ලංකා ඉතිහාසයෙන් මතුවෙන සුප්‍රකට මෙන්ම අප්‍රකට අභිරහස් 7ක්

unsolved srilankan mysteries

ශ්‍රී ලංකාව වසර 2500ක ලිඛිත ඉතිහාසයකටත්, ඊට එහා ගිය අලිඛිත ඉතිහාසයකටත් උරුමකම් කියන රටක්. මේ ඉතිහාසය තුළ සැඟවිලා තිබෙන අභිරහස් කොතරම් ඇද්ද..? ඒ අභිරහස් වලින් ඉතා සුලු ප්‍රමාණයක් ඔබත් එක්ක බෙදාගන්නයි අපි මේ සූදානම් වෙන්නේ.

 

1. රාවණා කතාව

unsolved srilankan mysteries

Source – pinterest.com

ලංකාවේ ඉතිහාසයේ නොමැකුණු නාමයක් රාවණාට හිමි වෙනවා. රාවණා කතාව එන්නේ ඉන්දියානු මහා කවි වාල්මිකීගේ රාමායණය කියන කෘතියේයි. කොහොම උනත් මේ කෘතිය සත්‍ය සිදුවීමක් මත පදනම් වූවක් බවට සහ එසේ නොවන බවට මත දෙකක් ඉදිරිපත් වෙනවා. ඉන්දියානු නායකයෙක් වන රාමාගේ බිරිඳ සීතාව සිරිලක රජකල රාවණා රජු විසින් පැහැර ගන්නවා. ඔහු සීතාව වනයේ ගුහාවක සියලු සැප සම්පත් සහ රැකවල් මැද රඳවා තබනවා. රාමා රාවණාට එරෙහිව යුද්ධ කර, රාවණා විනාශ කර සීතාව නැවත තමන් සතු කරගන්නවා. පුදුමය කියන්නේ මේ කතාව ඉන්දියානු කතාවක් වුණත් මේ කතාවට සම්බන්ධ නම් සහිත ගම්මාන සහ ස්ථාන ලංකාවේ හමුවෙන එකයි. සීතා එලිය, රාවණා ඇල්ල, සීතාගල මෙවැනි ස්ථාන අතර වනවා. රාවණා තවමත් නිද්‍රාගතව ජීවත් වන බවටත් සමහරුන් මත පළ කරනවා. කොහොම උනත් රාවණා කතාව සිරිලක ඉතිහාසයේ සැඟව ගිය අභිරහසක් ලෙස හැමදාම පවතින බවනම් නොඅනුමානයි.

 

2. මද්දුම බණ්ඩාර කතාව

unsolved srilankan mysteries

Source – sundayobserver.lk

මද්දුම බණ්ඩාර කියන්නෙ ඇහැලේපොල නිලමේතුමාගේ සහ ඇහැලේපොල කුමාරිහාමිගේ දෙවැනි පුත්‍ර රත්නය. මද්දුම බණ්ඩාරගේ මරණය ගැන නොදන්න කෙනෙක් නැහැනේ. නමුත් ඊට හේතු වුණ කතා පුවත ගැන විවිධාකාර අය විවිධ හේතු කියනවා. එකක් තමයි සුද්දන්ට එකතු වුණ ඇහැලේපොල නිලමේ, රජුගේ අණට කීකරු වී නොපැමිණි නිසා මේ පවුල මරණයට නියම වුණා කියන එක. තවත් හේතුවක් තමයි ඇහැලේපොල නිලමේ ගැන වැරදි තොරතුරු රජුට කේලාම් ලෙස විවිධ නිලමේවරු කී නිසා මෙම පවුලට මරණය උරුම වුණා කියන එක. ඒ වගේම රජු විසින් ඇහැලේපොල නිලමේ නුවර නොසිටි මොහොතේ ඇහැලේපොල කුමාරිහාමිට කල අනිසි යෝජනාවක් ඇහැලේපොල කුමාරිහාමි ප්‍රතික්ෂේප කල නිසා පවුලට මෙම මරණය උරුම වූ බවටත් සමහරු විශ්වාස කරනවා. මේ දඬුවම වැරදියි කියලා බොහෝ දෙනෙක් කියද්දී , සමහරු කියන්නේ මේ දඬුවම ඒ කාලයේ භාවිත වූ දඬුවම් ක්‍රමයක් බවයි. මේ වගේ කතන්දර රාශියක් මේ කතාව සමග බැඳී පවතිනවා. මරණයට හරියටම හේතුව දන්නෙ රාජසිංහ රජතුමාම තමයි.

 

3. දුටුගැමුණු රජතුමාගේ මරණය

unsolved srilankan mysteries

Source – wikimedia.org

දුටුගැමුණු රජතුමා කියන්නේ ලංකාව එක්සේසත් කරන්න වගේම බුදු දහම නගාසිටුවන්න අනුපමේය සේවයක් කළ රජ කෙනෙක්. මහා වංශයේ වැඩි කොටසක් දුටුගැමුණු රජුගේ සේවය විස්තර කරන්න ලියැවුණාට දුටුගැමුණු රජුගේ මරණය ගැන වැඩි විස්තරයක් මහාවංශයේ සඳහන් වෙන්නේ නෑ. ඒ වගේම ථූපවංශයේත් මේ ගැන වැඩි සඳහනක් නෑ. මේ වංශ කතා දෙකේම කියන්නේ ගැමුණු රජුට මාරක රෝගයක් වැලඳුණු බවයි. මොකක්ද මේ මාරාන්තික රෝගය කියලනම් කොහේවත් සඳහනක් නෑ. නමුත් ජනශ්‍රැතියේ සඳහන් ආකාරයට නම් දුටුගැමුණු රජතුමා මිය යන්නේ නාග ගෝත්‍රිකයන්ගේ යම් කුමන්ත්‍රණයකින්. එයට හේතුව ලෙස සඳහන් වෙන්නේ දුටුගැමුණු රජතුමා විසින් නාග ගෝත්‍රික කාන්තාවක් බලහත්කාරයෙන් තම මෙහෙසියක් ලෙස පත්කර ගැනීම කියලයි කියවෙන්නේ. තව තැනක රජු විසින් බලහත්කාරයෙන් නාග කන්‍යාවක් ස්පර්ශ කල නිසා රජුට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් වුණු බවත් කියවෙනවා. ඇත්තටම දුටුගැමුණු රජු මැරුණෙ කොහොමද..? ඒක හැමදාම ප්‍රශ්නයක්ව තියේවි.

 

4. තොටගමුවේ රාහුල හිමි

unsolved srilankan mysteries

Source – youtube.com

ශඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ රාහුල හිමි කියන්නේ සිරිලක වාසය කල ශ්‍රේෂ්ඨ හිමි නමක්. උන් වහන්සේගේ කවිය සහ උන්වහන්සේ ප්‍රගුණ කළ විවිධ ශාස්ත්‍ර ගැන බොහෝ කතන්දර අදටත් සමාජයේ නේක අයුරින් අපට අසන්නට ලැබෙනවා. උන් වහන්සේගේ මතක ශක්තිය ගැන, උන් වහන්සේගේ භාෂා ඥාණය ගැන, උන් වහන්සේගේ දැනුම ගැන ඒ කතා අපට සිහිපත් කරනවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය ගැන තොරතුරු තවමත් අභිරහසක්ව පවතිනවා. උන් වහන්සේ අධික මාත්‍රාවෙන් පානය කල ශ්‍රී සිද්ධාලෝක රසය නිසා උන් වහන්සේගේ මරණයෙන් පසුත් උන්වහන්සේගේ සිරුර නොදිරූ බවත්, පෘතුගීසීන් විසින් පසුව උන්වහන්සේගේ සිරුර ගෝවට ගෙන ගිය බවත් ජනප්‍රවාදයෙහි සඳහන් වෙනවා. ඇත්තටම එවැනි සිරුරක් ගෝවේ “Basilica of Bom Jesus” නම් දෙවු මැදුරේ තැන්පත් කොට තිබෙනවා. ඒ රාහුල හිමිගේ ශ්‍රී දේහයද..? එයනම් තවමත් අභිරහසක්.

 

5. රාවණා උමග

unsolved srilankan mysteries

Source – tuskerlankatours.com

රාවණා කතාවට පරිබාහිරව මේක අපි වෙනම කොටසක් එක්ක ගත්තෙ මේකෙ නම “රාවණා උමග” වුණාට සමහරවිට මේක රාවණාට සම්බන්ධ නොවන උමගක් වන්න පුලුවන් නිසා. ‍රාවණා උමග ගැන මුලින්ම ලංකාවේ ජනතාව අතර කතාබහක් ගොඩනැගෙන්නේ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ වෙනස වැඩසටහනේ 2012 අවුරුද්දේ දෙසැම්බර් 19 වැනිදා විකාශය වුණු දිගහැරුමත් එක්කයි. ඒ වැඩසටහන තුළ එම මාධ්‍යවේදීන් මහත් පරිශ්‍රමයක් දරාගෙන මේ උමග තුළට යනවා වගේම උමග ගැන බොහෝ තොරතුරු අපට ලබාදෙන්නත් ඔවුන්ට හැකියාව ලැබෙනවා. මේ උමග ඇත්තටම මොකක්ද..? ඉතා කුඩා උමගකින් අසීරු ලෙස යන්න තිබුණට ඒ ගමන අවසානයේදී උමග මධ්‍යයේදී ඔවුන්ට හමුවන්නේ ඉතා විශාල පොකුණක් සහ ඉතා විශාල භූගත කාමර පද්ධතියක් වැනි යමක්. එම පිහිටීම කෘත්‍රිමව හැදුවාද වැනි සැකයකුත් එහි පිහිටීමත් එක්ක අපට පේනවා. මේ උමග මොකක්ද..? මේ උමග කිසිවෙකුත් ප්‍රයෝජනයට ගත්තානම් ඒ කුමකටද..? මේකට රාවණා උමග කියන්නෙ ඇයි..? සීතා හංගගෙන හිටියේ මේ උමග මධ්‍යයේ තියෙන විශාල කාමර වලද..? මේව ඔක්කොම අපේ ඉතිහාසය විසින් හංගගෙන ඉන්න අභිරහස්.

 

6. දස්කොන් – ප්‍රමිලා

unsolved srilankan mysteries

Source – youtube.com

දස්කොන් ප්‍රමිලා කතා පුවත ලංකා ඉතිහාසයේ අමරණීය ආදර කතාවක් ලෙස ලියැවුණක්. මේ ආදර කතාව ගැන ලියැවුණු ගීත, කවි, කතා අපමණයි. ඒ වගේම ටෙලි නාට්‍ය පවා මේ සිදුවීම ඇසුරෙන් මෑත කාලීනව නිර්මාණය වුණා. හැබැයි දස්කොන් ප්‍රමිලා අතර ඇත්තටම ආදරයක් තිබුණද කියන එක ගැන නේක කතා කියවෙනවා. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ ලියන කටයුතු භාර අදිකාරම ලෙස හිටියේ දස්කොන් හෙවත් ගැස්කොන් අදිකාරම් තුමා. ගැස්කොන් කියන්නේ එකල සිරිලක වාසය කළ පෘතුගීසි නැවියෙකුගේ පුතෙක්. ප්‍රමිලා කියන්නෙ රජු වෙනුවෙන් ඉන්දියාවේ සිට කැඳවාගෙන ආ බිසව. ප්‍රමිලාට වැළඳුණු රෝගයක් සුව කිරීමට බලි ශාන්තිකර්මයක් කරන්න ප්‍රමිලාගේ ඉටි රුවක් ඉදි කරද්දී දස්කොන් අදිකාරම විසින් ඒ ඉටිරුවේ අඩුවක්ව පැවති කලවා පෙදෙසේ පැවති උපන්ලපයක් එය නිමවන්නාට කියා නිවැරදි කරනවා. මෙය දකින රජු මේ දෙදෙනා අතර සම්බන්ධයක් ඇති බවට සැක කොට දස්කොන් සිරගත කරන්නට පියවර ගන්නවා. ජනශ්‍රැති වල එන එක් කතාවකට අනුව ඇත්තටම මේ දෙදෙනා අතර සබඳතාවක් තිබූ බව කියවෙනවා. තවත් කතාවක කියවෙන්නේ අදිකාරම් තනතුර වෙත කෙළ හලමින් සිටි ලෙවුකේ රාළ නම් නිලධාරියා ඇතුලු පිරිසක් විසින් කළ කුමන්ත්‍රණයකට දස්කොන් හසුවූ බවයි. දස්කොන් සිර ගෙදර සිටිමින්, තමන්ගේ නිර්දෝෂී බව සනාථ කරමින් “නෝක්කාඩු මාලය” නම් කවි සංග්‍රහයක් රචනා කළත්, එය රජු අතට පත් නොකිරීමට මේ කුමන්ත්‍රණකරුවන් පියවර ගත් බවත් වැඩි දුරටත් සඳහන්. දස්කොන් ප්‍රමිලා පෙම් පුවත සත්‍යයක්ද..? එය නිවැරදිවම දන්නේ ඔවුන් දෙදෙනාම පමණයි.

 

7. බණ්ඩාරනායක ඝාතනය

unsolved srilankan mysteries

Source – dbsjeyaraj.com

රජකාලේ ඉඳලා මේ අපි එන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන කාලයට. 1959 සැප්තැම්බර් 25 වැනිදා අගමැති S.W.R.D. බණ්ඩාරනායක මහත්මයා වෙඩි තැබීමට ලක් වෙනවා. 26 වැනිදා ඔහු මියයනවා. අගමැතිතුමාගේ ඝාතනයට අත්අඩංගුවට ගන්නේ තල්දූවේ සෝමාරාම නම් හිමිනම. ඒ වගේම අවසානය වන තෙක්ම ඔහු කීවේ තමා මේ ඝාතනය නොකළ බවයි. මේ මරණය වී සුලු මොහොතකට පස්සේ තට්ට හිසැති පුද්ගලයෙක් බණ්ඩාරනායක නිවසේ තාප්පයෙන් පැන “වැඩේ හරි” කියමින් දිව ගොස් කාරයට ගොඩ වූ බව අසල ඉන්න වෙළෙන්දෙක් දකිනවා. මේ පිළිබඳ සොයා බැලීමේදී හඳුනාගන්නේ මේ “ඔසී කොරයා” නම් එවක සිටි පාතාල සාමාජිකයෙක් බවයි. ඔහුත් නඩු විභාගයේදී අධිකරණයට කැඳවනවා. කෙසේ නමුත් ඔහු කියන්නේ “තමන් හිස මුඩු කළේ දේවාලයකට වූ භාරයක් ඔප්පු කිරීමට” බවයි. කොහොම වුණත් ඔසී කොරයාව පසුකාලීනව නඩුවෙන් නිදොස් කොට නිදහස් කෙරෙනවා. සමහරුන් මේ මරණය කළේ එල්ලා මැරීමට නියම කළ තල්දූවේ සෝමාරාම යැයි කියද්දී, තවත් අය කියන්නේ මේ මරණය සිදු කළේ භික්ෂු වේශයෙන් සෝමාරාම සමග පැමිණි ඔසී කොරයා කියලයි. මේක එදා සමාජයේ දැඩිව කතාබහට ලක්වුණා වගේම සත්‍යය අදටත් අභිරහසක්ව පවතිනවා.

 
Cover Image Source – dbsjeyaraj.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *