2020 දී රටට අහිමි වූ උත්තුංග චරිත 7ක්

අපි අද කතා කරන්න යන්නේ 2020දී  අපෙන් සමු අරන් ගිය විශිෂ්ට පුද්ගලයෝ කීප දෙනෙක් පිළිබඳව. මේ අය පිළිබඳව ඔබේ මතකය අපිත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.

 

1. මහාචාර්ය සිරිමල් රණවැල්ල 

පහුගිය අවුරුද්දේ දෙසැම්බර් 26 වැනිදා අපෙන් සමු අරගෙන ගිය මහාචාර්ය සිරිමල් රණවැල්ල කියන්නේ අපේ රටේ විද්වත් පරම්පරාවක අවසාන පුරුක විදිහට හැඳින්වුවොත් වැරැද්දක් නැහැ. අනූ නම වැනි වියේ පසු වූ එතුමා මහාචාර්ය සෙනරත් පරණවිතානට පසුව මෙරට පහළ වූ විශිෂ්ටතම අභිලේඛනඥයා විදිහට සලකන්න පුළුවන්. සරසවි අධ්‍යාපනය ලැබීමට පෙර පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස කටයුතු කළ එතුමා සරසවි ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරද්දී  රුහුණු විශ්ව විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා බවටත් පත් වුණා. ලංකාවේ ඉතිහාසය පිළිබඳව ප්‍රාමාණික ග්‍රන්ථ කීපයක් රචනා කර ඇති එතුමා විසින් සම්පාදනය කරන ලද සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය සෙල්ලිපි පිළිබඳව අධ්‍යයනය කරන සෑම දෙනාටම අත්පොතක් බවට පත්ව තිබෙනවා.

 

2. ජයලත් මනෝරත්න 

2020 වසරේ ජනවාරි දොළොස් වැනි දා සිය දිවි රඟමඩලට ජයලත් මනෝරත්න සමුදීමත් සමග අපේ සමස්ත කලා ක්ෂේත්‍රයටම සුවිශාල රික්තකයක් ඇති වුණා. සිනමා සහ ටෙලිනාට්‍ය නළුවෙකු විදිහට ජනතා ප්‍රසාදය දිනා ගත්ත මනෝරත්න මහතා විශිෂ්ටයෙක් වූයේ වේදිකා නාට්‍ය නිසා කියන කතාව අවිවාදිතයි. මහාචාර්ය සරච්චන්ද්‍රගේ පටන් විවිධ ගණයේ නාට්‍යකරුවන් සමඟ වැඩ කටයුතු කර තිබූ මනෝරත්න මහතා  ‘ගුරු තරුව’, ‘තල මල පිපිලා’ වැනි විශිෂ්ට වේදිකා නාට්‍ය ගණනාවක් ලාංකික ප්‍රේක්ෂකයාට තිළිණ කළා.

 

3. අම්පිටියේ රාහුල හිමියන් 

මඩිහේ පඤ්ඤාසීහ මහා නායක හිමියන්ගේ සෙවනැල්ල සේ හිඳිමින් මහරගම වජිරඤාණ ධර්මායතනය ගොඩනැඟීම සඳහා සුවිශාල දායකත්වයක් ලබාදුන් අම්පිටියේ රාහුල ස්වාමීන් වහන්සේ පසුගිය වසරේ පෙබරවාරි 17 වැනි දා අපවත් වී වදාළා. මඩිහේ මහා නායක හිමියන් සමඟ එක්වී ශාසනය සුරැකීමට සමත් ගෝල පරම්පරාවක් බිහි කිරීම උන්වහන්සේ අතින් සිදු වූ තවත් සුවිශාල මෙහෙයක්.

 

4. අර්නස්ට් පෝරුතොට පියතුමා

මෑත කාලයේ සිංහල සිනමාව වෙනුවෙන් සුවිශාල මෙහෙයක් කළ කතෝලික පියතුමෙක් විදිහට අර්නස්ට් පෝරුතොට  පියතුමාව හඳුන්වන්න පුළුවන්. පසු කාලයකදී සිග්නීස් නමින් හැඳින්වූ ඕ.සී අයි.සී සංවිධානය පිහිටුවා ලංකාවේ සිනමා රසිකත්වයට සුවිශේෂී දායකත්වයක් එතුමා විසින් සිදු කරනු ලැබුවා. විශේෂයෙන්ම එතුමා විසින් සිනමාව සම්බන්ධව රචනා කරන ලද කෘතීන් සිනමා රසිකයන්ගේ මෙන්ම සිනමා විචාරකයන්ගේ ද පැසසුමට ලක් වුණා.

 

5. සිබිල් වෙත්තසිංහ 

පරම්පරා ගණනාවක ළමයින්ගේ ආදරණීය සිබිල් නැන්දා වුණු වෙත්තසිංහ මහත්මිය සිය අනූදෙවැනි වියේදී තම වර්ණපූර්ණ ජීවිතයට සමු දුන්නා. ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර මට්ටමින් පවා ඇය විසින් රචනා කරන ලද ළමා කතා සම්භාවනාවට පත් වුණා. ලංකාදීප පුවත්පතින් සිය ජන මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ඇය ලේක් හවුස් සමාගමට බැඳීමෙන් අනතුරුව තම  හැකියාවන් රටටම පෙන්වූවා.

 

6. අනුලා බුලත්සිංහල 

“දීකිරි දීකිරි ගෙනාවා දීකිරි” ගීතය ඇහෙන වාරයක් පාසා ඔබට මතක් වෙනවා ඇත්තේ ඇයවයි. පසුගිය වසරේ ඔක්තෝම්බර් පහළොස් වැනි දා ජීවිත වේදිකාවෙන් ඇය බැස ගියත් ‘තාරාවෝ ඉගිලෙති’ වැනි වේදිකා නාට්‍ය හරහා ඇය හැමදා අමරණීයයි. මහාචාර්ය සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන වැනි නාට්‍යවේදීන්ගේ නිර්මාණ වලට සම්බන්ධ වුණු ඇයට ඇයගේම අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට හැකියාව ලැබුණේ සිය සැමියා වූ ලූෂන් බුලත්සිංහලගේ වේදිකා නාට්‍ය හරහා වීම තවත් විශේෂත්වයක්.

 

7. ධම්මික ගංගානාත් දිසානායක 

විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අතර අතිශයින්ම ජනප්‍රිය ආචාර්යවරයෙකු ධම්මික ගංගානාත් දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ලෙස මෙන්ම ජපානයේ ශ්‍රී ලංකා තානාපති වරයා ලෙසත් කටයුතු කළා. ඔහු විසින් රචනා කරන ලද ‘පැණි වළලු’ තීරු ලිපිය අතිශයින් ජනප්‍රිය වූ අතර ඒ හරහා විශ්වවිද්‍යාල ප්‍රජාව පමණක් නොව සාමාන්‍ය ජනතාවගේ පවා හද දිනා ගැනීමට ඔහු සමත් වුණා. පිළිකා රෝගයෙන් පීඩා ලැබූ ඔහු  පසුගිය වසරේ අගෝස්තු එකොළොස් වැනිදා අපි අතරින් සමුගෙන ගියා.

 

ආරම්භයේ දී සඳහන් කළා වගේම අපි මේ ලිපියේ ඇතුළත් කරලා තියෙන්නේ 2020වසරේ තුළ අපෙන් සමුගෙන ගිය චරිත හතක් පිළිබඳව පමණයි. මීට අමතරව ඔබේ මතකයේ රැඳුණු සුවිශේෂී චරිත පිළිබඳව කමෙන්ට් එකකින් මතකය අවදි කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *