චීනයේ පළාත් ගැන දැනගනිමු

 අද වෙනකොට ලෝකේ අපිට මිත්‍රම රට බවට පත් වෙලා තියෙන්නේ චීනය. ඇතැම් පාර්ශ්ව කියන විදිහට චීනය අපේ මිත්‍රයන් බවට පත්වෙලා ලංකාවම චීන කොළනියක් කරන්න යනවා. ඒ කතාව කොච්චර දුරට ඇත්තද කියන එක ප්‍රශ්නකාරීයි. කොහොම වුණත් ඒ පිළිබඳව අපි වැඩි දුරට කතා කරන්න යන්නේ නැහැ. ඒ සබඳතාව අමතක කළත් අද වෙනකොට ලෝකයේ ප්‍රබල බලවතෙක් බවට පත්වෙලා ඉන්න චීනය ගැන තොරතුරු දැනගන්න එක අපි හැමෝටම වැදගත්. මේ නිසා Lifie අපි හිතුවා චීනය පිළිබඳව තොරතුරු රැගත් ලිපි මාලාවක් ඔබ වෙත ගෙන එන්න. ලිපි මාලාවේ ආරම්භය විදිහට චීනයේ පළාත් කීපයක් පිළිබඳව තොරතුරු ගෙන එන්න අපි තීරණය කළා.

 

 

1. ග්වෑන්ඩොන්ග් (Guangdong)

දකුණු චීනයේ වෙරළ ආශ්‍රිතව පිහිටා තිබෙන මෙම පළාත සැළකෙන්නේ චීනයේ වැඩිම ජනගහණයක් සහිත පළාත ලෙසයි. ඩෙන්ග් ෂියා ඕ පෙන්ග්ගේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස මෙම පළාත ආර්ථික සමෘද්ධිය වේගයෙන් අත්පත් කරගත්තා. එසේම වැඩිම අපනයනය සිදුකරන පළාත මෙන්ම වැඩිම ආනයනය සිදුකරන පළාත බවටද මෙය පත්ව තිබෙනවා.

 

2. ජිංග්සූ (Jingsu) 

ටෑන්ග් සහ සුයි රාජවංශ යුගවල පටන් මෙම පළාත ආර්ථික සහ වෙළෙඳ මධ්‍යස්ථානයක්ව පැවතුණා. ග්‍රෑන්ඩ් කැනල් ලෙස හැඳින්වෙන ඇල මාර්ග පද්ධතිය ගොඩනැගීම මීට එක හේතුවක් බවට  පත් වුණා. නැන්ජින්ග්, ෂැංග්හයි ආදි සමෘද්ධිමත් නගර ගණනාවක් මෙම පළාත තුළ පිහිටා තිබෙන අතර වැඩිම විදේශීය ආයෝජන ලැබෙන පළාත බවටද මෙය පත්ව තිබෙනවා.

 

3. ෂැන්ඩොංග් (Shangdong)

චීන ඉතිහාසය තුළ වැදගත් භූමිකාවක් ඉටු කළ පළාතක් ලෙස මෙම පළාත හැඳින්වීමට පුළුවන්. ටාඕවාදය, කොන්ෆියුසිස්වාදය සහ බුද්ධාගම මෙම පළාත තුළ අතීතයේ පටන් ප්‍රබල තත්ත්වයක පැවතුණා. මෙම පළාත ස්ථානගතව තිබෙන ආකාරය අනුව වෙළඳ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ප්‍රසිද්ධියට පත් වූ අතර වර්තමානයේ දී චීනයේ වැඩිම දළ දේශීය නිෂ්පාදනය හිමි ප්‍රාන්ත අතරින් තුන්වැනි ස්ථානය මෙම පළාත විසින් හිමිකරගෙන තිබෙනවා.

 

 

4. ෂේජිංග් (Zhejiang)

නැගෙනහිර චීනයේ වෙරළ තීරය ආශ්‍රිතව පිහිටා තිබෙන මෙම පළාත සැළකෙන්නේ චීනයේ කොඳු නාරටිය ලෙසයි. ආර්ථික වශයෙන් මෙම පළාත දක්වන දායකත්වය මෙන්ම ජැක් මා වැනි ධනවතුන් මෙම පළාතේ උපන්නවුන් වීම ඊට තවත් එක් හේතුවක්. දෙවැනි ලෝක යුද්ධ සමයේදී ජපානය විසින් මෙම පළාතේ කොටස්  අත්පත් කරගත්තා. මහජන චීනය බිහිවීමෙන් පසුව මුල් කාලයේදී මෙම පළාතේ ආර්ථිකය දුර්වල තත්ත්වයේ පැවතුණත්, ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ චීනයේ සමෘද්ධිමත් පළාතක් බවට මෙය පත්වුණා.

 

 

5. හෙනෑන් (Henan)

මෙම පළාත සැළකෙන්නේ චීන ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙසයි. පුරාණ චීනයෙහි රාජකීය අගනුවර හතරක් මෙම පළාත තුළ පිහිටා තිබෙන අතර මේ නිසාම ඓතිහාසික ස්ථාන රාශියක් මේ පුරා විසිරී පවතිනවා. මෙම පළාත රටක් ලෙස සැළකුවහොත් ලෝකයේ දාහතරවැනියට විශාලතම ආර්ථිකය හිමි රට බවට මෙය පත්වනවා. නමුත් පුදුමයකට මෙන් චීනයේ අනිත් පළාත්වලට සාපේක්ෂව මෙම පළාත ඌණ සංවර්ධිත පළාතක් ලෙස සැළකෙනවා.

 

 

6. සිෂුආන් (Sichuan)

කොමියුනිස්ට්වාදීන් විසින් චීනයේ බලය අත්පත් කරගැනීමෙන් අනතුරුව ඇතිවුණු මහා වසංගතයේදි දැඩි දුෂ්කරතාවලට ලක් වුණ පළාතක් ලෙස මෙම පළාත හැඳින්විය හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන 9.4කට අධික ජනතාවක් මියගිය බව වාර්තා වෙනවා. කෙසේ නමුත් ඩෙන්ග් ෂියා ඕ පෙන්ග් බලයට පත්වීමත් සමඟම වෙළඳපොල ආර්ථිකය හඳුන්වා දුන් පළමු පළාත බවට සිෂුආන් පත්වුණා. අතීතයේ පටන් ස්වභාවික සම්පත්වලින් අනූන පළාතක් වන මෙය අද වන විට සමස්ත චීනයේම ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙනවා.

 

 

7. ෆුජිආන් (Fujian)

නිරිත දිග වෙරළ තීරය ආශ්‍රිතව විහිදී තිබෙන මෙම පළාත සංස්කෘතික සහ භාෂාත්මක වශයෙන් ඉතා ඉහළ විවිධත්වයක් සහිත පළාතක්. චීනයේ බලය කොමියුනිස්ට්වාදීන්ට හිමි වුණු මුල් අවධියේදී මෙම පළාතේ ආර්ථික වර්ධන වේගය මන්දගාමී ස්වභාවයේ පැවතුණත්, වර්තමානයේදී එය වේගවත් වී තිබෙනවා. එසේම චීනයේ පළාත් අතරින් වැඩිම වන වැස්මකට උරුමකම් කියන්නේද මෙම පළාතයි. තමන් සතු සංස්කෘතික සහ ස්වභාවික උරුමයන් ආරක්ෂා කරගනිමින් තිරසාර සංවර්ධනය ළඟා කර ගැනීමේ අභියෝගයට මෙම පළාත මුහුණ දී තිබෙනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *