ගෙදර ඉඳන් බිස්නස් එකක් පටන් ගන්න හිතන ව්‍යවසායකයන්ට ෆ්‍රී වෙබ් සේවාවන් කිහිපයක්!

මේ කාලේ ඇත්තටම වැඩි වැඩියෙන් ව්‍යාවසායකයෝ බිහිවෙන බවක් සාමාන්‍යයෙන් පේන්න තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද? විශේෂයෙන්ම ගෙදර ඉඳන් කරන්න පුළුවන් බිස්නස් වලට හොඳ මාකට් එකක් හැදිලා තියෙන බවක් තමයි පේන්නේ. ඒකට ලොකු හේතුවක් වෙන්න පුළුවන් ගෙදර ඉඳන් ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න ඉතාම අඩු වියදමකින් හැකි වීම. ඒ නිසාම අපි ගෙදර ඉඳන් පොඩියට ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න උපදෙස් මීට කලින් ලබාදීලා තියෙනවා. එතකොට තමන්ට ගෙදර ඉඳන් කරන්න පුළුවන් ඔන්ලයින් බිස්නස් මොනවද කියලා හිතන අයට පොඩි පහේ ඔන්ලයින් බිස්නස් අයිඩියාස් කීපෙකුත් අපි ලබාදීලා තියෙනවා.

 

ඔය හැමදේම එක්ක ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න එක අමාරු වැඩක් නෙවෙයි. හැබැයි බිස්නස් එක යම් ලෙවල් එකකට ගෙනාවට පස්සේ ඒකට අපිට යම් යම් සපෝට් අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, බිස්නස් එක පොඩ්ඩක් ජනප්‍රිය වෙනකොට, බිස්නස් එකට හොඳ ලෝගෝ එකක් එහෙම තියෙන එක වටිනවා. ඉතින් ඒ නිසා අපිට ගෙදර ඉඳන් පටන් ගන්න ඔන්ලයින් බිස්නස් එකකට උදවු වෙන වෙබ් සේවාවන් සහ වෙබ් ටූල්ස් ටිකක් තමයි මේ හඳුන්වා දෙන්න යන්නේ. මේවා බොහෝමයක් නොමිලේ ලබාගන්න පුළුවන් වීමත් වැදගත්.

 

1. Designhill

පොඩි බිස්නස් එකක් ඔන්ලයින් පටන් ගන්න හිතුවහම මුලින්ම බිස්නස් එක මොකද්ද කියන එක තේරුම් ගත්තට පස්සේ, නමක් දාගන්න එකනේ කරන්නේ. හැබැයි නමක් දානවා වගේම, ලෝගෝ එකකුත් හදාගත්තොත් කොහොමද? ඇත්තටම මිනිස්සුන්ගේ ඔලුවේ අපේ බිස්නස් එක බ්‍රෑන්ඩ් එකක් විදියට ස්ථාපනය කරන්න හොඳ ලෝගෝ එකක් වැදගත්. හැබැයි ඉතින් ප්‍රොෆෙෂනල් මනුස්සයෙක් ලව්වා ලෝගෝ එකක් ඩිසයින් කරන්න නම් සල්ලි යනවා. ඒත් බිස්නස් එක පටන් ගත්තු ගමන් එහෙම සල්ලි යොදවන්න බැරි නම්? එහෙනම් ඒ වැඩේට හොඳ ලෝගෝ ඩිසයින් වෙබ්සයිට් එකක් තියෙනවා නම් මරු. Designhill කියන්නේ අන්න ඒ විදියේ තැනක්. ලෝගෝ එකත් එක්කම බිස්නස් කාඩ් එකක්, එන්විලොප් ඩිසයින් එකක්, ෆේස්බුක් කවර් ඩිසයින්, ලෙටර්හෙඩ් ඩිසයින් කියන ඔක්කොම නොමිලේ කරගන්න පුළුවන්.

 

 

2. Rebrandly URL Shortener

ලින්ක් මැනේජ්මන්ට් කියන්නේ අපි ෂෙයාර් කරන ලින්ක්ස් හරි විදියට ඕගනයිස් කරලා, එඩිට් කරලා, ඇනලයිස් කරලා හදාගන්න එකට. එහෙම එව්වා ඕනෙද ඉතින් හෝම් බිස්නස් එකකට? ඇත්තම කතාව ඔව්. දැකලා තියෙනවද සමහර වෙලාවට ඔය වෙබ්සයිට් වල එහෙම ලින්ක්ස් සමහරු ෂෙයාර් කරනවා, ලින්ක් එක මාගලක් වගේ දිගයි. සමහර ලින්ක්ස් ක්ලික් කරන්නත් ෂුවර් නැති ගතියක් තියෙනවා. ආන්න එහෙම නැති, ප්‍රොෆෙෂනල් ලින්ක්ස් ලබාදෙන, ලින්ක් මැනේජ්මන්ට් ලබාදෙන වෙබ් සේවාවක් තියෙනවා නම් මරු. ඒකට හොඳ විකල්පයක් තමයි Rebrandly URL Shortener කියන්නේ. මේකේ ෆ්‍රී සංස්කරණයේ වුණත් අපිට මාසෙකට ක්ලික්ස් 5000 ක් ට්‍රැක් කරන්න පුළුවන්. බ්‍රෑන්ඩ් ලින්ක්ස් 500 ක් ජෙනරේට් කරන්න පුළුවන්. කස්ටම් ඩොමේන් නේම්ස් 5 ක් පුළුවන්. ඉතින් ගෙදර ඉඳන් පටන් ගන්න ඔන්ලයින් බිස්නස් එකකට මේ ප්‍රමාණය ඕනෑවටත් වඩා වැඩියි!

 

3. Designhill Email Signature

දැන් අපි ඔන්ලයින් බිස්නස් එකක් පොඩිවට පටන් ගත්තත්, අපේ ඊමේල් එකක් ඇතුළේ හොඳ ප්‍රොෆෙෂනල් පෙනුමක් තියෙන ඊමේල් සිග්නේචර් එකක් එහෙම තියන එක ඉතාම හොඳයි. විශේෂයෙන්ම අපි තව කීප දෙනෙක් එක්ක එහෙම එකතුවෙලා ස්ටාර්ටප් එකක් විදියට පටන් ගන්න බිස්නස් එකකදී එහෙම හොඳ කොලිටි ඊමේල් සිග්නේචර්ස් තියෙන්න ඕන. ඔය ඊමේල් සිග්නේචර් එක ඉතින් නිකම්ම ටයිප් කරන්නත් පුළුවන්, එහෙම නැතිනම් ප්‍රොෆෙෂනල් සේවාවකින් වඩා කොලිටියට හදාගන්නත් පුළුවන්. ආන්න ඒකෙදී තමයි Designhill Email Signature සේවාව වැදගත් වෙන්නේ. උඩිනුත් කියපු Designhill වෙබ් එකෙන්ම ලබාදෙන සේවාවක් තමයි මේක. අවශ්‍ය තොරතුරු ටික දීලා, හොඳ ඊමේල් සිග්නේචර් එකක් මේකෙන් නිර්මාණය කරගන්න පුළුවන්.

 

4. Nicepage

මොකද්ද ඇත්තටම ලෑන්ඩින් පේජ් එකක් කියන්නේ? කෙටියෙන් කිවුවොත්, ලෑන්ඩින් පේජ් එකක් කියන්නේ තනි පිටුවේ වෙබ්සයිට් එකක් වගේ. විශේෂයෙන්ම ඩිජිටල් මාකටින් වලදී ලෑන්ඩින් පේජස් වැදගත් වෙනවා. අපි කියමු අපි විශේෂ ප්‍රොමෝෂන් එකක් රන් කරනවා කියලා. අන්න එතකොට, ඒ ප්‍රොමෝෂන් එක වෙනුවෙන්ම ලෑන්ඩින් පේජ් එකක් හදන්න සිද්ධ වෙන්න පුළුවන්. කොහොමත් ලෑන්ඩින් පේජස් හැදෙන්නේ මාකටින් හරි ඇඩ්වටයිසින් හරි කැම්පේන් වෙනුවෙන් තමයි ගොඩක් දුරට. දැන් අපිට ලෑන්ඩින් පේජ් එකක් නොමිලේ හදාගන්න වුවමනා වෙනවා නම්, ඒකට හොඳම තැනක් තමයි Nicepage කියන්නේ. මේකේ අපිට අවශ්‍ය කැටගරි අනුව තෝරගන්න ඩිසයින් 8500 කටත් වැඩියෙන් තියෙනවා. Nicepage ඔස්සේ ලෑන්ඩින් පේජ් එකක් ඉතාම පහසුවෙන් හදාගන්නත් පුළුවන්.

 

5. PayHere

දැන් සාමාන්‍යයෙන් පොඩි ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගත්තු ගමන් ඔය ඩිජිටල් පේමන්ට් සිස්ටම් අනං මනං අවශ්‍ය වෙන්නෙ නෑ. හැබැයි බිස්නස් එක වර්ධනය වෙනකොට, හොඳ ඩිජිටල් ෆයිනෑන්ෂල් සර්විස් එකක් ඔස්සේ ඔන්ලයින් පේමන්ට් ගේට්වේ එකක් එහෙම හදාගන්න එක වටිනවා. ආන්න ඒ වෙනුවෙන් භාෂා කියන ලංකාවේ කම්පැණි එකෙන් නිර්මාණය කරපු සිස්ටම් එකක් තමයි PayHere කියන්නේ. මේකෙන් සරල අන්තර්ජාල ගෙවීම් භාරගැනීම, බහුවිධ ක්‍රම ඔස්සේ ගෙවීම් ලබාගැනීම, ස්වංක්‍රීය ගෙවීම් සේවා හරි පුනරාවර්ත ගෙවීම් හරි කළමනාකරණය කිරීම වගේ වැඩකටයුතු සෑහෙන ප්‍රමාණයක් කරගන්න පුළුවන්. හැබැයි ඩිජිටල් මූල්‍ය සේවාවන් කවදාවත් නොමිලේ ලැබෙන්නෙ නැහැනේ. ඒකට පොඩි ගාණක් ගෙවන්න වෙනවා. ඇත්‍තටම සාපේක්ෂව බලනකොට බොහොම පොඩි ගාණක්.

 

6. MailChimp

ඇත්තටම මුලින් MailChimp ප්‍රසිද්ධ වෙලා තිබුණේ ඊමේල් මාකටින් වැඩවලට වුණත්, මේ වෙනකොට MailChimp එකෙන් බිස්නස් එකකට හැමදේම එක වහලක් යටින් ටයිප් එකේ වැඩකටයුතු ප්‍රමාණයක් ඉෂ්ට කරලා දෙනවා. MailChimp එකේ ෆ්‍රී සංස්කරණය විතරක් පාවිච්චි කළත්, ඊමේල් ඩේටබේස් එකක් නිර්මාණය කරන්න, මාකටින් වලට කස්ටමර් රිලේෂන්ශිප් මැනේජ්මන්ට් සේවාවක්, ෆෝම්ස් සහ ලෑන්ඩින් පේජස් නිර්මාණය, MailChimp ඩොමේන් එකක් ඇතුළේ වෙබ්සයිට් එකක් නිර්මාණය කරගන්න පවා උදවු ලැබෙනවා. ඇත්තටම MailChimp එකවුන්ට් එකක් හදාගන්න එක විශේෂයෙන්ම ඊමේල් මාකටින් වලින් බිස්නස් එකට තල්ලුවක් ගන්න හිතන ව්‍යවසායකයෙක්ට සෑහෙන්න වටිනවා.

 

7. Trello 

දැන් ඔය සමහර ඔන්ලයින් බිස්නස් තියෙනවා, ඒවලට හොඳ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් එකක් ඕන. උදාහරණයක් විදියට අපි කියමු ඔන්ලයින් බිස්නස් එක ව්‍යාපාර උපදේශන සේවා ලබාදීම හරි නිර්මාණශීලී ලේඛනය හරි ඒවගේ එකක් කියලා. එතකොට අපිට එකිනෙකට වෙනස් ප්‍රොජෙක්ට්ස් වෙන් වෙන්ව තියාගන්න, ඒවා වල ප්‍රගතිය වෙන වෙනම සමාලෝචනය කරන්න සහ මේ ඔක්කොම එකම බිස්නස් එකක් යටතේ කළමනාකරණය කරගන්න අවශ්‍ය වෙනවා. ආන්න ඒ වැඩේට Trello හොඳින්ම ගැලපෙනවා. ඉතාම පහසු පරිශීලක අතුරු මුහුණතක් තියෙන Trello එකේ ෆ්‍රී සංස්කරණය පොඩියට පටන් ගන්න බිස්නස් එකකට විතරක් නෙවෙයි, මධ්‍යම ප්‍රමාණයේ බිස්නස් එකකට වුණත් ඉහටත් උඩින් ප්‍රමාණවත්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *