කොරෝනා එක්ක ජීවිතේ හැමදෙයක්ම වගේ ඔන්ලයින් සිදුකෙරෙන කාලයක් මේක. දරුවන්ගේ අධ්‍යාපනය, ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ගෙන්වා ගැනීම වගේම බහුතරයක් දෙනාගේ රැකියාවත් කෙරෙන්නෙ ඔන්ලයින්. ඒ වගේම තමා රැකියා සම්මුඛ පරීක්ෂණ. නිරෝධායන ඇඳිරිනීතිය වගේම සෙනඟ ඒකරාශී කරන්න තියෙන නොහැකියාව නිසා හුඟක් සම්මුඛ පරීක්ෂණ දැන් සිදුවෙන්නෙ ඔන්ලයින් ක්‍රමයට. ඒ කියන්නෙ ස්කයිප්, සූම් හෝ ටීම්ස් වගේ පහසුකමක් හරහා දෙපාර්ශවය දෙතැනක ඉඳලා මුහුණට මුහුණ බලාගෙන කෙරෙන කතාබහක් විදිහට. සාමාන්‍යයෙන් අපි ඉස්සර ගියපු ඉන්ටර්වීව් එකක් සහ මේ ඔන්ලයින් ඉන්ටර්වීව් එකක් කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයන් දෙකක්නේ. ගෙදර කම්පියුටර් එකක් ඉදිරියේ ඉඳගෙන සැහැල්ලුවෙන් කරන්න තියෙන නිසා හුඟක් දෙනෙක් මේ ඔන්ලයින් ඉන්ටර්වීව් ගැන බොහොම සරලව හිතන්නෙ. හැබැයි ඒක එහෙමමත් නැහැ. අපි බලමු සාර්ථකව ඔන්ලයින් ඉන්ටර්වීව් එකකට මුහුණ දෙන්නෙ කොහොමද කියල.
1. සුදුසු ස්ථානයක් තෝරාගන්න
ගෙදර වෙනදා පරිගණකය තියලා තියෙන තැනම මේ සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න සුදුසු නොවෙන්න පුළුවන්. කැමරාවක් හරහා ඔබව ඔවුන්ට පෙනෙන නිසා ඔබේ මුහුණේ ඉරියව් නිවැරදිව පෙනෙන හොඳ ආලෝක තත්ත්වයක් තියෙන තැනක් තෝරාගැනීම වාසිදායකයි. මොකද සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකදී වගේ body language එක පරීක්ෂා කිරීමේ හැකියාවක් නැති නිසා ඔවුන් මුහුණේ ඉරියව් වෙනස්වෙන ආකාරයට වැඩි අවධානයක් දෙන්න පුළුවන්. ලැප්ටොප් පරිගණකයක්නම් නිවසේ ස්ථාන කිහිපයක තියලා කැමරාවට පෙනෙන විදිහ තේරුම් ගන්න. එහා මෙහා ගෙනියන්න අපහසු ඩෙස්ක්ටොප් පරිගණකයක්නම් ඒ තැනට ආලෝකය ලැබෙන විදිහට විදුලි බුබුලක් හරි සවිකරගන්න.
ඒ වගේම තමයි පසුබිම ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. ඉන්ටර්වීව් පැනල් එකේ සාමාජිකයින්ගේ අවධානයට බාධා ඇතිවෙන බඩු පිරුණ, නැත්තම් ඔබේ ප්‍රතිරූපයට හානිවෙන අපිරිසිඳු පෙනුමැති පසුබිමක් තෝරාගන්න එපා. සුදු හෝ ලා පැහැති බිත්තියක්, තිර රෙද්දක් වගේ දෙයක්නම් වඩාත් හොඳයි. ඒ මොකක්වත්ම නැතිනම් බැක්ග්‍රවුන්ඩ් එකක් වෙනස් කරගැනීමේ පහසුකමත් දැන් ඔය හැම සොෆ්ට්වෙයාර් එකකම වගේ තියෙනවා. බැරිම අවස්ථාවක විතරක්නම් එහෙම එකක් දාගන්න. මොකද ඒක ඒ තරම්ම ප්‍රොෆෙෂනල් නැහැ.
2. බාධාවන් ඉවත් කරන්න
පෙනුම වගේම තමා අවටින් ඇහෙන අනවශ්‍ය ශබ්දත් හැකිතරම් පාලනය කරන්න ඕන. පොඩි ළමයින්, සුරතල් සතුන් ඉන්නවනම් අදාළ වෙලාවට ඔවුන්ව ටිකක් ඉවත් කරලා තියන්න. ඒ නිසා හොඳින් දොර වහන්න පුළුවන් කාමරයක් වගේ තැනක් තෝරාගැනීම තමයි හොඳ. අතරමැදදී ඇහෙන ශබ්ද නිසා ඔබ කියන දේ ඔවුන්ට නොඇසෙන්න පුළුවන් වගේම ඔබ ගැන ඇතිවෙන ප්‍රතිරූපයටත් හානි වෙන්න පුළුවන්.
3. පරිගණකය සූදානම් කරගන්න
ඉන්ටර්වීව් එකට කම්පියුටර් එක ලෑස්ති කරගන්න අන්තිම මොහොත වෙනකං ඉන්න එපා. ඔවුන් ඉන්ටර්වීව් එක කරන අදාළ සොෆ්ට්වෙයාර් එක කලින්ම ඩවුන්ලෝඩ් කරගෙන තියාගන්න. ඒවායේ සෙටින්ග්ස් හදාගෙන තියාගන්න. පරිගණකයේ කැමරාව, මයික්‍රෆෝනය, ස්පීකරය හොඳින් වැඩකරනවද කියලා කලින් පරීක්ෂා කරගන්න. ලැප්ටොප් එකක්නම් ප්‍රමාණවත් බැටරි තියෙනවද කියලා පරීක්ෂා කරන්න. ඒ වගේම අදාළ වෙලාවට විනාඩි 10ක් 15ක්වත් කලින් ලොග් වෙලා සූදානමින් ඉන්න.
4. අන්තර්ජාල සම්බන්ධතාවය පරීක්ෂා කරන්න
මේකත් හරිම වැදගත් කාරණාවක්. අන්තර්ජාල සම්බන්ධතාවයේ ගැටළු නිසා සම්මුඛ පරීක්ෂණය අතරමැදදී බාධා ඇතිවීම අවාසියක් වෙන්න පුළුවන්. මුලින්ම සුදුසු තැනක් තෝරාගන්නකොටම ගෙදර හොඳට සිග්නල් තියෙන තැනක් වීම ගැනත් සළකා බලන්න. ඒ වගේම අන්තර්ජාල සම්බන්ධතාවයේ ඉන්ටර්වීව් එකට ප්‍රමාණවත් තරම් ඩේටා තියෙනවද කියන එකත් පරීක්ෂා කරගන්න.
5. පෙර පුහුණුවක් කරන්න
පසුබිම, ආලෝක තත්ත්වය, පරිගණකයේ ශබ්ද හරියටම තියෙනවද කියල පරීක්ෂා කරගන්න වගේම සොෆ්ට්වෙයාර් එක හුරු කරගන්නත් සම්මුඛ පරීක්ෂණයට කලින් ගෙදර කෙනෙක් හෝ යහළුවෙක් සමඟ පුහුණුවීමක් කරන්න. ඉන්ටර්වීව් එකක් වගේම නෙමෙයි. නිකම් සාමාන්‍ය කතාබහක් ප්‍රමාණවත්. අනික් පස ඉන්න කෙනාගෙන් පේන්න තියෙන අඩුපාඩු ගැන අහගන්න. ඒ වගේම ඔවුන්ගේ හඬ සහ කැමරා දර්ශන ඔබට පෙනෙන හැටි ගැනත් අවබෝධයක් ගන්න.
ඒ වගේම සාමාන්‍ය ඉන්ටර්වීව් එකකට යන විදිහටම ආයතනයේ පසුබිම ගැන හොයා බලලා පෙර පුහුණුවක් වෙන්න. ඔන්ලයින්නේ කියල හිතල කොළ වල ලියාගෙන හෝ ෆෝන් එක බලමින් පිළිතුරු දෙන එක ඔවුන්ට ලේසියෙන්ම තේරෙනවා.
6. හොඳ ඇඳුමක් සහ මේකප් එකක්
ගෙදරනේ කියල සැහැල්ලු ඇඳුමකින් ඉන්ටර්වීව් එකට මුහුණ දෙන්න හිතන්න එපා. ආලෝක තත්ත්වයට සහ පසුබිමට ගැළපෙන, ඇසට අපහසු නොවන වර්ණයක හොඳ කාර්යාල ඇඳුමක් අඳින්න. ඒ කියන්නෙ ෆෝමල් ඇඳුමක්. කැමරාවට පේන හරිය විතරක් කියලා උඩ කොටසට විතරක් හොඳ ඇඳුමක් ඇඳලා හදිසියේ මොකක්මහරි කලබලයකට ඉන්ටර්වීව් එක අතරමැද පුටුවෙන් නැගිටින්න වුණොත් වෙන අපහසුතාවය ගැන හිතලා සම්පූර්ණ ඇඳුමක්ම ඇඳගන්න.
ගැහැණු ළමයිනම් පොඩි මේකප් එකක් දාගන්න. පිරිමි ළමයි කොණ්ඩය පිළිවෙලකට සකස් කරගෙන ඉන්ටර්වීව් එකකට එළියට යනවා වගේම සූදානම් වෙන්න.
7. කැමරාව දෙස බලන්න
වැඩි දෙනෙක් නොහිතන වැදගත් කාරණාවක් මේක. අපි සාමාන්‍යයෙන් දන්නවනේ සම්මුඛ පරීක්ෂණයකදී Eye contacts ඒ කියන්නෙ ඇස් වලින් සම්බන්ධතාවය පවත්වාගැනීම වැදගත් කියලා. නමුත් ඔන්ලයින් ඉන්ටර්වීව් එකකදී මේක හැමෝටම මඟහැරෙනවා. පුරුද්දට අපි තිරයේ පේන පරීක්ෂකයින්ගේ මුහුණු දිහා බලාගෙන කතා කරනවා. නමුත් ඔවුන්ට පේන්නෙ අපි eye contact maintain කරන්නේ නැහැ කියලයි. ඒකට විසඳුම තමා තිරයට වඩා කැමරාවට අවධානය දෙමින් ඒ දෙස බලමින් පිළිතුරු දීම. එතකොට අපි නිවැරදිව කෙලින් බලාගෙන කතාකරනව කියල තමයි පේන්නේ
Leave a Reply