කොරෝනාට එරෙහි Covishield එන්නත ගැන ඇත්ත නැත්​ත

කොරෝනා එහෙමත් නැත්තම් covid-19 කියල කියන්නෙ දැන් අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් තිස්සෙ අපේ ජීවිත එහෙම පිටින්ම වෙනස් කරපු, රටවල් වල ආර්ථිකයට ලොකුම බලපෑමක් දැනටත් කරමින් ඉන්න මහා නරක වසංගත රෝගයක්. ඒ උණාට තාක්ෂණය මේ තරම් දියුණු ලෝකයේ මේ නපුරු වෛරසය පාලනය කරන්න පුළුවන් ප්‍රතිකාරයක් හොයාගන්න මේ මිනිස් වර්ගයාට සෑහෙන්න කාලයක් ගත උනා. ඔන්න අන්තිමේදී රෝගය ගැන මුල්ම තොරතුරු දැනගන්න ලැබිලා අවුරුද්දකුත් ගතවෙන වෙලාවේ තමයි එක එක රටවල් වලින් මේ රෝගයට එරෙහි විවිධ එන්නත් ගැන කතාබහ මතුවෙන්න පටන් ගන්නෙ. එහෙම කතාබහ කරන, සායනික පරීක්ෂණ කෙරෙන වගේම අනුමත වුණ එන්නත් අතරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සහිත, ලංකාවේ එන්නත්කරණය සිදුකරන මේ covishield කියන එන්නත ගැන තමයි අද අපි කතා කරන්න හිතුවේ. එන්නත ගැන විවිධ දුර්මත පැතිරෙන නිසාම, සැකයෙන් ඉන්නවනම් මේ විස්තරේ කියවල ඒ සැකය දුරුකරගන්න පුළුවන් ඕනම කෙනෙකුට. 

 

1. Covishield එන්නත

මොකක්ද මේ Covishield එන්නත? මේ Covishield කියල කියන්නෙ ඇත්තටම මේ එන්නතේ brand name එක. ඒ කියන්නෙ එන්නත අලෙවිකරණය සඳහා යොදාගත්න වෙළඳ නාමය. එන්නතේ නියම නම වෙන්නෙ Oxford–AstraZeneca කියන නම. මේ එන්නත covid-19 කියන වෛරස් රෝගයට එරෙහිව ලබාදෙන intramuscular injection ඒ කියන්නෙ මාංශ පේශීන් තුළට ලබාදෙන එන්නතක්. එන්නත නිෂ්පාදනය කරල තියෙන්නෙ චිම්පන්සින්ගෙන් ලබාගන්න adenovirus කියන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වෛරසයක ටිකක් දුර්වල පිටපතක් විදිහටයි. මේ එන්නත මඟින් ශරීරගත කරන වෛරසය කොරෝනා වෛරසයට බොහොම සමාන වෙන විදිහට වෙනස් කරල තියෙනවා. අවම මාසයක පරතරයක් සහිතව මාත්‍රා දෙකක් විදිහට ලබාදෙන මේ එන්නත දැනට කොවිඩ් පරදන එන්නත් අතරින් මුල්ම තැනක ඉන්නවා. 

 

 

2. සොයාගැනීම සහ නිෂ්පාදනය

එන්නත සොයාගැනීම සිදුකරන්නෙ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂක කණ්ඩායමක් මඟින්. එන්නත මහාපරිමාණයෙන් නිෂ්පාදනය කරල පරීක්ෂණ සිදුකරන්න සුදුසු ආයතනයක් සොයමින් ඉන්නකොට තමයි ඔවුන්ට ඇමරිකාවේ AstraZeneca ආයතනය සම්බන්ධ වෙන්නෙ. ඇමරිකාව ගැන තියෙන විශ්වාසයේ ගැටළුත් එක්ක ඇමරිකානු ආයතනයක් මඟින් නිෂ්පාදනය කළෝතින් එන්නත ලෝකය පුරා බෙදීයාම ගැන ලොකු තහවුරුවක් නැතිවුණත් ඔක්ස්ෆර්ඩ් කණ්ඩායම මේ පරීක්ෂණය AstraZeneca ආයතනයත් එක්ක එකතුවෙලා සිදුකරන්න අවසානයේ තීරණය කරනවා. ඒ තීරණයට එක්සත් ජනපද රජයේත් ලොකු බලපෑමක් තියෙනවා.

 

3. සායනික පරීක්ෂණ

2020 ජූලි මාසෙ ලංකාවේ අපි මේ කිසිදෙයක් නොදැන ලොක්ඩවුන් එකකින් එලියට එමින් ඉන්න කාලෙදි තමයි මේ එන්නතේ මුල් මට්ටමේ සායනික පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරෙන්නෙ. AstraZeneca ආයතනය ඇමරිකාවේ සෞඛ්‍ය පර්යේෂණ කටයුතු සිදුකරන බහුජාතික සමාගමක් වෙන IQVIA කියන ආයතනයත් එක්ක එකතුවෙලා ඇමරිකාව තුළ පර්යේෂණ කටයුතු ආරම්භ කරනවා.

2020 අගෝස්තු 31 වෙනිදා වෙනකොට ඇමරිකාව මඟින් අරමුදල් සම්පාදනය කරන ලද අවසාන මට්ටමේ සායනික පරීක්ෂණ සඳහා වැඩිහිටියන් 30,000 පිරිසකට ආරාධනා කරමින් එක්සත් ජනපදය මඟින් නිවේදනයක් නිකුත් කරනවා. 

හැබැයි අවාසනාවට මේ පරීක්ෂණය සඳහා සහභාගී වුණ දෙදෙනෙකුට ඇතිවුන බරපතල ස්නායු රෝග තත්ත්වයක් නිසා වගේම ඒ ගැන තොරතුරු සැපයීමට ආයතනය පසුබට වීම නිසා එන්නත අත්හදා බැලීම ගෝලීය වශයෙන් නතර කරන බව 2020 සැප්තැම්බර් 08 වෙනිදා නිවේදනය කෙරෙනවා. නැවත අත්හදාබැලීම ආරක්‍ෂිත බවට තහවුරුවක් ලැබීමෙන් පසුව සැප්තැම්බර් 13 වෙනිදායින් පස්සේ එක්සත් රාජධානිය, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ ජපානය කියන රටවල තුළ පරීක්ෂණ ආරම්භ කළත්, ඔක්තෝම්බර් 23 වෙනිදා වෙනකන්ම ඇමරිකාව තුළ පරීක්ෂණ කටයුතු නවත්වා තිබෙනවා. 

කොහොමින් හරි මේ සියළු සායනික පරීක්ෂණ අවසානයේ 2021 මාර්තු 22  දින AstraZeneca ආයතනය ඔවුන්ගේ අන්තර්කාලීන සායනික ප්‍රතිඵලයක් විදිහට, ඒ කිව්වේ සායනික පරීක්ෂණ අතරමැද්දේ නිකුත් කරන ප්‍රතිඵලයක් විදිහට මේ එන්නත මඟින් කොරෝනා රෝග ලක්ෂණ ඇතිවීමේ සම්භාවිතාව 79%කින් වළක්වන බවත් රෝගය බරපතලවීමේ සම්භාවිතාව 100% කින් වළක්වන බවත් තහවුරු කරල තියෙනවා. 

කොහොම උනත් එන්නත කොරෝනා වෛරසයේ නව ප්‍රභේද වලට සරිලන පරිදි වෙනස් වෙමින් , දියුණු වෙමින් තවමත් තෙවන මට්ටමේ සායනික පරීක්ෂණ වල තමයි තියෙන්නෙ.  

 

 

4. එන්නත්කරණය ආරම්භය

මේ දේවල් එහෙම සිදුවෙද්දී මේ සායනික පරීක්ෂණ අතරතුරේම එන්නත පොදු මහජනයා වෙත ලබාදීම අනුමත කිරීම 2020 දෙසැම්බර් 30 වෙනිදා එක්සත් රාජධානිය සිදුකරනවා. ඒ අනුව 2021 ජනවාරි 04 වෙනිදා එක්සත් රාජධානියේ අවුරුදු 82ක් වයස බ්‍රයන් පින්කර් කියන පුද්ගලයා සායනික පරීක්ෂණ වලින් පිටත මේ එන්නත ලබාගත්ත ප්‍රථම පුද්ගලයා බවට පත්වෙනවා.  

 

 

5. අනුමැතිය

එතන ඉඳල ඉදිරියට යුරෝපානු සංගමය, වියට්නාමය, ආර්ජන්ටිනාව, බංගලාදේශය, බ්‍රසීලය, ඉන්දියාව වගේම ලංකාව ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවක් තමන්ගේ රටවල් ඇතුළේ මේ එන්නත භාවිතය සඳහා අනුමැතිය ලබාදෙනවා. 

2021 පෙබරවාරි 10  වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් පරීක්ෂණ අතරමැද සිදුකරන මඟපෙන්වීමක් නිකුත් කරමින් මේ එන්නත සියළු වැඩිහිටියන් සඳහා සුදුසු බවට නිර්දේශ කරනවා.

 

 

6. ලංකාවේ එන්නත්කරණය

2021 පෙබරවාරි 07 වෙනිදා තමයි ලංකාවට මේ එන්නත් පළමු තොගය ලැබෙන්නෙ. ඒ 264,000 ක ප්‍රමාණයක්. මැයි මාසය වෙනකොට එන්නත් 1,440,000 කුත් ලංකාවේ මුළු ජනගහණයෙන් 20%ක පිරිසකට ප්‍රමාණවත් තරම් එන්නත් මාත්‍රා ප්‍රමාණයක් 2021 දෙවන අර්ධ වර්ෂයේදී, ඒ කියන්නේ ජූලි මාසයෙන් පස්සෙත් මුළුමනින්ම නොමිලේ ලැබෙන ප්‍රදානයන් විදිහට ලංකාවට ලැබෙනවා. 

 

 

7. වත්මන් තත්ත්වය

දැනටත් ප්‍රාදේශීය වශයෙන් හුඟක් ස්ථානවල එන්නත්කරණය ආරම්භ කරලා සිදුකරමින් පවතිනවා. ලැබෙන එන්නත් ප්‍රමාණය සීමිත නිසා විශේෂයෙන්ම වැඩි අවදානමක් පවතින වයස අවුරුදු 60ට වැඩි පිරිසටත් අධි අවදානම් ප්‍රදේශවල පමණක් වයස 30ට වැඩි පිරිසටත් තමයි දැනට ලංකාව තුළ මේ එන්නත් ලබාදෙන්නෙ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *