අපේ රාජ්‍ය සේවයේ සාහිත්‍යවේදියෝ

රාජ්‍ය සේවය සඳහා බොහෝවිට පිවිසෙන්නේ කලා අංශයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ අය කියලා මතයක් අපේ රටේ මුල් බැහැල තියෙනවා. ඒ කතාව කොයිතරම් දුරට නිවැරදිද කියලා කියන්න නම් අපි දන්නේ නැහැ. අපි අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ ලංකාවේ රාජ්‍ය සේවයේ යෙදෙන ගමන් කලාවට, සාහිත්‍යයට දායක වුණ විශිෂ්ටයෝ කීපදෙනෙක් පිළිබඳවයි. 

 

 

1. ආරියවංශ රණවීර 

අද වෙනකොට ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම කවියෙක් වන ආරියවංශ රණවීර පරිවර්තකයෙක් විදිහටත් සාහිත්‍යයට සුවිශේෂී දායකත්වයක් ලබා දීලා තියනවා. රාජ්‍ය සේවයේ විවිධ තනතුරු හෙබවූ එතුමා කාලයක් ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධූරය පවා දරනු ලැබුවා. යුද්ධයේ නිස්සාරත්වය ගැන කියවෙන “ට්‍රෝජන් ගැහැණු” වැනි නාට්‍ය කෘති පරිවර්තනය කරමින් එම ධූරයේ රැඳී සිටීම ගැන වරක් මහාචාර්ය සුචරිත ගම්ලත් ආරියවංශ රණවීරව ප්‍රශ්න කර තිබුණා. නමුත් රණවීර කිසිදා තමන්ගේ සාහිත්‍යය සහ රැකියාව එකිනෙක පටලවා ගත්තේ නැහැ.

 

 

2. එරික් ඉලයප්ආරච්චි 

පුත්තලම් දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රදේශයේ උප දිසාපති ලෙස රාජ්‍ය සේවයට පිවිසුණු එරික් ඉලයප්ආරච්චිගේ සාහිත්‍ය ජීවිතය රාජ්‍ය සේවයට වඩා  අතීතයකට දිව යනවා. ඔහු තමන්ගේ පළමු කාව්‍ය සංග්‍රහය වූ “මැදියමේ ගීතය” නිකුත් කරන්නේ රාජ්‍ය සේවයට එක් වන්නට කලින්. රාජ්‍ය සේවයේ තනතුරුවලින් ඉහළ යද්දී ඔහු තමන්ගේ සාහිත්‍ය ප්‍රතිභාවත් වේගයෙන් ඉහළ නංවා ගන්නවා. මේ නිසා සමකාලීන සාහිත්‍යයට කවියෙක්, නවකතාකරුවෙක් සහ විචාරකයෙක් විදිහට සුවිශාල දායකත්වයක් ලබා දෙන්න ඔහු සමත් වෙනවා.

 

3. ජයන්තා රුක්මණී සිරිවර්ධන 

මීට මාස කීපයකට පෙර හදිසියේ මෙන් සමුගත් ජයන්තා රුක්මණී සිරිවර්ධන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක්. බොහෝ අවස්ථාවල සාහිත්‍ය සහ කලා නිර්මාණ විනිශ්චය මණ්ඩලවලට ඇය නැතුවම බැරි චරිතයක්ව තිබුණා. කාව්‍ය, නවකතා, කෙටිකතා, ළමා කෘති, තීරු ලිපි ආදී නිර්මාණ රාශියක් ඇය සිය රැකියාවේ වගකීම් දරන අතරතුර රසිකයන් වෙනුවෙන් තිළිණ කරනු ලැබුවා.

 

 

4. ලීල් ගුණසේකර 

අප අතර දැනට සිටින ජ්‍යේෂ්ඨතම පරිපාලන සේවා නිලධාරියෙකු වන ලීල් ගුණසේකර අතිශයින් ජනප්‍රිය රාජ්‍ය සේවකයෙක් වුණා. විශේෂයෙන්ම දුෂ්කර පළාත්වල ඔහු සිදු කළ වෙනස්කම් බොහෝ දෙනාගේ පැසසුමට ලක් වුණා. එම කාලයේ දී තමන් ලත් අත්දැකීම් පාදක කොටගෙන “අත්සන” සහ “පෙත්සම” යන කෘති ඔහු අතින් ලියැවුණා. මේ පොත් දෙකම පාඨකයන් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා.

 

 

5. නිමල් බණ්ඩාර 

2000 වසරේදී ශ්‍රී ලංකා විදේශ සේවයට එක්වු නිමල් බණ්ඩාර රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස රටවල් කීපයක සේවය කරනු ලැබුවා. වර්තමානයේ දී ඔහු සයිප්‍රස් ජනරජයේ කොන්සල් ජනරාල්වරයා ලෙස සේවය කරනු ලබනවා. නිමල් බණ්ඩාර මහතා අතින් “නෙල්ලි කැලේ වීරයෝ”, “වන රජදහන”, “ගල්ගේ කන්ද” වැනි යොවුන් කතා කීපයක් රචනා වී තිබෙනවා. මේ අතරින් නෙල්ලි කැලේ වීරයෝ කෘතිය ඔහු අතින් ලියැවුණු ජනප්‍රියතම යොවුන් නවකතාව ලෙස හැඳින්වීමට පුළුවන්. මෙම කෘතිය දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලට පවා පරිවර්තනය වුණා.

 

 

6. ආනන්ද ගුරුගේ 

මහාචාර්ය මලලසේකරගෙන් පස්සේ ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විදිහට කටයුතු කරපු විශිෂ්ටතම විද්වතා විදිහට ආනන්ද ගුරුගේව හඳුන්වන්න පුළුවන්. රාමායන සමාජය නැමැති ආචාර්ය උපාධිය සඳහා ඔහු විසින් ඉදිරිපත් කළ නිබන්ධනය සමකාලීන විද්වතුන්ගේ පැසසුමට ලක් වුණා. එසේම මහා වංශය ග්‍රන්ථය ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමත් ඔහු අතින් සිදුවුණු තවත් එක් විශිෂ්ට කර්තව්‍යයක්. ඉංග්‍රීසි සහ සිංහල පමණක් නොව පාලි, සංස්කෘත වැනි භාෂා කීපයක ප්‍රවීණත්වයත් දැරූ එතුමා රැකියාව අකුරට කිරීමෙන් අනතුරුව දවසින් වැඩි කාලයක් සිය අධ්‍යයන කටයුතු සඳහා යොමු කරනු ලැබුවා.

 

 

7. සිරිනිමල් ලක්දුසිංහ

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට කටයුතු කරපු සිරිනිමල් ලක්දුසිංහ තමන්ගේ විෂය පථයට අදාළව කෘති ගණනාවක් රචනා කළා. ඒ වගේ තනතුරක් දරන කෙනෙක් ඒ වගේ පොත් ලියන එක සාමාන්‍ය දෙයක් වුණත් ලක්දුසිංහ කෙටිකතාකරුවෙක් සහ කවියෙක් විදිහටත් සාර්ථක වීම විශේෂ කාරණයක් වෙනවා. එසේම ශාස්ත්‍රීය කටයුතු වල දී පවා සරල සහ රසවත් භාෂාවක් අනුගමනය කිරීමට එතුමා වග බලාගෙන තිබුණා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *