වෙජිටේරියන් අයට ​හොඳටම ගැලපෙන චයිනීස් වෙජිටබල් ඩිශස් 5ක්

හැමදාම ලංකාවේ විදියට වෙජිටේරියන් කෑ​ම කාලා එපා වෙලාද? එහෙනම් අපි චයිනීස් රෙසිපි ටිකක් ට්‍රයි කරලා බලමුද? ගෙදර අයට මේ විදියට හදලා දුන්නොත් හැමදාම හදලා ඉල්ලනවා අනිවාර්යෙන්ම. වැඩි වැඩ නැතුව ලේසියෙන්ම හදාගන්න පුළුවන් මේ ඩිශස් ටික එහෙනන් අපි හදමු…

 

1. හොට් බටර් මෂ්රූම්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. හතු 100g
  2. කෝන් පිටි 100g
  3. ලුණු තේ හැඳි 1\4
  4. කහ ස්වල්පයක්
  5. චොප් කරගත් සුදු ළූණු
  6. බටර් මේස හැඳි 1
  7. සීනි තේ හැඳි 1\2
  8. චිලි පේස්ට් මේස හැඳි 1
  9. තෙල් තේ හැඳි 1
  10. කපාගත් මාළු මිරිස් කරලක්
  11. දිගට කපාගත් ළූණු කොළ ටිකක්
  12. කපාගත් වියලි මිරිස් කරල් කීපයක්
  13. දියාරුවට සාදාගත් කට්ලට් බැටර් එක

 

  • හතු ලුණු වතුරේ දමා සෝදා, හොඳින් දිය මිරිකා තීරු වලට ඉරාගන්න.
  • කෝන් පිටි වලට ලුණු සහ කහ ඇඟිලි තුඩින් ගන්න තරම් ප්‍රමාණ දෙකක් විතර දාල මික්ස් කරගන්න.
  • හතු වලට කට්ලට් බැටර් එක එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. කෝන් පිටි වල හතු තීරු දවටා රත් වූ ගැඹුරු තෙලේ ක්‍රිස්පි ගතියට එනතුරු බැදගන්න.
  • වෙනම භාජනයක් රත් වෙන්න තබා එයට තෙල් තේ හැන්දක් එක් කර එයට සුදු ළූණු, බටර්, චිලි පේස්ට්, තෙල්, සීනි එක් කර මිශ්‍ර කරගන්න.
  • එයට බැදගත් හතු, මාළු මිරිස්, වියලි මිරිස් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. ලිප නිවා ළූණු කොළ එක් කර මිශ්‍ර කරගන්න.
  • මස් මාළු නොකන බිත්තර විතරක් පාවිච්චි කරන අයට මේ රෙසිපි එකේ කට්ලට් බැටර් එක වෙනුවට බිත්තර සුදු මදයක් ගන්න පුළුවන්.

 

2. වෙජිටබල් චොප්සි

අවශ්‍ය ද්‍රව්‍ය

  1. තම්බාගත් කැරට් ග්‍රෑම් 200
  2. තම්බාගත් බ්‍රොකොලි ග්‍රෑම් 150
  3. තම්බාගත් ​ගෝවාමල් ග්‍රෑම් 200
  4. තම්බාගත් ගෝවා ටිකක්
  5. තම්බාගත් බෝංචි ග්‍රෑම් 100
  6. බට්න් මෂ්රූම් ග්‍රෑම් 100
  7. බේබි කෝන්
  8. කොටුවට කපාගත් ළූණු ගෙඩි 2ක්
  9. චොප්කරගත් සුදු ළූණු ටිකක්
  10. ඔයිස්ටර් සෝස්
  11. සෝයා සෝස්
  12. ෆෝන්ෆ්ලා තේ හැඳි 1
  13. ලුණු කුඩු හා ගම්මිරිස් කුඩු

 

  • මුලින්ම භාජනයක් අරගෙන තෙල් ටිකක් දාලා ඒකට කපාගත් ළූණු එකතු කරන්න. දැන් චොප්කරගත් සුදු ළූණු ටික දාගන්න. ඔයිස්ටර් සෝස් සහ සෝයා සෝස් ඒකට එකතු කරගන්න. රස අනුව ලුණු ගම්මිරිස් එකතු කරගෙන මිශ්‍ර කරගන්න.
  • දැන් තම්බාගත් එළවළු ටික එකතු කරන්න. විනාඩියක් විතර කලවම් කරගෙන වතුර ටිකක කෝන්ෆ්ලා දිය කරන් ඒකත් එකතු කරගන්න. මිශ්‍රණය උකු වේගෙන එනකොට ලිප නිවන්න.

 

3. චයිනීස් වෙජිටබල් ඇන්ඩ් ටෝෆු සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කොටුවට කපාගත් කැරට් ටිකක්
  2. තරමක කුඩාවට කපාගත් බ්‍රොකොලි ටිකක්
  3. කපාගත් බෝංචි ටිකක්
  4. කපාගත් ගෝවා ටිකක්
  5. කපාගත් ළූණු ටිකක්
  6. කපාගත් ළූණු කොළ ටිකක්
  7. ටෝෆු පැකට් එකක්
  8. පොඩියට කපාගත් මෂ්රූම් ටිකක්
  9. ලුණු හා ගම්මිරිස්
  10. තල තෙල් ස්වල්පයක්
  11. ඔලිව්තෙල් ස්වල්පයක්

 

  • භාජනයක් රත් වෙන්න තියලා ඒකට ඔලිව් ​තෙල් මේස හැන්දක් වගේ දාගෙන රත්වෙනකොට ළූණු ටික දාගෙන ටිකක් බැදෙන්න දෙන්න.
  • මේකට වතුර කෝප්ප 3ක් විතර එකතු කරන්න. වැඩි ගින්දරේ තිබ්බට කමක් නෑ. වතුර උතුරගෙන එනකොට කෑලි වලට කපාගත් ටෝෆු ටික එකතු කරන්න.
  • ඊට පස්සෙ අර කපාගත් එළවළු එකින් එක එකතු කරන්න. දැන් එළවළු හොඳට තැම්බෙන්න හැඳිගාන ගමන් ලුණු එකතු කරන්න. දැන් කපාගත් මෂ්රූම් ටිකත් දාගන්න.
  • තව විනාඩි 2ක් විතර පිසෙන්න අරින්න. අන්තිමට ගම්මිරිස් කුඩු හා තලතෙල් ටික එකතු කරලා හැඳි ගාගෙන ලිපෙන් ඉවත් ක​රල, උඩින් ළූණු කොළ දාගන්න.

 

4. චයිනීස් වෙජිටබල් ෆ්‍රයිඩ් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. තල තෙල් තේ හැඳි 1/2
  2. බටර් මේස හැන්දක්
  3. චොප් කරගත් සුදු ළූණු ටිකක්
  4. චොප් කරගත් ඉඟුරු ටිකක්
  5. කොටුවට කපාගත් ළූණු ටිකක්
  6. කොටුවට කපාගත් කැරට් ග්‍රෑම් 200ක්
  7. පොඩියට කපාගත් බෝංචි ග්‍රෑම් 150ක්
  8. කොටුවට කපාගත් බෙල් පෙපර් ටිකක්
  9. සෝයා සෝස් තේ හැඳි 1
  10. රෙඩ් චිලී සෝස් තේ හැන්දක්
  11. පිසින ලද බත් කෝප්ප 2
  12. ලුණු අවශ්‍ය ප්‍රමාණයට
  13. විනාකිරි තේ හැන්දක්
  14. පොඩිය​ට කපාගත් ළූණුකොළ ටිකක්

 

  • මුලින්ම භාජනයක් අරගෙන රත් වෙන්න තියලා ඒකට තලතෙල් සහ බටර් ටික දාගන්න. දැන් චොප් කරගත් සුදු ළූණු හා ඉඟුරු ටික දාගෙන බැදෙන්න දෙන්න. ඊටපස්සෙ ළූණු ටික එකතු කරන්න. හොඳට කලවම් කරන්න.
  • දැන් කැරට්, බෝංචි හා බෙල්පෙපර් ටික දාගන්න. විනාඩි 2ක් විතර පිසගන්න.
  • සෝයා සෝස් ටික දාගන්න. ඒකටම චිලී සෝස් ටිකත් දාගන්න. ඔක්කොම හොඳට කලවම් කරන්න. උයාගත් බත් කෝප්ප දෙක මේකට එකතු කරගෙන වැඩි ගින්දරේ ඉක්මනින් කලවම් කරගන්න.
  • රස අනුව ලුණු දාගන්න. විනාකිරි තේ හැන්දත් දාගෙන හොඳට කලවම් කරලා උඩින් ළූණු කොළ ටිකක් ඉහලා ලිපෙන් ඉවත් කරගන්න.

 

5. ටෝෆු ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. ටෝෆු පැකට් 1
  2. කොටුවට කපාගත් බී ළූණු ගෙඩි 2
  3. මාළු මිරිස් කරල් 3
  4. තක්කාලි ගෙඩි 1
  5. ඉඟුරු සුදු ළූණු පේස්ට් එක
  6. කුරුඳු පොත්තක්
  7. තක්කාලි සෝස්
  8. ෆිශ් සෝස්
  9. ස්වීට් සෝයා සෝස්
  10. නෝමල් සෝයා සෝස්
  11. ගම්මිරිස් කුඩු
  12. කහ තේ හැඳි බාගයක්
  13. මිරිස්කුඩු තේ හැන්දක්
  14. ලෙමන් යුෂ ටිකක්
  15. ලුණු ස්වල්පයක් (ෆිශ් සෝස් දානවනම් ඕනේ නෑ)
  16. සීනි ටිකක්
  17. තල ඇට
  18. තෙල් හා විනාකිරි

 

  • මැටි භාජනයක් අරගෙන ෆිශ් සෝස් හා සෝයා සෝස් එක්ක කහකුඩු, මිරිස්කුඩු, ගම්මිරිස් කුඩු, ලෙමන්‍ යුෂ හා ලුණු එකතු කරලා කලවම් කරන්න. දැන් ටෝෆු ටික කෑලි අරන් මේ සෝස් මිශ්‍රණයට දාලා පැය භාගයක් මැරිනේට් කරගන්න.
  • භාජනයකට තෙල්දාලා රත්වෙනකොට ටෝෆු ටික දාලා රන්වන් පාට වෙනකල් බැදගන්න. තෙල් බේරෙන්​න තියලා වැඩි තෙල් භාජනයෙන් අයින් කරලා ඒකට කුරුඳු පොතු, ඉඟුරු සුදු ළූණු පේස්ට් එක එකතු කරන්න. මේකට තක්කාලි සෝස් එකත් දාගන්න. කැමති නම් කෑලි මිරිස් ටිකක් එකතු කරන්න. ෆිශ් සෝස් මේස හැන්දක් දාගෙන ටෝෆු මැරිනේට් කරපු සෝස් එකත් එකතු කරන්න.
  • හොඳට කලවම් කරන්න. දැන් සීනි හා විනාකිරි එකතු කරන්න. මේකට ටෝෆු ටික දාලා අඩු ගින්දරේ පිසගන්න. දැන් කපාගත් තක්කාලි හා කපාගත් ළූණු, මාළුමිරිස් එකතු කරන්න. හොඳින් කලවම් කරගෙන තල ඇට ඉහලා ලිප නිවාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *