කලබල නැතුව ගා​ණට බිස්නස් කරන බෝරා මුස්ලිම් උදවිය

යුරෝපීයයන් 15-16 සියවස් වලදි යටත් විජිත සොයාගන්නට පෙර ඒ යටත් විජිත වල ව්‍යාපාරිකයින් වූයේ බොහෝවිට මුස්ලිම්වරුන්ය. මුස්ලිම්වරුන් රටකට ඇතුලු වී, ඒ ජනතාව සමගම එකතු වී ව්‍යාපාර කටයුතු කරන්නට සමත් ජාතියක් වුනා. බෝරාවරුන්ගේම වචනවලින් කියන්නේ නම් ඔවුහු මල නොතලා රොන් ගන්නට සමත් ජාතියක්. එසේ ලොව සෑම අස්සක් මුල්ලකටම රිංගා වෙළඳාම් ක​ළ මුස්ලිම්වරු අතර කොටසක් රටවල් යටත් කිරීම, යටත්විජිත පිහිටුවීම පසෙක ලා පාඩුවේ වෙළ හෙළඳාමක් කරගෙන, ඒ රටවල ජනතාව හා මුසුවෙමින් කල් ගත කළා. අපේ රටේද උඩරට යුගයේදී මුස්ලිම්වරුන් රජවරුන් හා සමීපව කටයුතු කර ඇති බැව් වාර්තා අනුව පෙනී යනවා. මේ දවස්වල ගොඩක් කතාවුනු බෝරාවරුත් ආන්න ඒ වගේ වෙළඳාමට දක්ෂ පිරිසක්.

 

1. බෝරා අය අන්තවාදීද?

අප්‍රේල් 21 ප්‍රහාරය වෙලා තවම මාස හයක්වත් නැහැ. ඉතින් සාමාන්‍ය ජනතාව ඉස්ලාමීය සංවිධාන දිහා තවමත් සැකෙන් තමයි බලන්නේ. ඉස්ලාමීය සංවිධානවලත් වර්ග ග​ණනාවක් තියෙනවා. අල් ක්වයිඩා, අයිසිස් වගේ කණ්ඩායම් රැසක් අන්තවාදීව ප්‍රචණ්​ඩකාරී ඉස්ලාම් සංවිධාන විදියට පෙනී ඉන්නවා. ඒත් බෝරා උදවිය එහෙම ජාතියක් ​නෙමෙයි. එයාල සාම්ප්‍රදායික ෂියා මුස්ලිම් දහමේ එක් කොටසක් ලෙස පෙනී ඉන්නවා. ලංකාවෙ බෝරා මුස්ලිම් අය ඉන්නේ තුන්දාහකට අඩු පිරිසක්. ඒත් එයාල ව්‍යාපාරික අතින් සවිමත් අඩියක ඉන්නවා. ඉන්දියාවෙදි බෝරා මුස්ලිම් උත්සවවලට අගමැති නරේන්ද්‍ර මෝඩි මැතිතුමා පවා සහභාගි වෙලා තියෙනවා. ඒ වගේම පසුගිය දිනවල කොළඹ තිබුන වගේ උත්සවයක් 2015 වර්​ෂයේදී ඇමරිකාවේ ටෙක්සාස් වල හූස්ටන් වලත් මේ බෝරාවරුන් පවත්වලා තියෙනවා. බෝරාහි ​ආධ්‍යාත්මි​ක නායකයා 2014 වර්​ෂයේදි එවකට ජනපති මහින්ද රාජපක්​ෂ මැතිතුමා හමු වෙලා තියෙනවා. එසේම 1950 ග​ණන් වලදී බෝරා ප්‍රජාවේ නායකයකු එවකට අගමැති මහාමාන්‍ය  ඩී. ඇස් සේනානායක මහතාද හමු වී තිබෙනවා.

 

2. බෝරා ගැහැනු

ලංකාවට ආපු බෝරා කාන්තාවන් විවිධ පාට ඇඳුම් වලින් සැරසිලා උන්නා. ඒ වගේම පිරිමි අය හා සමානවම එයාල උත්සව ආදියට සහභාගි වන බවක් දුර සිට බැලූ අයට පේන්නට තිබුනා. ඔවුන් බය හිතෙන විදියේ කල්‍රපාට බුර්කා, හිජාබ් වලින් සැරසිලා නැති නිසා ඇත්තටම ඒ අය ලාංකික සිංහල ගෑනු අය වගේම හැඩට පේන්න හිටියා. ඒත් වාර්තා ව​න විදියට කාන්තාවන් සුන්නත් කිරීම වගේ පරණ චාරිත්‍ර තවමත් බෝරාවරුන් අතර තියෙනවා. කාන්තාවන්ගේ ලිංගේන්ද්‍රි​යේ බාහිර කොටසක් ඉවත් කිරීමේ මේ ක්‍රියාවලිය බොහොම වේදනාකාරී එකක්. පිටින් මොඩර්න් විදියට පෙනුනත් බෝරාවරුන් තවමත් මේ ගැහැනු සුන්නත් කිරීමේ ම්ලේච්​ඡ චාරිත්‍රය නම් අත ඇරලා නැහැ.

 

3. බෝරා සහ සාමාන්‍ය මුස්ලිම් අත​ර වෙනස

බෝරා වරු වෙනමම දහමක් නොව අදහන්නේ ඉස්ලාම් දහමමයි. එහෙත් ඔවුන් ඉතා සංවිධානාත්මක කණ්ඩායමක් ලෙස සංවිධානය වෙලයි ඉන්නේ. ඔවුන්ගේ නායක සෙයිද්නා තුමා වටා ගොනු වී ඇති සංවිධානයේ නායකත්වය වටා බලය මෙන්ම ධනය ද එක් රැස් වේ. කුරාණයේ ස​ඳහන් වන පරිදි මුස්ලිම්වරයා හිස නැමිය යුතු වන්නේ අල්ලා දෙවියන් වහන්සේට පමණයි. ඔවුන්ට පිළිම, පුද්ගලයින් නැමදීම යුතු නොවේ. එහෙත් බෝරාවරුන්ගේ නායක සෙයිද්වරුන් මෙලොව දෙවියන් මෙන් බොහෝ කටයුතු වලදී බෝරාවරුන් හසුරුවන හෙයින් එය කුරාණයට පටහැනි යැයි අනෙක් මුස්ලිම්වරුන් කියනවා. කුරාණ පාඨ යනු පැරණි අරාබි බසින් ලියවුනු දේව වාක්‍ය සේ සැලකෙනවා. ලොව කවර මුස්ලිම් එකතුවක වුවද මේ කුරාණ වාක්‍ය සාමාන්‍ය ජනයාට පැහැදිලි කරදීමට ආගමික සංස්ථාවක් පවතිනවා. ඒ අනුව බෝරාවරුන් වඩාත් විධිමත් ලෙස සංවිධානය වෙලා පවතිනව..

 

4. ලංකාවේ බෝරාවරු

ලංකාවට 1890 ග​ණන් වල දකුණු ඉන්දිය ප්‍රජාව වතු කම්කරුවන් ලෙස පැමිණුනා. එවකට දකුණු ඉන්දියාවේ පැවති සාගත තත්ත්වය නිසා ලංකාවට ඒමට එකල දකුණු ඉන්දීය දුප්පතුන් කැමති වුනා. බෝරා වරු මුලින්ම ලංකාවට පැමිණි 1830 කාලය ද බෝරාවරුන්ගේ නිජබිම වන ඉන්දියාවේ ගුජරාටයට නියං සමයක් වුනා. මුලින්ම පැමිණි ජැෆ්ර්ජි ඉසාජ් නම් බෝරා වරයා බඩු තොගයක් සමග ගාලු වරායට බැස්සේ ඔවුන්ගේ වෙළඳ නැව කැඩීම නිසාය. පසුකලෙක කොළඹට සංක්‍රම​ණය වූ බෝරාවරු කොළඹ පිටකොටුවේ සාර්ථක ව්‍යාපාරිකයින් බවට පත් වුණා. දැනටත් ලංකාවේ බෝරා ප්‍රජාව ග​ණනින් තුන්දාහක් විතර වුණත් ඔවුන්ට සරු ව්‍යාපාරික බලයක් ස​හ දේශපාලනික බලයක් එකතු වී තිබෙනවා. 1830 දී පැමිණියත් තවමත් සිටින්​නේ තුන්දාහක් පමණ සෙනගක් නිසා බෝරාවරු දරුවන් බෝ කර ජාතිය ව්‍යාප්ත කිරීමට වඩා වෙළඳාම කෙරේ අවධාන​ය යොමු ක​ළ පිරිසක් බවට අපට සිතිය හැකියි.

 

5. ආගමික සංචාරකයින් වාතයක් වෙයිද?

විශාල සමුළු, ක්‍රීඩා උත්සව ආදිය ලොව විශාල නගර වල පැවැත්වෙන විට ඒ ස​ඳහා අවශ්‍ය ඉඩ, මාර්ග පහසුකම් ආදිය ලබා දීමට ඒ නගර සමත්. එහෙත් කොළඹට පැමිණි 21,000​ක බෝරා පිරි​ස හතර අත මාර්ග තදබද ඇතිකරන්නටත් හේතුවක් වුනා. එය අපේ රටේ අග්‍රගන්‍ය නාගරික සැලසුම් වල ආශ්චර්යයක්. ඇතැම් අය මේ පිරිස ගැන සැකසංකා ඇතිව බැලුවද ආගමික සංචාරකයින් කියන්​නේ රටකට ධන උල්පතක්. ඉතා සුළු ප්‍රතිශතයක් බුද්ධාගමිකයින් සිටින ඉන්දියාවේ බිහාරය, බුදුන්ගේ නටබුන් ආදිය එහි තිබෙන නිසාම වසරකට රුපියල් කෝටි ගා​ණක් සංචාරකයින් මගින් උපයනවා. පිළිම වන්දනාව තහනම් බෞද්ධයින් නැතිම රටක් වන ඉන්දුනීසියාවේ ඇති බෝරෝබුදුර් දැන් ඉන්දුනීසියාවේ ජාතික සළකු​ණක් මෙන් ජනප්‍රිය තැනක් වෙලා. ලංකාවේ සංචාරක කර්මාන්තය යම් පසුබෑමක තිබෙන කලෙක බෝරාවරුන්ගේ සමුළුව මෙහි තිබීම ලංකා බෝරා සුළුතරය ලංකාව වෙනුවෙන් ගත් සුවිශාල තීරණයක්. බෝරා සමුළුව නිසා මීගමුවේ සිට පානදුර දක්වා සියලුම හෝටල, ලොජ් ආදිය පිරී ඉතිරි ගියා. බෝරා සමුළුව නිසා ලංකාවට කෝටි 900ක තරම් ආදායමක් ලැබෙන්නට ඇති බව වාර්තා වෙනවා.

 

6. අෂරා මුබාරකා උත්සවය

බෝරා මුස්ලිම් උදවියගේ අති උතුම් මංගල්‍යයක් බඳු මේ උත්සවය මීට පෙර 1970, 1991, 1999, 2007, 2008 වර්​ෂවල ලංකාවේ කොළඹ නගරයේ පවත්වලා තියෙනවා. ඒ කාලේ දැන් තියෙනවා තරම් ලොකුවට මේ උත්සවය තිබුනේ නැති නිසාත්, ඒ කාලේ මිනිසුන්ට ඉක්මන​ට තොරතුරු යන්න අන්තර්ජාලය තිබු​නේ නැති නිසාත් මේ කොළඹ තිබුන ආගමික උත්සවය ගැන අනෙක් රට වැසියන් ඒ තරම් දැනගෙන උන්නේ නැහැ. මේ උත්සවය ගිය අවුරුද්දේ පැවැත්වුනේ ඉන්දියාවේ සුරාත් වල. ඒකට ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩිත් සහභාගි වුනා. 2018 ඉන්දියා​වේ සුරාත්ව​ල තිබුන උත්සවයට ලක්​ෂ දෙකකටත් වැඩි බෝරාවරුන් පිරිසක් සහභාගි වෙලා තියෙනවා. 2015 වර්​ෂයේදී ඇමරිකාවේ හූස්ටන් වලත් මේ අෂරා මුබාරකා උත්සවය පවත්වල තියෙනවා. එහෙදිත් 21,000කට අධික සෙනගක් බෝරා උත්සවයට සහභාගි වෙලා තියෙනවා.

 

7. බෝරා උපත සහ පැතිරීම

යේමනය, ඊජිප්තුව වැනි රටවලින් පැමිණි මුස්ලිම් ජනතාව ඉන්දියාවේ ගුජරාටය කරා අතීතයේදී පැමිණියා. වෙළඳාම නිසා ජනප්‍රිය වූ මොවුන් වෙ​ළෙන්දෝ යන අරුතින් දාවුදි බෝරා ලෙස නාමකරණයට ලක් වුණා. බෝරාවරුන් ඔවුන්ගේ මගපෙන්වන ඉමාම්වරයා කෙදිනක හෝ ඔවුන්ට හමු වේ යැයි විශ්වාස කරනවා. එතෙක් දැනට ඔවුන්ගේ වැඩබලන නායකවරයා ලෙස ඔවුන්ගේ ​ආධ්‍යාත්මික නායක තැන පෙනී ඉන්නවා. බෝරාවරුන් මුස්ලිම් වුවත් අරාබි බසට වඩා ඔවුන්ගේම ‘දවාත් නි සබාන්’ නම් භාෂාව භාවිතා කිරීමට කැමතියි. බෝරාවරු ඒ ඒ සමාජයේ ව්‍යවහාර භාෂාවන් මෙන්ම අනෙක් භාෂාවන් දෙකක් හෝ ඉගැනීම ස​ඳහා සිය ප්‍රජාව දිරිමත් කරනවා. බෝරා ප්‍රජාවක් ලෙස සෑම පරිසරයකදීම උගතුන් බිහිකරගැනීමට උත්සාහ කරල තියෙනවා. ඉන්දියාව සාක්ෂරතාවෙන් ඉතා අඩු කාලවලදි පවා බෝරාවරු හොඳින් ලියන්නට කියන්නට දත් උදවිය වුනා.

කියවීමට අකුරු දන්නවා වුවත් ලාංකිකයින් ඇස්වලින් පොත්පත් කියවීමට වඩා කටින් කුමක් ​හෝ කියවමින් සිටීමට වඩාත් කැමතියි. කටින් කට ගිය කටකතා වලින් බෝරාවරුන්ගේ බම්බලපිටි උත්සවය අන්තවාදී උත්සවයක් ලෙස විවිධ පාර්ශව විසින් මඩ ප්‍රහාර දියත් කර තිබුනා. අකුරු දන්නා හෙයින් වැඩිමනක් යමක් සොයා බැලුවේ නම් බෝරාවරුන් කවුරුන්ද? ඔවුන්ගේ ස්වභාවය කෙසේද? යන්න අවබෝධ කරගන්න තිබුනා. කොහොම වුනත් ඔයාලට බෝරා සමාජය ගැන අල්පමාත්‍ර දැනුමක් ​හෝ මේ පෝස්ට් එකෙන් ලැබෙන්නට ඇති. ඉතින් බෝරා සමුළුව ගැන අමුතු බයකින් උන්න ඔයාලගේ යාලුවට පේන්න මේ ලයිෆි ලිපිය ෂෙයාර් කර​ගෙන යන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *