ස්මාට්ෆෝන් එකෙන් ඔෆිස් වැඩ කරමුද? මෙන්න ඒකට ප්‍රයෝජනවත් ටිප්ස්!

දැන් කාලේ වර්කින්ග් ෆ්‍රොම් හෝම්, එහෙම නැතිනම් ගෙදර ඉඳන් වැඩ කරනවා කියන එක සෑහෙන්න ජනප්‍රියයිනේ. ඒකට හේතු තියෙනවා. එකක් තමයි කොවිඩ්-19 එක්ක ගොඩක් අයට ගෙවල් වලටම සීමා වෙන්න සිද්ධ වුණු නිසා, ලෝකේ පුරා ලොක්ඩවුන් ඇතිවුණු නිසා. එතකොට වර්කින්ග් ෆ්‍රොම් හෝම් ක්‍රමේට වැඩත් කෙරිලා, ඔෆිස් වල වියදම් එහෙමත් අඩු වෙනවා කියලා අවබෝධ වීමත්, ඒකට එක හේතුවක් වුණා. හැබැයි දැන් අපිට වර්කින්ග් ෆ්‍රොම් හෝම් කියන තැන ඉඳලා, වර්කින්ග් ෆ්‍රොම් ස්මාට්ෆෝන් කියන තැනටම යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව මේ වෙනකොට ශ්‍රී ලංකාවේ අපි අත්දකින නිරන්තර කරන්ට් කැපිල්ල. කරන්ට් කැපුවා කියලා ආණ්ඩුවට බැණ බැණ පාරට බහින එක වෙනම දෙයක්, හැබැයි ඉතින් අපිට පැය පහ හය දුවන්න පුලුවන් ලැප්ටොප් එහෙමත් නැතිනම්, ගොඩක් වෙලාවට කරන්ට් ගියහම අපේ ලැප්ටොප් එකත් ඕෆ් වෙනවා නම්, අපි කොහොමහරි කරන්‍ට් හොයාගෙන හරි ඔෆිස් වැඩ සම්පූර්ණ කරන්නත් ඕනනේ. ආන්න ඒ කාරණාව නිසා, අපිට තියෙන එක විකල්පයක් තමයි ස්මාට්ෆෝන් එකෙන් වැඩ කරන්න හුරු වෙන එක. ලැප්ටොප් එකකින් වැඩ කරපු කෙනෙක්ට ස්මාට්ෆෝන් එකෙන් ඔෆිස් වැඩ කරන එක පටන් ගැන්මට ටිකක් අමාරු වැඩක් වෙන්න පුලුවන්. හැබැයි ඇත්තටම ඒක බැරි වැඩක් නෙවෙයි.

 

අන්න ඒ නිසා, අපි කියන්න යන්නේ, ස්මාට්ෆෝන් එකෙන් ඔෆිස් වැඩ කරන්න උපකාරී වෙන ටිප්ස් කීපයක් ගැන.

 

01. පවර් බෑන්ක් 

සාමාන්‍යයෙන් දැන් තියෙන හොඳම වර්ගයේ ස්මාට්ෆෝන් එකක් වුණත්, එක දිගට ඔෆිස් වැඩ වලට පාවිච්චි වෙනවා නම්, බැටරි බලය රඳා පවතින්නේ උපරිම දවසක් වගේ තමයි. ඒකත් ඉතින් ටිකෙන් ටික අඩු වෙලා යනවනේ. ඒ නිසා හොඳම දේ තමයි නිතරම ස්මාට්ෆෝන් එක හොඳ චාර්ජ් එකක් එක්ක තියාගන්න එක. උදාහරණයක් විදියට CEB ඇප් එක පාවිච්චි කරලා තමන්ගේ ඒරියා එකේ පවර් නැති වෙන වෙලාවල් දැකගන්න පුලුවන්. ඊට පස්සේ, පවර් නැතිවෙන වෙලාවත් එක්ක බලල ෆෝන් එක චාර්ජ් එකේ තියාගන්න පුලුවන්. හැබැයි ඒ අතරම, පවර් බෑන්ක් එකකටත් ආයෝජනය කරලා තියන එක පාඩුවක් නෑ. එතකොට හදිසියේ ස්මාට්‍ෆෝන් එකේ බැටරි ඉවර වුණත්, පවර් බෑන්ක් එකෙන් චාර්ජ් කරගන්න පුලුවන්. ඒ ඇරෙන්න පවර් බෑන්ක් එකෙන් ගන්න පුලුවන් තව ප්‍රයෝජනයක් ගැන ඉස්සරහට අපි කතා කරනවා. ඒ වගේම, පවර් බෑන්ක් එකක් ගන්නකොට, අඩු ගාණට වැඩි පවර් එකක් පොරොන්දු වෙන ෂුවර් නැති, බ්‍රෑන්ඩ් නැති එව්වා ගන්න එපා.

 

02. රවුටර් එකත් ඔන්

මේ දවස් වල පවර් ගියහම තියෙන තව ප්‍රශ්නයක් තමයි, ටික වෙලාවකට පස්සේ ඔන්ලයින් වැඩ කරගන්න බැරි වෙන එක. ඒ කියන්නේ මොබයිල් ඩේටා 4G වලින් 3G වලට බැහැලා, ඊට පස්සෙ 2G වෙලා අන්තිමට වැඩක් කරගන්නම බැරි තරමට ස්ලෝ වෙනවා. ඔය ටීම්ස් මීටින්ග්, සූම් මීටින්ග් එහෙම ඒ වෙලාවට වානා. ආන්න ඒකට හොඳ විසඳුමක් තමයි ගෙදර රවුටර් එකක් තියෙනවා නම්, ඒ රවුටර් එක පවර් බෑන්ක් එකෙන් දුවාගන්න පුලුවන් විදියේ කේබල් එකක් ගන්න එක. ඒ කියන්නේ 12V USB කේබල් එකක්. අන්න එතකොට, වර්කින්ග් ෆ්‍රොම් ස්මාට්ෆොන් වැඩේ කිසිම කරදරයක් නැතුව ස්මූත්ලි කරගෙන යන්න පුලුවන්. ගොඩක් වෙලාවට අපි දැන් කාලේ ඔෆිස් වැඩ කරනකොට ප්‍රධාන වශයෙන් වුවමනා වෙන්නේ හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්නේ. ගෙදර ෆයිබර් ලයින් එකක් එහෙම තියෙනවා නම්, මේ ක්‍රමේට ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් නොවී වැඩේ ස්මාට්ෆෝන් එකෙන් කරගෙන යන්න පුලුවන්.

 

03. ඔප්ටිමම් ලෙවල් එකට ස්මාට්ෆෝන් හැකියාව

දැන් මේ වර්කින් ෆ්‍රොම් ස්මාට්ෆෝන් වැඩේ සෑහෙන්න ලොකුවට සිද්ධ වෙනවා නම්, හොඳම ක්‍රමය තමයි වැඩ වලටම වෙනම ෆෝන් එකක් තියෙන එක. සමහරුන්ට නම් කම්පැණි එකෙන්ම වෙනම ෆෝන් එකක් දෙනවනේ. හැබැයි එහෙම දුන්නත් නැතත්, ඔෆිස් වැඩ කරන්න පාවිච්චි වෙන ස්මාට්ෆෝන් එක ප්‍රශස්ත ක්‍රියාකාරීත්වයකින් පවතිනවා කියන එක ෂුවර් කරගන්න ඕන. ඒ කියන්නේ මෙමරි කැපෑසිටි ෆුල් වෙනකල් රටේ තියෙන තරම් වීඩියෝ ඩවුන්ලෝඩ් කරලා, ඊට පස්සේ පාවිච්චි කරන නොකරන ඇප් වලින් සහ ගේම් වලින් ෆෝන් එක පුරවාගෙන නම් ඉන්නේ, වර්කින්ග් ෆ්‍රොම් ෆෝන් වැඩේ කොට උඩ යන්න තියෙන ඉඩ වැඩියි. ඒකට හේතුව, උපරිම කාර්යක්ෂමතාවයකින් ඔෆිස් වැඩ කරන්න නම්, ෆෝන් එක ස්මූත්ලි දුවන්න ඕන. අතරමැද ස්ටක් වෙන්න එහෙම බෑ. ආන්න ඒ නිසා, ඔෆිස් වැඩ කරන ෆෝන් එක පුලුවන් තරම් ප්‍රශස්ත ක්‍රියාකාරීත්වයකින් තියෙන බවට හැමතිස්සෙම වග බලා ගන්න ඕන.

 

04. කෝල් වලට පොඩි ෆෝන් එකක්?

දැන් සාමාන්‍යයෙන් වර්කින් ෆ්‍රොම් හෝම් කරන කෙනෙක් දන්නවා ඇතිනේ අපිට දවසකට කෝල්ස් කීයක් නං එනවද කියලා ඔෆිස් වැඩ වලට. අන්න ඒ වෙලාවට අපිට කෝල්ස් එන්නෙත් වැඩ කරන ෆෝන් එකටම නම්, ඒක ප්‍රශ්නයක්. නිකමට හිතන්න, ඊමේල් එකක් ෆෝන් එකෙන් ටයිප් කර කර ඉන්නකොට කෝල් එකක් ආවහම තියෙන වදේ ගැන. ඒ ඇරෙන්න ඉතින් කෝල්ස් වැඩිපුර එනවා කියන්නෙත් බැටරි බහිනවා කියන එකනේ. අන්න ඒ නිසා, ඕන නම් පොඩි ෆීචර් ෆෝන් එකක් තියාගන්න පුලුවන් විශේෂයෙන්ම කෝල්ස් ගන්න සහ ආන්සර් කරන්න. ඔය පොඩි ෆීචර් ෆෝන්ස් වල දවස් ගණන් බැටරි පවර් තියෙන හින්දා, ඒකත් අමතර වාසියක්.

 

ඒ ඇරෙන්න තව දෙයක්. වර්කින් ෆ්‍රොම් ෆෝන් නම් හෙඩ්සෙට් එකකටත් ආයෝජනය කරලා තියෙන එක පාඩු නෑ. මොකද, ටයිප් කරන්න, සර්ච් කරන්න වගේ දේවල් අතරේ කෝල් එකක් ආවහම එක අතකින් ෆෝන් එක කණේ තියාගෙන ඉන්න එක අමාරු නිසා.

 

05. ටූල්ස් පාවිච්චි කරන්න

දැන් අපි කියමු ඔෆිස් එකේ ටීම් එකත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ මයික්‍රොසොෆ්ට් ටීම්ස් හරි ගූග්ල් මීට් හරි ඔස්සේ කියලා. ඒ ඇරෙන්න ඉතින් ගූගල් ඩොක්ස්, ගූගල් ස්ලයිඩ්, ගූගල් ෂීට්ස් හරි ඔෆිස් ඇප්ස් හරිත් පාවිච්චි වෙන්න පුලුවන්. ඒ ඇරෙන්න අපිට අවශ්‍ය වෙන ටූල්ස් මොනවද? එකක් තමයි ගූග්ල් කීප්. අපිට අවශ්‍ය දේවල් නෝට් ඩවුන් කරලා තියාගන්න, කටු සටහන් ගහගන්න වගේම, කම්පියුටර් එකෙන් කරපු වැඩ ෆෝන් එකටත්, ෆෝන් එකෙන් කරපු වැඩ කම්පියුටර් එකටත් ගන්න ගූගල් කීප් සෑහෙන්න ප්‍රයෝජනවත්. එතකොට සම්පූර්ණ ටීම් එකේම වැඩකටයුතු උඩ Trello, ClcikUp, Zendesk වගේ ඇප්ස් පාවිච්චි කරන්නත් පුලුවන්.

 

06. වොයිස් කමාන්ඩ්ස්

දැන් අපිට ලැප්ටොප් එකක හරි, වෙනත් කීබෝඩ් එකක හරි ටයිප් කරන ලේසියෙන්, ස්මාට්ෆෝන් එකක තියෙන වර්චුවල් කීබෝඩ් එකේ ටයිප් කරන්න බැහැනේ. විශේෂයෙන්ම ඔය මැසෙන්ජර් මැසේජ් ටයිප් කරනවා වගේ නෙවෙයිනේ ඊමේල් එකක්, රිපෝට් එකක් එහෙම ටයිප් කරනකොට. ආන්න ඒ නිසා, අපිට ඒකට පහසු ක්‍රමයක් හොයාගන්න අවශ්‍යයි. අපි වොයිස් ටයිප් කරලා බලමුද? මොකද හිතන්නේ? ඉංග්‍රීසියෙන් වොයිස් ටයිපින් වලට ගූගල් කීබෝඩ් එකේ ඉඳන් තව සෑහෙන්න කීබෝඩ්ස් තියෙනවා. අවශ්‍ය එකම දේ ටිකක් පැහැදිලි ඉංග්‍රීසි උච්ඡාරණයක් විතරයි. එතකොට සිංහල වොයිස් ටයිපින් වලටත් හෙලකුරු කීබෝඩ් එක සෑහෙන්න සපෝට් එකක් දෙනවා. හෙලකුරු කීබෝඩ් එක දැන් සෑහෙන්න ඇඩ්වාන්ස් නිසා, ඒක පහසුවෙන්ම කරගන්න පුලුවන්. මේ වොයිස් ටයිපින් වලට හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් වුවමනා වුණත්, අපි දෙවෙනියට කියපු ට්‍රික් එක ඔස්සේ ඉන්ටර්නෙට් ප්‍රශ්නේ විසඳෙන නිසා, වොයිස් ටයිපින් අවුලක් වෙන්නෙ නෑ.

 

ඒ ඇරෙන්න සිරී, ගූග්ල් ඇසිස්ටන්ට් එහෙමත් සෑහෙන්න පාවිච්චි කරන්න පුලුවන් ස්මාට්ෆෝන් එකෙන් ඔෆිස් වැඩ කරනකොට. උදාහරණයක් විදියට ගත්තොත්, කැලැන්ඩර් නෝටිෆිකේෂන්ස්, රිමයින්ඩර්ස් එහෙම තියන්න, ඊමේල්ස් කියවගන්න වගේ නොයෙක් වැඩ වලට.

 

07. ඩිජිටල් එක්ක ඕල්ඩ් ස්කූල් ක්‍රම

වර්කින්ග් ෆ්‍රොම් ෆෝන් කිව්වහම, පාවිච්චි කරන්න ඕන ෆෝන් එක විතරයි කියලා නියමයක් නෑ. තමන්ගේ වැඩ කටයුතු පහසු කරගන්න තව පාවිච්චි කරන්න පුලුවන් දේවල් තියෙනවා. එක උදාහරණයක් තමයි පරණ පුරුදු විදියට නෝට්පොතකුයි පෑනකුයි ළඟ තියාගන්න එක. අපි කියමු අපිට මොකක් හරි රිපෝට් එකක් හදන්න තියෙනවා කියලා. එහෙම නැතිනම් විශ්ලේෂණයක් ලියන්න තියෙනවා කියලා. දැන් ඕකට අවශ්‍ය තොරතුරු තියෙන්නේ ෆෝන් එකේමනේ. එතකොට ඒක බල බල, අපි ටයිප් කරන ඇප් එක ඕපන් කරගෙන ටයිප් කරල, ආයෙමත් තොරතුරු තියෙන තැනට ගිහින් ඒක බලලා, ආයෙමත් ටයිප් කරන ඇප් එකට ඇවිල්ලා දඟලන එක කරදරකාරී වැඩක්. හැබැයි අපිට බැරිද ස්මාට්ෆෝන් එකෙන් අවශ්‍ය තොරතුරු බලාගෙන නෝට්පොතේ අවශ්‍ය සටහන ගහගන්න? ඊට පස්සේ කරන්න තියෙන්නේ කෙලින්ම නෝට්පොත බලාගෙන අවශ්‍ය රිපෝට් එක හරි විශ්ලේෂණය හරි ටයිප් කරන එක විතරයි. ඒ වගේ ගොඩක් දේවල් වලට නෝට්පොතක් ළඟ තියාගන්න එක ප්‍රයෝජනවත්, අපි හිතනවටත් වඩා!

තව බෝනස් කාරණයක් තියෙනවා. වර්කින්ග් ෆ්‍රොම් ස්මාට්ෆෝන් නම්, කරුණාකරලා, ස්මාට්ෆෝන් එකේ සෙටින්ග්ස් වල නෝටිෆිකේෂන් වලට ගිහින්, තමන් ඔෆිස් වැඩ වලට පාවිච්චි කරන්නෙ නැති යූටියුබ්, ෆේස්බුක් වගේ ඇප්ස් වල නෝටිෆිකේෂන් තාවකාලිකව ඕෆ් කරලා තියන්න. ඒක අවශ්‍යනම් ප්‍රොෆයිල් එකක් විදියටම හදාගන්න පුලුවන්. එතකොට ඒ වර්ක් ප්‍රොෆයිල් එක ඇක්ටිවේට් කළහම, අනවශ්‍ය නෝටිෆිකේෂන් එන්නෙ නෑ. ඒ නිසාම අනවශ්‍ය විදියට අවධානය එහෙ මෙහෙ යන්නෙත් නෑ.

Leave a Reply

Your email address will not be published.