හැත්තෑව, අසූව දශකයේ විදියට රෙට්‍රෝ තීම් එකකට රූම් එක ඩිසයින් කරගමුද?

ඔය රෙට්‍රෝ තීම් ගැන කියනකොට ඒකට ගොඩක්ම ආස අය සෑහෙන්න ඉන්නවා කියලා හිතන්න පුළුවන්, ලංකාවේ තියෙන පැරණි පන්නෙට ඩිසයින් කරපු, පැරණි පන්නෙට අභ්‍යන්තර ගෘහාලංකරණය කරපු ගෙවල් ප්‍රමාණය බැලුවහම. ෂුවර් නැද්ද? එහෙමනම් නිකමට හිතලා බලන්න කොයි තරම් ගෙවල් ප්‍රමාණෙක අර කවිච්චි තියලා තියෙනවද, ඉර හඳ ගහලා, සේසත් මුරායුධ එහෙම තියලා තියෙනවද කියලා. එව්වත් රෙට්‍රෝ තීම්ස් තමයි පුතාලා!

හැබැයි අපි අද කතාකරන්න යන්නේ සිරිලංකන් රෙට්‍රෝ තීම්ස් වලට කාමරයක් ඩිසයින් කිරීම ගැන නෙවෙයි. බටහිර රටවල හැත්තෑව අසූව දශක වලදී ජනප්‍රිය වෙලා තිබුණු ඩිසයින් දැන් කාලේ කාමරයක් ඩිසයින් කරන්නත් යොදාගන්න එක ගැන තමයි අපි කතා කරන්න හිතුවේ.

 

මුලින්ම තමන්ට කාමරේ ඩෙකරේට් කරන්න ඕන කොයි කාලෙට අනුවද කියලා හිතාගන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, අපි හිතුවා 70, 80 දශක වලට යන්න කියලා.

 

1. පාට හරියට

මේක ගොඩක් දෙනෙක් ඒ තරම් වැදගත් කියලා නොහිතන්න පුළුවන්. ඒ කියන්නේ ආයෙ ඉස්සර පාටවල්, දැන් පාටවල් කියලා වෙනසක් තියෙනවද? ඇත්තටම කිවුවොත් ඔව්. උදාහරණයක් විදියට ගත්තොත්, 70 දශකයේ  bright green, turquoise, sunshine yellow, orange සහ brown කියන පාටවල් සෑහෙන්න පාවිච්චි වුණා කියලා කියනවා. ගොඩක් වෙලාවට මේ පාටවල් පසුබිම් කරගෙන වඩාත් වර්ණවත් ගෘහභාණ්ඩ සහ වෙනත් අලංකරණ පාවිච්චි වෙලා තියෙනවා කියලා අපිට ඔය පරණ කාලේ ෆිල්ම්ස් බලනකොට එහෙම තේරෙනවා. එතකොට 80 දශකය ගත්තොත් mauve, coral සහ seafoam green වගේ සෑහෙන්න පැස්ටල් කලර්ස් පාවිච්චි වෙලා තියෙනවලු. ඒක පසුබිමේ තියෙනකොට වඩාත් තීව්‍ර වර්ණ තමයි ගෘහභාණ්ඩ වලට එහෙම තියෙන්නේ. ආන්න එතකොට අපිට අයිඩියා එකක් තියෙනවා බිත්ති වලට එහෙම ගාන්න පුළුවන් පාට වර්ග ගැන. ඒ එක්කම ඒ පසුතලයේ අනික් දේවල් නිර්මාණය කරගන්න විදිය ගැන.

 

2. බිමට මොනවද?

අලුතෙන්ම කාමරේ හදනවා නං, අර පරණ තාලේ දීප්තිමත් වර්ණ සහ පැහැදිළිව වෙන් වුණු රටා තියෙන ටයිල්ස් එහෙම පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටළුවක් නැතුව. අර දාම් බෝඩ් එක වගේ කළු සහ සුදු මාරුවෙන් මාරුවට එන ටයිල් රටා ඩිසයින් ආවෙත් ඒ කාලේ තමයි. ඕන නං ඒ තරම් පර්මනන්ට් දෙයක් කරන්නෙ නැතුව, තමන්ට ඕන කාලෙට අනුව ගැලපෙන වයිනිල් ෆ්ලෝර් කාර්පට් එකක් නැතිනම් රබර් කාර්පට් එකක් දාගන්න පුළුවන්. වාසනාවට ඔය 70, 80 දශකේ ට්‍රෙන්ඩ් වුණු දීප්තිමත් වර්ණ තියෙන, බෝල බෝල, කොටු කොටු, අමුතු හැඩ ඩිසයින් තියෙන රෙට්‍රෝ ස්ටයිල් කාපට් තාමත් හොයාගන්න පුළුවන්. ඕන නං බිත්ති වලටත් උඩ කියපු විදියට පාට නොගා මේ කාර්පට් වලටම ගැලපෙන වෝල්පේපර්ස් අල්ලන්නත් පුළුවන්.

 

3. ගෘහභාණ්ඩ

මෙන්න මේක සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්. මොකද, පරණ තාලේ ගෘහභාණ්ඩ හොයාගන්න එක ලේසි නෑ. ලංකාවේ පරණ තාලේ ගෘහභාණ්ඩ තියෙනවා. හැබැයි අර කළුවර පෙට්ටගමක් හරි කැටයම් කපපු කවිච්චියක් හරි 70, 80 දශකවල බටහිර රෙට්‍රෝ තීම් එකකට යන්නෙ නෑනේ. ආන්න ඒ නිසා බොහොම ප්‍රවේසමෙන් හිතලා බලන්න ඕන තමන්ට කාමරේට ඕන, තීම් එකට ගැලපෙන ගෘහභාණ්ඩ ගැන. අර පරණ විදියට ලෙදර් වලින් හදපු සුවපහසු රික්ලයිනර් පුටු තියෙන්නේ? ආන්න රෙට්‍රෝ තීම් එකකට කියාපු භාණ්ඩේ. එතකොට ලී මේස, ලී කකුල් එක්ක තියෙන කුෂන් පුටු එහෙමත් රෙට්‍රෝ ස්ටයිල් එකට ගැලපෙනවා. ඒ එක්කම තද පාට ලී වලින් හදපු විවෘත පොත් රාක්ක, කකුල් තියෙන ලී කබඩ් එහෙමත් රෙට්‍රෝ ස්ටයිල් එකට ගළපගන්න පුළුවන්. හැම වෙලේම තද හෝ දීප්තිමත් පාට වුණාට කමක් නෑ.

 

4. පෝස්ටර්

මෙන්න අපි ඩිසයින් කරන කාමරයේ රෙට්‍රෝ ස්ටයිල් එක කුළුගන්ව ගන්න පාවිච්චි කරන්න පුළුවන් නියම ක්‍රමේ. මේ විදියේ පෝස්ටර් හොයාගන්න ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ ඊබේ එකෙන් හරි ඒ වගේ වෙන පෝස්ටර් ගෙන්නගන්න පුළුවන් විදියේ වෙබ්සයිට් එකකින් කෙලින්ම රෙට්‍රෝ පෝස්ටර්ස් ඇණවුම් කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඔන්ලයින් ගියාට පස්සේ පොඩ්ඩක් සර්ච් කරලා හොයාගන්න පුළුවන් පරණ තාලේ පෝස්ටර්. මේවා හයි රෙසොල්‍යුෂන් ඉමේජස් ඩවුන්ලෝඩ් කරලා, ඒවා හොඳ තැනකින් ප්‍රින්ට් කරගන්න පුළුවන්.

 

හැබැයි පෝස්ටර් ගහන්න කලින් මොකද්ද තමන්ට අවශ්‍ය පෝස්ටර් තීම් එක කියලා හිතලා බලන්න ඕන. කාමරේ රෙට්‍රෝ තීම් එකක් කියලා හැමජාතියෙම පෝස්ටර්ස් හරියන්නෙ නෑ. එක්කෝ ෆිල්ම් පෝස්ටර්ස්. එක්කෝ නළු නිළියන්ගේ නැතිනම් ගායක ගායිකාවන්ගේ පෝස්ටර්ස්. එක්කෝ වින්ටේජ් කාර් වල පෝස්ටර්ස්. මෙන්න මේ වගේ තමන්ට අවශ්‍ය තේමාවට අනුව යන්න පුළුවන්.

 

5. ලයිට් බෝඩ්ස්?

මෙන්න මේක නම් ටිකක් ලයිට් බිලට කෙළවෙන වැඩක්. දැන් ඔය රෙට්‍රෝ තීම් කාමරයක් හදනකොට, හැමෝගෙම අවධානය යොමු වෙන විදියේ ලයිට් බෝඩ් එකකුත් හදාගමුද? මොකද 70, 80 දශක වල ඔය පාට පට ලයිට්ස් වලට සෑහෙන්න තැනක් ලැබුණනේ. දැන් ඔය ලයිට් බෝඩ් එක ඇතුළේ තමන්ට එන පෝස්ට්කාර්ඩ් වල ඉඳලා, ඕනම දෙයක් ලියලා තියන්න, අලවලා තියන්න පුළුවන්. හැබැයි ඒ කාලේ පාවිච්චි වුණු ෆොන්ට්ස් සහ ෂේප්ස් ගැනත් හිතන එක හොඳයි. ඒකට වටේට දාන්න පුළුවන් අර පරණ තාලේ වොට් 5 බල්බ් විදියට පේන්න හදපු එල්ඊඩී ලයිට්ස්.

 

6. රෙට්‍රෝ උපාංග

කාමරේට රෙට්‍රෝ ෆීල් එක ගන්න හොඳම දෙයක් තමයි, 70, 80 දශක වල ෆීල් එකක් එන විදියේ උපකරණ, උපාංග ටිකක් පාවිච්චි කරන එක. උදාහරණයක් විදියට අර බිම හිටුවන පරණ තාලේ ලෑම්ප් ෂේඩ් එකක් එක්ක එන ලයිට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඕන නං රෙකෝඩ් ප්ලේයර් එකක් එහෙමත් තියන්න පුළුවන්. ඒ කියන්නේ අර ලොකු හෝන් එකක් තියෙන ග්‍රැමෆෝන් තැටි ප්ලේයර් එක නෙවෙයි, ඊට පස්සේ ආපු හුරුබුහුටි පෙට්ටියක් වගේ තියෙන එක. ඕන නං අර 80 දශකේ එහෙම සෑහෙන්න ජනප්‍රිය වුණු, දෙපැත්තේ ස්පීකර් දෙකයි, මැද්දේ කැසට් ප්ලේයර් එකයි තියෙන ලොකු ජූක්බොක්ස් එකක් එහෙමත් රාක්කයක් උඩින් තියන්න පුළුවන්. එතකොට පරණ තාලේ පින්බෝල් මැෂින් එකක් හරි, අර දඩාර සයිස් පරණ වීඩියෝ ගේම් කොන්සෝල් එකක් එහෙම හොයාගන්න පුළුවන් නම් ඉතින් වැඩේ සුපිරියි. එතකොට ඕන නං ටයිප් රයිටරයක් එහෙමත් හොයාගන්න පුළුවන්.

 

7. රෙට්‍රෝ එක්ක මොඩර්න් අවුල්ද?

දැන් මේ විදියට සම්පූර්ණයෙන්ම රෙට්‍රෝ ඩිසයින් එකකට කාමරේ නිර්මාණය කරගත්තා කියලා, අපිට පාවිච්චි කරන්න අවශ්‍ය නවීන උපාංග පාවිච්චි නොකර ඉන්න ඕන බැහැනේ. ඒත් ඒකෙන් ඩිසයින් එක අවුල් යයිද? ඇත්තටම නෑ. මෙහෙම රෙට්‍රෝ ලුක් එකකට හදපු රූම් එකට නවීන ඒසී යුනිට් එකක් හයි කළාට කමක් නෑ. එතකොට පරණ තාලේ ඩිසයින් එකක මේසේ උඩ නවීන ලැප්ටොප් එකක්, වයර්ලස් කීබෝඩ් මවුස් එහෙම තිබ්බට කිසිම ගැටළුවක් නෑ. ඇත්තටම වෙන්න ඕන මේ දේවල් එක්ක වටපිටාව ගාණට මැච් කරගන්න එක තමයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *