ලංකාවේ කාන්තාවන්ව ස්ටීරියෝටයිප් කෙරෙන තැන් මේවා තමයි

ස්ටීරියෝටයිප්ස් කියන වචනේ ඇහිලා තිබුණත්, ගොඩක් අය ඒ වචනේ තේරුම හරියටම දන්නෙ නෑ වෙන්න පුළුවන්. කෙටියෙන් කියනවා නම් ස්ටීරියෝටයිප් කියන එකෙන් අදහස් කරන්නේ යම් කිසි පුද්ගල කොටසක්, කණ්ඩායමක් යම් කිසි විදියේ එකම ආකෘතියකට සීමා කරලා දක්වන එක. පැහැදිලි මදිද? හරි, අපි ගමු කාන්තාවන්ව. කාන්තාවන් සම්බන්ධයෙන් මේ ලෝකේ අනේකවිධ ස්ටීරියෝටයිප් කිරිලි තියෙනවා. ලංකාවෙත් තියෙනවා. අහලා තියෙනවද “ගෑණුන්ගේ මොළේ හැඳිමිටේ” කියලා කතන්දරයක්. ආන්න ස්ටීරියෝටයිප් කිරීමක්. ඇත්තටම මේ විදියේ වැරදි ආකල්ප සමාජයක් විදියට ගත්තහම බොහොම අහිතකරයි. සමාජය පසුගාමී කරවන සුළුයි. ආන්න ඒ නිසා තමයි අපි මේ ආටිකල් එක ලියන්නේ. අඩු තරමින් තමනුත් කාන්තාවන් සම්බන්ධයෙන් පොදුවේ මේ විදියේ ආකල්ප දරණවා නම්, මේක කියවලා හරි ඒවලින් අත් මිදෙන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

 

1. ගෑණුන්ට වාහන එලවන්න බෑ!

මෙන්න මේක අපේ වාහන එලවන අයියලා අතරේ බොහොම ප්‍රසිද්ධ පොදුවේ ගැහැණුන් ගැන තියෙන වැරදි ආකල්පයක්. ඒ අය කියන්නේ ගෑණු කෙනෙක් වාහනයක් එලවනකොට බුදු අම්මෝ ඈත් වෙලා යන්න ඕනය, ගෑණු අයට හරියට වාහන එළවන්න බැරිය, මොකක් හරි පොඩි අකරතැබ්බයක් වුනත් ගෑණු අය මාරෙට කලබල වෙනවය කියලා තමයි. හැබැයි ඔය කතන්දර එකක්වත් පොදුවේ ඇත්තයි කියන්න බෑ. ගැහැණු අය ස්වභාවයෙන්ම පිරිමි තරම් වාහන එළවන්න යොමු වෙන්නේ නැහැ වෙන්න පුළුවන්. ඒත් ඉස්සරට වඩා දැන් දැන් ගැහැණු උදවිය රිය පැදවීම ඉගෙන ගන්නවා. ඒ විතරක් නෙවෙයි, සමහර වෙලාවට පිරිමින්ටත් වඩා හොඳ ඩ්‍රයිවර්ලා වෙන අවස්ථාත් අපි දකිනවා. අනික් අතට, කෙනෙක් පිරිමි වුණු පලියට හොඳ ඩ්‍රයිවර් කෙනෙක් වෙනවද? අපි ඕන තරම් පාරෙ තොටේ දකිනවනේ හරියට පාරේ වාහනයක් එළවන්න නොදත් පිරිමි.

 

2. ගෑණුන්ගේ මොළේ හැඳි මිටේ!

මේක නම් අද කාලේ දිහා බලනකොට ඉතාම පටු ආකල්පයක්. ගෑණුන්ගේ මොළේ හැඳි මිටේ කියන එකෙන් ඇත්තටම ඉස්සර අදහස් කෙරුණේ, කාන්තාවන්ගේ බුද්ධි මට්ටම උයන පිහන වැඩෙන් එහාට නැහැ කියන එක වෙන්න ඇති. ඒ කොහොම වුනත් ඇත්තටම ඇතැම් රටවල මේ වෙනකොට පිරිමින්ට වඩා තරගකාරීව වෘත්තිය ලෝකයේ ඉස්සරහට එන්නේ ගැහැණු. පිරිමින් වගේම අතිශයින්ම තරගකාරී ක්ෂේත්‍රවල, බුද්ධිය විශාල වශයෙන් වුවමනා කරන ක්ෂේත්‍ර වල ගැහැණුත් වැඩ කරනවා. ඒ ඇරෙන්න ගෘහණියක් විදියට ගෙදරදොරේ වැඩකටයුතු බලාකියාගෙන ඉන්න ගැහැණියක් පවා බුද්ධි මට්ටමෙන් පිරිමියාට පහළින් ඉන්නේ කියන එක මෝඩ, යල්පැනගිය, සාවද්‍ය මතයක්.

 

3. කුස්සියේ වැඩකටයුතු ගෑණුන්ට බාරයි!

ඇත්තටම අතීතයේදී ගෘහණිය අතින් මුළුතැන්ගෙයි වැඩකටයුතු ටික සිද්ධ වෙනකොට, ඒ හා සමානවම ගෙදර දොරේ, හේනේ කුඹුරේ බර වැඩ ටික පිරිමියා අතින් සිද්ධ වුනා. ඒත් දැන් වෙලා තියෙන්නේ පිරිමියා වැඩට ගිහින් ඇවිත් හරිම මහන්සියි කියලා සෝපාවේ වැටිලා ටීවී බලනකොට, ගැහැණිය කුස්සියට වෙලා උයන්න ඕන. එක්කෝ ගැහැණිය ගෙදර දොරේ වැඩ පළත් ඔක්කොම කරලා මහන්සි වෙලා ඉන්නේ, එහෙම නැතිනම් ගැහැණියත් රස්සාවට ගිහින් මහන්සි වෙලා ඇවිත් ඉන්නේ. ඉතින් ඔය ඔක්කොම තියෙද්දිත් ගැහැණියට තමයි මුළුතැන්ගෙය බාර කියලා හිතන ස්වාමිපුරුෂයෝ කොතෙකුත් ඉන්නවා. හැබැයි ඒක වැරදි අදහසක්. ඇයි පිරිමියාට උයන්න පිහන්න හොඳ නැද්ද?

 

4. ගෑණියෙක් සුදු වුනහමයි ලස්සන!

මේක නම් ඇත්තටම රටකින් රටකට වෙනස් වෙන විදියේ ස්ටීරියෝටයිප් එකක්. මතකද එක පාරක් ඇඩ් එකක් ගියා, අක්කව බලන්න මනමාලයෙක් ඇවිත්, අක්කා කළුයි කියලා සුදු පාටට ඉන්න නංගිට කැමතිවෙන? ඕවා ඇත්තටම ජනමනසේ වැඩකරන කතන්දර. ඒ නිසා තමයි තමන් පාටින් පැහැපත් නැහැයි කියන එක ගොඩක් ගැහැණු අයට මානසික ගැටළුවක් බවට පත්වෙලා තියෙන්නෙත්, පැහැපත් වෙන්න ගාන්න කියලා කියන නොයෙකුත් රූපලාවණ්‍ය සීන් උණු කැවුම් වගේ විකිණෙන්නෙත්. හැබැයි ඇත්ත කතන්දරේ තමයි, ලස්සන කියන එකට පැහැපත් වීම හෝ සුදු වීම වගේ කාරණා බලපාන්නේ නෑ. ලෝකේ රූප සුන්දරියෝ ඉන්නවා කළු නැතිනම් දුඹුරු හම තියෙන. අන්න ඒ නිසා මේ විදියේ පටු ආකල්ප නම් ලෝකෙන් තුරන් වෙන තරමට වටිනවා.

 

5. ගෑණු වැටෙන්නෙම සල්ලි වලට!

මේ ජනප්‍රිය ස්ටීරියෝටයිප් එක මන්තරයක් වගේ ගොඩක් වෙලාවට මතුරන්නේ එක්කෝ ජීවිතේ සාර්ථකත්වයක් ලඟා කරගත්තේ නැති පිරිමි. එහෙම නැතිනම් තාම කෙල්ලෙක්ගේ අතකින්වත් අල්ලලා නැති පොඩි එවුවෝ. ඒ කොහොම වුනත් මේ කතන්දරේ වැරදියි. හරි, ගැහැණු ආකර්ෂණය වෙන්නේ ආකර්ෂණය වෙන්න යම් කිසි දෙයක් තියෙන පිරිමියෙක්ට. ඒක උගත්කම වෙන්න පුළුවන්, බුද්ධිමත් කම වෙන්න පුළුවන්, බලය වෙන්න පුළුවන්. සල්ලි තියෙනවාය කියන එකෙන් කියන්නේ යම් කිසි පිරිමියෙක් යම් විදියකින් සාර්ථකයි කියන එක වෙන්න පුළුවන්. ඒක හැමවෙලේම හරි නැති වෙන්න පුළුවන්. ඒත් සමස්තයක් ලෙසට ගැහැණියක් සාර්ථක වෙන්න උත්සාහයක් තියෙන, හොඳ අධිෂ්ඨානයක් තියෙන පිරිමියෙක්ට ආකර්ෂණය වෙනවා කිවුවොත් වඩාත් හරි. ආන්න එතකොට හැම ගෑණියෙක්ම සල්ලි වලට නැවෙනවා කියන එකම මෝඩ කතාවක් බවට පත් වෙනවා!

 

6. ගෑණු දියුණු වෙන්නේ එක එකා එක්ක නිදාගෙන!

මෙන්න මේක ගොඩක් පිරිමි බලාගෙන හිටියා වගේ කියන කතන්දරයක්. බොහොම නරක පොදු ස්ටීරියෝටයිප් එකක්. අපි කලිනුත් කිව්වා වගේ දැන් කාලේ කාන්තාවෝ බොහොම තරගකාරීව පිරිමිත් එක්ක වෘත්තිය ලෝකයේ ඉස්සරහට යනවා. එතකොට එහෙම ඉහළ නගින කාන්තාවෝ ඉදිරියට යන්නේ තමන්ගේ වෘත්තිමය හැකියාවන්ගෙන් සහ දැනුමෙන් මිසක් ලොක්කාට ලිංගික අල්ලස් ලබාදීලා නෙවෙයි. එහෙම කාන්තාවොත් කලාතුරකින් ඇති. ඒත් ඒක ස්ත්‍රී සංහතියටම ලඝු කරන්නේ කොහොමද? අනික ඔය නිළියක් එහෙම ගත්තත්, ජනප්‍රිය වේගෙන එනකොට මිනිස්සුන්ගේ හිත් වල වැඩ කරන්නේ අනිවා ඩිරෙක්ටර් එක්ක නැටුම් නටලා තමයි පාට් එකක් ගන්න ඇත්තේ කියලා. ඒකේ ස්ටීරියෝටයිප් එක තමයි නිළියෝ හැමෝම අනියම් ලිංගික සම්බන්ධතා තියෙන අයයි කියන එක. කොහොමද එහෙම කියන්නේ? බලාගෙන හිටියද? තමන්ගේ රංගන කුසලතාවයෙන් ඉහළ යන්න නිළියකට බැරිද?

 

7. ගෙදර බුදුන් අම්මා නිසා පිරිමි වැරදි කළත් ගෑණුන්ට වැරදි කරන්න බෑ!

දැන් ඔය පත්තරයක් අරගෙන බලමු ඒකේ තියෙන මොකක් හරි නීතිවිරෝධී සීන් එකක් දිහා. “කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු දහයක් ෆේස්බුක් සාදයකදී පොලිසියට අහුවෙලා”, “කුඩු විකුණූ කතක් ඇතුළු තුනක් අත්අඩංගුවට” වගේ හෙඩින් තමයි යන්නේ. දැන් එතකොට ඇයි මේ කාන්තාව විතරක් විශේෂ කරලා සඳහන් කරන්නේ? හරි, කෙනෙක් කියයි අපි එතකොට දන්නවා දෙන්නෙක් කාන්තාවෝ, අටක් පිරිමි කියලා. ඇයි ඉතින් ඒක කියන්න බැරි? උත්තරේ සරලයි. සමාජේ මතයක් තියෙනවා, ‘පිරිමියෙක් කරන වැරැද්දක් වැරදියි තමයි, ඒත් කාන්තාවක් කරන ඒ වැරැද්දම බුදු අම්මෝ මාරම වැරදියි, මොකද කාන්තාව කවදාහරි මවක් වෙන්න ඕන, ගෙදර බුදුන් අම්මා’ කියලා. කොහොමද ස්ටීරියෝටයිප් කරන්නේ කාන්තාවක් මවක් වෙන්නම ඕන කියලා? කාන්තාවකට මවක් වෙන්න ඕන නැතිනම්? අනික කොහොමද මවක් වෙන කාන්තාවක් කරන වැරැද්දකට වඩා, පියෙක් වෙන පිරිමියෙක් කරන වැරැද්දකට අඩු බරපතලකමක් ලැබෙන්නේ? ආන්න ඒ නිසා තමයි අපි කියන්නේ ගැහැණු වුනත්, පිරිමි වුනත් වැරැද්ද වැරැද්දමයි කියන තැන ඉන්නවා මිසක්, කාන්තාවගේ වැරැද්ද ගොඩක් ලොකුයි කියලා පුම්බන්න යන්න එපා, ඒකත් වැරදියි කියලා!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *