චීනයේ පළාත් ගැන දැනගනිමු – 2 කොටස

ඔබට මතක ඇතිනේ මීට සති කීපයකට කලින් චීනයේ පළාත් පිළිබඳව ලිපියක් අපි ඔබ වෙතට ගෙන ආවා. ඒ සඳහා ඔබගෙන් ඉහළ ප්‍රතිචාර ලැබිලා තිබ්බා. ඒ නිසා එම  ලිපියේ දෙවැනි කොටස ඔබ වෙතට මේ විදිහට අපි ගෙන එන්න තීරණය කළා.

 

චීනයේ පළාත් ගැන දැනගනිමු

 

1. ඇන්හුයි (Anhui)

නැගෙනහිර චීනයේ පිහිටා තිබෙන මෙම පළාත යැංග්ට්සි සහ හුවාවි ගංගා නිම්න වලින් පෝෂණය ලබනවා. මෙම කලාපයේ ජනගහණය බහුතරය හැන්  චීන සම්භවයකින් යුතු වන අතර සහි නියෝලිතික යුගයේ පටන් මෙම ප්‍රදේශය ජනාවාසව පැවැතී තිබුණු බවට සාධක හමුවී තිබෙනවා, මෙම ප්‍රදේශය පළාතක් ලෙස සැලකීමට පටන් ගත්තේ ක්වීන්ග් රාජවංශ සමයේ සිටයි. චියාං කයි ෂෙක් පාලන සමයෙහිදී ජපන් ආක්‍රමණ වළක්වාලීමට කහ නදියේ බැම්ම කඩා දැමීම නිසා මෙම පළාතට දැඩි හානියක් සිදු වුණා. අසල්වැසි පළාත්වලට සාපේක්ෂව මෙම පළාතේ ආර්ථිකය යම්තාක් දුරකට පසුගාමී ස්වභාවයක් ගන්නවා.

 

 

2. ගන්සූ (Gansu)

චීනයේ ආර්ථික වශයෙන් දිළිඳුතම පළාත විදිහට මෙම පළාත හැඳින්වීමට පුළුවන්. ටිබෙට් සහ ලෝසෙස් සානු අතර මෙම පළාත පිහිටා තිබෙන අතර මැන්ඩරින් චීන භාෂාව කථා කරන ජනතාව මෙහි බහුතරය වනවා. අතීතයේ දී චීන අධිරාජ්‍යයේ වැදගත් ආර්ථික සහ පරිපාලන මර්මස්ථානයක් ලෙස මෙම පළාත ක්‍රියාත්මක වුණා. චීනයේ එතෙක් පැවති ප්‍රාදේශීය රාජධානි වෙනුවට අධිරාජ්‍ය ස්වරූපයක් දක්වා රාජධානිවල වර්ධනය වීමේ ආරම්භය සිදුවන්නේ මෙම පළාත ආශ්‍රිතවයිසැලකිය යුතු මුස්ලිම් ප්‍රජාවක් මෙම පළාතේ වාසය කරන අතර ඇතැම් අවස්ථාවල කැරලි සහ නොසන්සුන්තාවයන් ඇති වී තිබෙනවා.

 

3. ග්වේජෝ (Guizhou)

චීන සිවිල් යුද්ධයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල මර්මස්ථානයක් බවට මෙම පළාත පත්වුණා. මෙම පළාතේ ස්වභාවය නිසාම කොමිනියුස්ට් පක්ෂය බලයට පැමිණීමෙන් පසුව සුවිශාල කර්මාන්තශාලා මෙහි ස්ථාපනය කිරීමට තීරණය වුණා. එහි අරමුණ වූයේ  විදේශික ආක්‍රමණිකයන්ට ගොඩබිම් ප්‍රහාරයක් මගින් ඒවා අඩපණ කිරීමට ඇති හැකියාව අවම වීම නිසයි. අතීතයේ පටන් සංස්කෘතික සහ ස්වභාවික වටිනාකම් රාශියකට මෙම පළාත උරුමකම්  කීවත් අනෙකුත් පළාත් වලට සාපේක්ෂව මෙම පළාතෙහි සංවර්ධනය මන්දගාමීව පවතිනවා.

 

4. හූබේ (Hubei)

මධ්‍යම චීනය ආශ්‍රිතව පිහිටා තිබෙන මෙම පළාත සැලකෙන්නේ චීනයේ ප්‍රධානම පෙළේ ප්‍රවාහන, දේශපාලන සංස්කෘතික සහ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙසයි. අද දක්වා ලෝකයට බලපෑම් කරන කොරෝනා වෛරසයේ ආරම්භය සිදු වූයේ යැයි විශ්වාස කරන්නේ මෙම පළාතේ අගනුවර වන වූහාන් නගරය තුළයි. දෙවන ලෝක යුද්ධය සමයේදී මෙම පළාතේ කොටසක් ජපන් ආක්‍රමණිකයන් යටතට පත් වූ අතර ඔවුන් විසින් දැඩි මර්දනකාරී පාලනයකට මෙම ප්‍රදේශය යටත් කරනු ලැබුවා. ස්වාභාවික සම්පත්වලින් අනූන මෙම පළාත වර්තමානය වන විට කාර්මීකරණය අතින් ඉහළ මට්ටමක  සිටිනවා

 

5. හාබේ (Hebei)

 කහ නදියට උතුරින් උතුරු දිග චීනයේ පිහිටා තිබෙන මෙම පළාතට නම ලැබී ඇත්තේද එම භූගෝලීය පිහිටීමට අනුකූලවයි. චීන භාෂාවෙන් හාබේ යන්නෙහි  තේරුමනදියට උතුරෙන්’ යන්නයි. මෙම පළාත චීන ශිෂ්ටාචාරයේ තොටිල්ලක් ලෙස සැලකෙන අතර අතීතයේ පටන් බීජිං නගරය ආරක්ෂා කරන පරිවාර පළාතක් ලෙස මෙම ප්‍රදේශය වැදගත්කමක් ඉසිලුවා. වර්තමානයේදී බීජිං සහ ටියැංජිං  යන නාගරිකයන් සමග හාබේ පළාත චීනයේ විශාලතම මෙගාපොලිස්  ප්‍රදේශය නිර්මාණය කරනු ලබනවා.

 

6. හෙයිනන් (Hainan)

චීනයේ පිහිටා තිබෙන කුඩාම  පළාත වන මෙම පළාත හෙයිනන් දූපත සහ දකුණු චීන මුහුදේ තිබෙන අනෙකුත් දූපත් සමූහයක් එක් වීමෙන් නිර්මාණය වී තිබෙනවා. 2020 වසරේ දී එළිදක්වනු ලැබූ සැලැස්මකට අනුව චීන රජය බලාපොරොත්තු වන්නේ මෙම පළාත සම්පූර්ණයෙන්ම විශේෂ ආර්ථික කලාපයක් බවට පත් කිරීමයි. මෙම සැලැස්ම ක්‍රියාත්මක වීමත් සමග මෙම පළාත චීනයේ ඇති විශාලතම විශේෂ ආර්ථික කලාපය බවට පත්වනවා. බ්ලොක්චේන් මුදල් භාවිතය පිළිබඳව පර්යේෂණ කිරීම සඳහා මෙම පළාත දැනටමත් චීන රජය විසින් භාවිතා කෙරෙනවා.

 

7. හූනාන් (Hunan)

මා සේතුංගේ උපන් පළාත ලෙස ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලන මෙම පළාත දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනවා. මේ නිසාම අනෙකුත් පළාත් වලට සාපේක්ෂව සංස්කෘතික විප්ලවයට මෙම පළාත වැඩි සහයෝගයක් ලබා දුන් අතර මා සේතුංගෙන් පසුව ඩෙං ෂියා පෙං විසින් යෝජනා කරන ලද ප්‍රතිසංස්කරණවලට හැඩගැසීම යම්තාක් දුරකට මන්දගාමී ආකාරයෙන් සිද්ධ වුණා 

 

 

එහෙමනම්  ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *