පළවෙනි ලෝක යුද්ධය වෙනකල් ලෝකයේ බලවත්ම පාලකයා වුණේ රුසියාවේ සාර් අධිරාජ්‍යයා. සාර්ගේ අණ රුසියාවේ නීතියක් බවට පත් වුණා. මේ නිසා මිහිබට දෙවියකුට බඳු සුවිශාල බලයක් ඔහු සතු වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට සාර් ඇතුළු ඔහුගේ පවුලේ ඥාතීන් අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කළා. අවසානයේදී රුසියානු විප්ලවය මගින් සියවස් ගණනාවක් පුරා රුසියාවේ පැවති සාර් පාලනය පෙරළා දමනු ලැබුවා. ඒත් අද පවා සාර් වරුන්ගේ ජීවිතයේ ශ්‍රී විභූතිය පෙන්වන අති දැවැන්ත රජ මැදුරු රුසියාව පුරා විසිරී පවතිනවා. Lifie අපි අද මේ සටහන ගෙන එන්නේ මුළු ලෝකයේම ආකර්ෂණයට ලක්වන රුසියානු රජ මැදුරු කීපයක් ගැන
1. ග්‍රෑන්ඩ් පීටර්හොෆ් මාලිගය (Grand Peterhof Palace)
ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පිහිටා ඇති මෙම මාලිගය සැලකෙන්නේ රුසියාවේ වර්සායි මාලිගය ලෙසයි. සාර්වරු සිය විවේකී වාසස්ථානයක් ලෙස මෙම මාලිගය භාවිතා කර තිබුණා. වර්තමානයේ කෞතුකාගාරයක් බවට පත්ව ඇති මෙම මාලිගය තුළ චිත්‍ර, පෝසිලේන් නිර්මාණ, පෞරාණික ලී බඩු වැනි සාර්වරු භාවිතා කළ විවිධ භාණ්ඩ ප්‍රදර්ශනයට ලක්කෙරෙනවා. මෙම මාලිගය තනි මාලිගයක් ලෙස හැඳින්වීමට වඩා මාලිගා සංකීර්ණයක් ලෙස හැඳින්වීම වඩාත් උචිතයි.
2.සිසිර මාලිගය (Winter Palace)
සර් රජවරුන්ගේ ප්‍රධාන වාසස්ථානය ලෙස භාවිතා වුණ සිසිර මාලිගයේ ඇති අති දැවැන්ත බව නිසාම බොහෝ දෙනාගේ ආකර්ෂණයට ලක් වෙනවා. කාමර 1075 කින් සමන්විත මෙම මාලිගය තුළ සෝපාන පන්ති 117ක් පවතිනවා. මෙම මාලිගයේ ඇති සෑම කුටියක්ම පාහේ චිත්තාකර්ෂණීය ප්‍රතිමා වලින් අලංකාර කොට තිබෙනවා. වර්තමානයේ Hermitage කෞතුකාගාරය මෙම මාලිගය තුළ පවත්වාගෙන යනවා.
3. ටෙරීම් මාලිගය (Terem Palace)
දාහත්වන සියවසේ දී සාර් වරුන්ගේ ප්‍රධාන රජ මාලිගය ලෙස භාවිතා වුණ මෙම මාලිගය පිහිටා ඇත්තේ මොස්කව් නුවර සුප්‍රකට ක්‍රෙම්ලීන් සංකීර්ණය තුළයි. වර්තමානයේ දී මෙම මාලිගය රුසියානු ජනාධිපතිවරයාගේ නිල නිවස ලෙස භාවිතා කෙරෙනවා. මහල් පහකින් සමන්විත මෙම මාලිගය විවිධ කාලවලදී ප්‍රතිසංස්කරණ වලට ලක්වී ඇති අතර වර්තමානයේ දී සාමාන්‍ය ජනතාවට නම් විවෘතව පවතින්නේ නෑ.
4. ලිවාඩියා මාලිගය (Livadia මාලිගය)
ග්‍රීෂ්ම ඍතුව ගතකිරීමට සාර්වරු ප්‍රිය කළේ ක්‍රිමියාවේ වන අතර ඒ සඳහා ඔවුන් භාවිතා කළේ ලිවාඩියා මාලිගයයි. අතීතයේ කුඩා මාලිගයක්ව පැවති ලිවාඩියා මාලිගය විශාල කොට ඉදිකරන ලද්දේ රුසියාවේ අවසාන සාර් අධිරාජයාව සිටි දෙවැනි නිකොලොස් විසින්. රුසියානු විප්ලව සමයේ දී දෙවන නිකොලොස්ගේ මව වූ මාරියා ඇලෙක්සැන්ඩ්‍රෝවා දේවිය සිය ආරක්ෂාව වෙනුවෙන් ලිවාඩියා මාලිගාව වෙත පළා ආවා. දෙවැනි ලෝක යුද්ධය අවසානයේදී සුප්‍රකට යොල්ටා සමුළුව පැවතියේ ද මෙම මාලිගය තුළයි. වර්තමානයේ මෙම මාලිගයත් කෞතුකාගාරයක් බවට පත්ව තිබෙනවා.
5. කැතරින් මාලිගය (Catherine Palace)
ශාන්ත පීටර්ස්බර්ග් නගරයට කිලෝ මීටර් තිහක් පමණ දුරකින් පිහිටා තිබෙන මෙම මාලිගයත් සාර්වරු ග්‍රීෂ්ම ඍතුව ගත කිරීමට භාවිතා කළා. පළවෙනි කැතරින්, එළිසබත් සහ මහා කැතරින් ලෙස හැඳින්වෙන දෙවැනි කැතරින් අධිරාජිනිය මෙම මාලිගය වැඩිදියුණු කිරීමට විශේෂ උනන්දුවක් දක්වනු ලැබුවා. සුප්‍රකට ඇම්බර් කුටිය මෙම මාලිගය තුළ පිහිටා තිබූ අතර දෙවන ලෝක යුද්ධයේදී එම කුටිය ජර්මානුවන් විසින් ගලවා ගෙනයාම නිසා වර්තමානයේ දී දකින්නට ලැබෙන්නේ එහි ආකෘතියක් පමණයි.
6. ගචිනා මාලිගය (Gatchina Palace)
රුසියානු රජ පවුලේ ප්‍රියතම රාජකීය වාසස්ථානයක් බවට පත්වන ගචිනා මාලිගය ගොඩනැගීම සඳහා මුල පුරන ලද්දේ මහා කැතරින් අධිරාජිනිය විසින්. මෙම මාලිගය ගොඩනැගීමේදී ඇයගේ උපදෙස් අනුව රහසිගත කුටි සහ කොරිඩෝ රැසකින් යුතුව මෙම මාලිගය ගොඩනැගීමටත් කටයුතු කර තිබුණා. මේ හේතුවෙන් රජ පවුලේ සාමාජිකයන්ට කිසිවෙකුට නොදැනෙන්නට මාලිගයෙන් පිටතට යෑමටත්, අතිදැවැන්ත මාලිගයේ විවිධ කොටස් අතර පහසුවෙන් එහාමෙහා යෑමටත් හැකියාව ලැබුණා.
7. සරිට්සයිනෝ මාලිගය (Tsaritsyno Palace)
මෙම මාලිගයත් සංවර්ධනය කොට ඇත්තේ මහා කැතරින් අධිරාජිනිය විසින්මයි. ඊට පෙර තවත් සාර් රාජිනියක වන අයරින් විසින් ගොඩනැගූ කුඩා මාලිගය මත ඇගේ උපදෙස් පරිදි නව මාලිගයක් ගොඩනැගුණු අතර එම මාලිගය පිළිබඳව ඇය සතුටට පත් වූයේ නැහැ. ගොඩනැඟූ මාලිගය විනාශ කොට නැවතත් නව මාලිගයක් ගොඩ නගන ලෙස ඇය විසින් උපදෙස් ලබා දෙනු ලැබුවා. කෙසේ වෙතත් මෙම මාලිගයේ වැඩ කටයුතු ඇගේ මරණය තෙක් සම්පූර්ණ නොවුණු අතර ඉන්පසුව රජකමට පත් වූ සාර් වරුන් මෙම මාලිගය සම්පූර්ණ කිරීමට උනන්දුවක් දැක්වූයේ නැහැ. වසර දෙසීයකටත් අධික කාලයක් පුරාවට අත්හැර දමා අසම්පූර්ණව පැවැති මෙම මාලිගය 2007 වසරේදී සම්පූර්ණ කෙරුණු අතර වර්තමානයේ දී එය කෞතුකාගාරයක් ලෙස භාවිතා කෙරෙනවා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. ඔබෙන් ලැබෙන ප්‍රතිචාර උඩ මේ ආටිකල් එකේ තවත් කොටසක් ඔබ වෙත ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා.
Leave a Reply