වැඩකට නැති දේවල් කියන්නේ මොනවද කියලා කියන්න තරමට වැඩකට නැති දේවල් ගෙවල්වල අහුමුළුවල ගොඩගැහිලා. එහෙමත් නැත්නම් කොහෙටහරි ගිහින් ඒවා විසි කරනවා. මේ දෙකම නොකර ගෙදර අලංකරණය කරගන්න මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මේකට ඉතින් අමුතුවෙන් සල්ලි දීලා කට්ටියව ගෙන්නගන්න ඕනි නෑ. තමන්ටම විනෝදාංශයක් විදියට කරන්න පුළුවන්.
1. ටයර් පුටු

Image Source – housewivesofriverton.com
ටයර් ගැන ලංකාව දැනුවත් වෙන ප්‍රධාන කාරණයක් තමයි ඩෙංගු කියලා කියන්නේ. වාහනවලටත් වඩා ඒක තමයි ජනප්‍රිය. ඉතින් ඒ නිසාම වැඩකට නැති ටයර්වලට වෙන්නේ පිච්චෙන්න. ඕක පරිසරයටත් හොඳ මදි. පරිසරයට වගේම ගෙදර වටපිටාවටත් අලංකාරයක් එක් කරවන ක්‍රමයක් ගැනයි මේ කතා වෙන්නෙ. ගෙදර ඇතුළකට වඩා මේක එළිමහනකටයි සෙට් වෙන්නේ. එක සමාන ටයර් දෙකක් එක මත එක තියලා එකම තැනකින් ඩ්‍රිල් කරලා නට් ඇන්ඩ් බෝල්ටුවකින් මේ දෙක සම්බන්ධ කරනවා. ඊට පස්සේ කැමති පාටකින් ස්ප්‍රේ පාරක් නැත්තම් තීන්ත පාරක් දෙනවා. වේලෙන්න දීලා ඒ අස්සේ ප්ලයිවුඩ් ලෑලි කෑල්ලක් අරගෙන ටයර් එකට ගාණට සෙට් වෙන විදියට රවුමක් කපා ගන්නවා. ඊට පස්සේ පරණ කොට්ටයක් අරගෙන (උරෙත් එක්ක ඈ) පුළුං ටික ප්ලයිවුඩ් එක මත්තේ අතුරලා උරෙන් ඒක ආවරණය කරගන්නවා. අවසානයේ ප්ලයිවුඩ් එක ටයර් එක මත තියලා රජෙක් වගේ ඉඳගන්න තියෙන්නේ.
2. බල්බ් වාස්

Image Source – youtube.com
ඔව් මේකත් එච්චර ගින්නක් නැති වැඩක්. බල්බ් එකක් ගහලා ගියාම ඕක නිරපරාදේ විසි කරන්නැතුව ලස්සනම ලස්සන මල් වාස් එකක් කරගන්න පුළුවන්. ඉස්සෙල්ලාම අඬුවකින් බල්බ් එක ඇතුළෙ තියෙන කෑලි හිමීට එළියට ගන්න ඕනි. ඊට පස්සේ ඇඳුම් එල්ලන ප්ලාස්ටික් නොවන කොකු තියනවනේ? අර වයර් වගේ තියෙන්නේ. ආන්න ඒකක් අරන් තමන්ට ඇති තරම් දිගට කපාගන්නවා. ඊට පස්සේ සෙන්ටිමීටර 10 ගාණෙ වගේ තැනින් තැනින් මාර්ක් කරගෙන ඒක නවාගන්න ඕනි. ඉහළ කෙළවරේ බල්බයේ මුදුන රඳවන්න පුළුවන් විදියට පුංචි රවුමක් හදාගෙන බල්බ් එක එතනින් එල්ලන්න පුළුවන්. බල්බ් එකට ඊට පස්සේ බැරියැ මල් බැරි නම් මල් පිට මල් වුණත් දාන්න.
3. පැන්සල් බෝතලේ

Image Source – diys.com
ප්ලාස්ටික් බෝතලයක් අරගෙන ඒකේ තියෙන ලේබල් අරවා මේවා ගලවා දාලා හොඳින් හෝදනවා. ඊට පස්සේ බෝතලේ ඉහළ කොටස කපා දානවා. මල්ටිබොන්ඩ් වගේ ගම් වර්ගයක් අරගෙන පින්සලක් ආධාරයෙන් බෝතලය වටේ ගානවා. ටිෂූ කීපයක් අරගෙන බෝතලය වටා ඔතනවා. සෙට් නෑ වගෙ නම් ඒ මත ආයෙත් ගම් ගාලා ටිෂූවලින් ඔතනවා. වේලෙන්න ඉඩ ඇරලා කැමති ආර්ට්වර්ක් එකක් බෝතලේ මත අඳිනවා. වේලෙන්න ඉඩ ඇරියාට පස්සේ පැන්සල්, පෑන් විතරක් නෙවෙයි බෝතලේ කට අනුව පනා, පින්සල් වගේ දේවල් දාන්නත් පුළුවන්.
4. හැඳි බාල්කය

Image Source – lovequilts.com
මලකඩ කාපු හැඳි විසි කරන්නේ නැතුව කුස්සියේ නැති නම් ගෙවත්තේ එක එක දේවල් රඳවන්න ආධාරකයක් කරගන්න පුළුවන්. හැඳි තුනක් හතරක් අරගෙන දෙපැත්තෙන් අල්ලාගෙන V අකුරක් වෙන විදියට නවාගන්නවා. පුළුවන් ශක්තිය දාලා හැන්ද කඩන්න යන්න එපා ඉතින්. ඊට පස්සේ හැන්දේ ඔළුවට පොඩ්ඩක් පහළින් ඩ්‍රිල් එකක් අරගෙන හිල් කරගන්නවා. හැඳිවල ප්‍රමාණයට සරිලන විදියේ ලී පටියක් අරගෙන හැන්ද ඒකට තියලා බිත්තියකට සම්බන්ධ කරනවා. හැඳි තුන ද හතර ද මේ දේ සමාන්තරව සිදු කරන්න ඕනි. ගෙවත්තේ නම් මල් පැලයක් වුණත් දරාගෙන ඉඳීවි.
5. සීඩී බිත්ති සැරසිල්ල

Image Source – hometalk.com
මේක කරන්න නම් පරණ බඩු කඩයක් හොයාගෙන යන්න වෙයි ද මන්දා. ඇයි ඉතින් දැන් කවුද මේවා ගන්නේ. ගෙදර තියෙන හද්ද පරණ සීඩී ටිකක් අරගෙන මොකක් හෝ අනුපිළිවෙළකට බිත්තියක ගැහුවත් ලස්සනයි. ඉරඑළිය වදින තැනකයි තියෙන්න ඕනි. හැබැයි සීඩී එකේ කෑලි කෑලි ඇතිරීමෙන් හදාගන්නා බිත්ති සැරසිල්ල පාට ගොඩක් තියෙන නිසා ඉතා අලංකාරවත් වෙනවා නිසැකයි.
6. කාඩ්බෝඩ් බාස්කැට්ටුව

Image Source – youtube.com
විසි කරලා තියෙන බිස්කට් පෙට්ටියක් වගේ එකක් අරගෙන ඒකේ අරින්න වහන්න තියෙන කෑල්ල කපලා ඉවත් කරගන්නවා. ඊට පස්සේ ගම් ගාන ගමන් කොහුලණුවක් අරගෙන වටේට ඔතනවා. ඒක කරලා ඉවර වුණාට පස්සේ පිරිසිදු සුදුපාට කපු රෙද්දක් අරගෙන පෙට්ටියේ විවරයේ හැඩයට හරියන විදියට කපාගෙන පෙට්ටිය මත එලනවා. ඊට පස්සේ ඒ රෙද්දේ ඇති කොණවල් ඇල්පෙනිතිවලින් පෙට්ටියට සම්බන්ධ කරනවා. මේකට ඊටපස්සේ ඕනෑ කරන දේවල් දාන්න පුළුවනි.
7. පොත් පෝච්චිය

Image Source – creatoncraftsandgifts.co.uk
විසි කරන්න ඔන්න මෙන්න තියන පට්ට පරණ පොත් තියෙනවා නේද? පිටු ගැලවෙච්ච පරණ අභ්‍යාස පොත්, නවකතා පොත් අන්තිමේ බෝතල් පත්තරකාරයෝ ළඟ. පොත් පෝච්චියේ දී මහත පොත් දෙකක් තුනක් නැත්තම් සාමාන්‍ය පොත් කීපයක් එකමත එක තියලා හරි මැදින් රවුමක් කපාගන්නවා. ඒක මැද පැළ කරන්නයි තියෙන්නේ.
Leave a Reply