මීට අවුරුද්දකට විතර කලින් කෝවිඩ් රැල්ල ආරම්භයේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් කේරළය දෙස බලන්න කියලා ආණ්ඩුවට උපදෙස් දීම නිසා සමාජ මාධ්‍ය ජාලාවල දැඩි බයිට් වීමකට ලක් වුණා. මොකද ඊට මාස කීපයකට පස්සෙ කේරළයේ කෝවිඩ් වසංගත තත්ත්වය දරුණු ආකාරයෙන් පැතිරීම නිසා. නමුත් අද වෙද්දී කේරළය කෝවිඩ් වසංගතය අනෙකුත් ප්‍රාන්ත වලට සාපේක්ෂව සාර්ථකව පාලනය කරන්න සමත් වෙලා තියෙනවා. මේ නිසා අපි අද කේරළය ගැන තොරතුරු කිහිපයක් ඔබත් එක්ක බෙදාගන්න හිතුවා.
1. කේරළයට නම හැදුණු හැටි
ලංකාවේ කෙනෙක් සංචාරයකට කේරළයට ගියොත් ලංකාවයි කේරළයයි අතර ලොකු වෙනසක් නැති බව වැටහෙයි. විශේෂයෙන්ම අපේ ලංකාවේ පොල් ගස කප් රුකක් විදිහට සළකනවා වගේම කේරළයෙත් පොල් ගස කප්රුකක් විදිහට සැළකෙනවා. මුළු ප්‍රාන්තය පුරාම වෙරළබඩ තීරයෙත් සෑම ගෙවත්තක වගේමත් පොල් ගස් අනිවාර්යයෙන්ම දකින්න ලැබෙනවා. මේ නිසා පොල් රුප්පාවලින් පිරුණු දේශය යන අර්ථය දෙන කේරළය කියන නම මේ ප්‍රදේශයට ලැබිලා තියෙනවා.
2. කාන්තා බලය වැඩි කේරළය
ඉන්දියාවේ ප්‍රාන්ත අතරින් වැඩිම කාන්තා ප්‍රතිශතයක් ඉන්න ප්‍රාන්තය විදිහට කේරළය සැළකෙනවා. සරලව කිව්වොත් එහෙම කේරළයේ කාන්තා ජනගහණය පිරිමි ජනගහණයට වඩා වැඩියි. අනෙකුත් ප්‍රාන්ත වල ගැහැණු දරුවෙක් ඉපදීම ශාපයක් විදිහට සළකුණත් උසස් අධ්‍යාපන ක්‍රමයක් සහ මාතෘ මූලික සම්ප්රදායක් පැවතුණු කේරළයේ ගැහැණු දරුවකු ඉපදීම වාසනාවක් විදිහට පිළිගැනෙනවා.
3. කේරළයේ අධ්‍යාපනය
අපේ රටේ බොහෝ දෙනෙක්ගේ ආකල්පයක් තියෙනවා ඉන්දියාවේ ජනගහණයෙන් වැඩි පිරිසක් නූගතුන් විදිහට. නමුත් කේරළයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. සමස්ත ඉන්දියාවේම වැඩිම සාක්ෂරතාවයක් හිමි ජනතාව වෙසෙන්නේ කේරළය තුළයි. එම අගය ප්‍රතිශත වලින් කිව්වොත් එහෙම 93%ක්. ඒ වගේම අනෙකුත් ප්‍රාන්ත අතරින් පළමු වතාවට 100%ක් දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපනය ලබා දෙන්න සමත් වෙච්ච ප්‍රාන්තය විදිහට කේරළය වාර්තාවක් උසුලනවා.
4. කේරළයේ ආයු අපේක්ෂාව
ඉන්දියාවේ අනිකුත් ප්‍රාන්තවල සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 65ක් වෙද්දි කේරළේ ජීවත් වන පුද්ගලයෙකුට ඊට වඩා වැඩිපුර අවුරුදු 10ක් හිමිවන බවට පුරෝකතනයක් පවතිනවා. මේ සඳහා හේතු ගණනාවක් බලපානවා. කලින් අපි සඳහන් කළා වගේම උසස් අධ්‍යාපන මට්ටමක් පැවතීම නිසා පුද්ගල සනීපාරක්ෂාව පිළිබඳ කේරළ වාසීන් අති මහත් සැළකිල්ලක් දක්වනවා. මීට අමතරව ඔවුන්ගේ සෞඛ්‍ය සේවය කළාපයේ හොඳම සෞඛ්‍ය සේවයක්. ඒ වගේම කේරළ වැසියන් තවමත් තමන්ගේ සාම්ප්‍රදායික සරල ආහාර වේලෙන් බැහැර වෙලා නැහැ.
5. බොන්නත් සූරයෝ… කියවන්නත් සූරයෝ
කේරළයේ සාමාන්‍ය ජනතාව අමුතුම විදිහේ ජීවන රටාවකට හුරුපුරුදු වෙලා තියෙන අය. ඉන්දියාවේ අනිකුත් ප්‍රාන්ත වල ජනතාව එක්ක බලද්දි ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය කේරළ වාසීන් අතර දෙගුණයක් වෙලා තියෙනවා. ඒ වගේම අනෙකුත් රටවල කියවීමට ඇබ්බැහි වූ පුද්ගලයන් අතර මත්පැන් පරිභෝජනය අඩු අගයක් ගත්තට කේරළය තුළදී මෙම නිරීක්ෂණය බොරුවක් බවට පත්වෙනවා. මොකද කේරළයේ ජනතාව පොත්පත් කියවීමට ඇබ්බැහි වූ ජනතාවක්.
6. කේරළයේ අලි ඇත්තු
අපි කලින් සඳහන් කළා වගේම කේරළය සහ ලංකාව අතර තියන තවත් සමානකමක් වෙන්නේ මේ ප්‍රාන්තය තුළ අලි ඇතුන් පූජනීයත්වයෙන් සැළකීමයි. තණ බිම්වල සැරිසරමින් ඉන්න අලි කේරළය තුළ සුලභ දර්ශනයක්. බොහෝ වෙලාවට හීලෑ කරන ලද මෙම අලි ඇතුන්ගේ හිමිකාරීත්වය පවතින්නේ කෝවිල් සතුවයි. අලින්ට දක්වන මෙම ගෞරවාදරය නිසාම කේරළ රාජ්‍ය ලාංඡනයෙත් අලියකුගේ රුව ඇතුළත් වෙලා තියෙනවා.
7. ලෝකයේ ධනවත්ම පුදබිම
ලොව පුරා හින්දු බැතිමතුන්ගේ වන්දනාවට පාත්රවන පද්මනාභසම්භව කෝවිල මිහිමත ඇති ධනවත්ම පුදබිම විදිහට සැළකෙනවා. කේරළය පාලනය කරන ලද රජවරුන් විසින් අවස්ථා ගණනාවකදී අති දැවැන්ත ධනයක් මෙම පුදබිමට ලබාදී තිබෙනවා. මීට වසර කීපයකට පෙර පැරණි රජ කෙනෙක් විසින් මේ පුදබිම තුළ සඟවන ලද නිධානයක්ද හමු වුණා. මෙයට අමතරව මේ පුදබිම කරා ඇදී එන බැතිමතුන් සිය බාරහාර ඉෂ්ට කිරීම සඳහා රනින් කරන ලද ආභරණ සහ ප්‍රතිමා පූජා කරනු ලබනවා. මේ නිසා කේරළයේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් බවට මෙම කෝවිල පත්ව තිබෙනවා.
දැන් එහෙනම් කේරළය ගැන යම්තාක් දුරකට හෝ දැනීමක් ඔබට ලැබිලා ඇති කියලා අපි හිතනවා. එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply