෙයි. ඉතාම කුඩා සිහින් සිරුරක් තමයි මෙයාලට තියෙන්නෙ. මෙයත් රාත්‍රියට ක්‍රියාශීලී වෙන සර්පයෙක්. වැඩිපුරම ගැවසෙන්නෙ ගස් වල. හූනො, කටුස්සො හා හිකනල්ලු වගේ සත්තු දඩයම් කරගන්නවා. සුළු විෂ ඝනයට තමා අයිති වෙන්නෙ. රාත්‍රියේ සැරිසරන මෙයාලා අනතුරක් දැනුනම හිස් පැතලි කරලා වල්ගය අග සොලවනවා. මෙයාලට ගොදුරු අල්ලගන්න වලිගෙත් ගොඩක් උදව් වෙනවා. වනාන්තර වියළීම නිසා තර්ජනයට ලක් වෙලා ඉන්න මෙයා​ල රතුදත්ත පොතට ගිය සර්ප වර්ගයක්. කැලේක ඇවිදින වෙලාවක දැක්කොත් මග ඇරල යනව මිසක් සුළු විෂ සර්පයෙක් වෙන මෙයාලව මරන්න නම් එපා.  

 

4. පහතරට මූකන් තෙලිස්සා

ශ්‍රී ලංකාවට ආවේණික මධ්‍යස්ථ විෂ සහිත සර්පයෙක් තමා මේ. ගොඩක්ම දකින්න පුළුවන් පහතරට තෙත් කලාපයේ. සාමාන්‍යයෙන් පොළඟුන්ට විශේෂ වන තාප සංවේදී ලොරියල් සිදුරක් පිහිටලා තියෙන මෙයාලත් එළියට බහින්නෙ රාත්‍රී කාලෙට. හූනො, මී පැටව් හා ගෙම්බො තමා වැඩිපුර ආහාරයට ගන්නෙ. දවල් කාලේ වේළුණු කොළ අස්සෙ වගේම ලී කොටන් ඇතුළෙත් ඉන්නවා. අනතුරක් හැඟුනම සැඟවෙන්න උත්සහ කරන මොවුන් බියට පත් උනොත් ඉදිරියට පැන දෂ්ඨ කරන්න ඉඩ තියනවා. මෙයාලා බෝවෙන්නෙ පැටව් මඟින්. වරකට පැටව් 3- 10ත් අතර ප්‍රමාණයක් ප්‍රසූත කරනවා. මේ සර්පයාගේ සපා කෑමට ලක් වුණොත් රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. මරණීය විෂක් සහිත නැහැ. කැලෑ වලම ඉන්න කෙනෙක් නිසා වැඩිපුර දෂ්ඨ කිරීම් වාර්තා වෙන්නෙ නැහැ.

 

5. තිත් තුඩුල්ලා

මේ හරිම ලස්සන සර්ප විශේෂය නිර්විෂ සර්පයෙක්. දුඹුරු මිශ්‍ර කළුපාට ශරීරයේ කහ, සුදු ක්‍රීම් පාට තිත් පේළි වලින් ලස්සන වෙලා තියෙනවා. වැඩිපුරම හමුවෙන්නෙ තෙත් කලාපයෙන්. වැස්සත් ​එක්ක පොළවෙන් මතුවෙන ගැඩවිල්ලු තමා වැඩිපුරම ආහාරයට ගන්නෙ. ගෙවතු සහ කෘෂිකාර්මික බිම් වල තෙත පස් ආශ්‍රිතව මෙයාලව දැකගන්න පුළුවන්. ක​ළබල වුණාම ඔළුව හංගගෙන ගුලි වෙනවා. සපාකන්න උත්සහ කරන්නෙ නැහැ. ඒ නිසා දැක්කත් මරන්න නම් එපා. අහිංසක සර්ප විශේෂයක්. 

 

6. කබර දත් කැටියා

ශ්‍රී ලංකාවට ආවේණික සර්පයින්ගෙන් පළමුව විද්‍යාත්මකව විග්‍රහයක් ලැබූ සර්පයන් දෙදෙනාගෙන් කෙනෙක් තමා මේ. දත්කැටියන් විශේෂ දෙකක් ඉන්නවා. මෙයාලා නිර්විෂ සර්ප ජාතියක්. ශරීරය තද දුඹුරු පැහැයක් ගන්නවා. කෙටි හා මොට වූ වල්ගයක් තියන මෙයාලා නිශාචරයි කියලා හැඳින්වූවට ගොඩක්ම හම්බෙන්නෙ සවස් කාලයේ. දවල් කාලයේ කොළ රොඩු හා ගල් හා කොටන් ඇතු​ළෙ තමා වාසය කරන්නෙ. අනතුරකදී හිස සඟවාගන්න උත්සහ කරනවා.  හොඳට වැඩුණු සතෙක් සෙන්ටිමීටර 30ක් වගේ දිගයි. උරග බිත්තර ආහාරය ගන්න තමා ගොඩක්ම කැමති. වනාන්තර වලම ඉන්න නිසා මිනිස්සුන්ගෙ තර්ජනයට ලක් වෙලා නැතිවුණත් රතුදත්ත පොතේ තර්ජනයට ලක්ව ඇති සර්පයෙක් විදියටයි හඳුන්වන්නෙ. 

 

7. මූකලන් හාල් දණ්ඩා

ෂොකාර්ගේ හාල්දණ්ඩා කියන නමින්ද හඳුන්වන මෙයාලා නිර්විෂ සර්ප කොට්ඨා​සයක්. තෙත් කලාපයේ වගේම වියළි කලාපයේත් මෙයාලා ව්‍යාප්ත වෙලා ඉන්නවා. ගොඩක්ම ඉන්නෙ ගස් අතු ආශ්‍රිතවයි. මෙයාගෙ හිසට සාපේක්ෂව ඇස් දෙක ගොඩක් ලොකුයි. මෙයාලා දවල් කාලේ තමයි සැරිසරන්නෙ. ඝන කැලෑවලත් ගෙවතු වලත් දකින්න පුළුවන්. වරකට බිත්තර 7-8ක් වගේ ගස්බෙන වල දානවා. හොඳින් වැඩුණු සර්පයෙක් අඩි 3-4ක් වගේ දිගයි. වනාන්තර එළි කිරීම වගේම විෂ සර්පයෙක් විදියට වරදවා වටහාගෙන මැරීම හින්දා ගොඩක් ජීවිත හානියට ලක්වෙනවා. 

 

අද අපි මේ අරගෙන ආවෙ ලංකාවට ආවේණික සර්ප විශේෂ පනස් ගාණකින් හත්දෙනෙක් විතරයි. සර්පයන් දැක්කම හම්බෝ නයෙක්, හම්බෝ පොළඟෙක් කියල දකින හැම සර්පයම මරන්න හදන්න එපා. උඝ්‍ර විෂ සර්පයන් වුණත් අනතුරක් හැඟුනොත් මිසක් අපිට දෂ්ඨ කරන්නෙ නැහැ. කැලේක යන කොට බූට් සපත්තු වගේ ආරක්ෂිත පාවැසුම් දාගෙන යන එකෙන් සර්පයන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. මේ ආවේණික බොහොමයක් සර්පයන් ජීවිත තර්ජනයන්ට ලක්වෙලා නිසා හැකි තරම් සර්ප සම්පත රැකගන්න අපි උත්සහ කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *