කඩ්ඩට තාම බයද? එහෙමනම් බය නැතුව වැඩ්ඩෙක් වගේ කඩ්ඩෙන් වැඩ කරන්න ඉගෙන ගමු!

අපේ මිනිස්සු ගත්තහම තියෙන ඉංග්‍රීසි භාෂාවේ දැනුම විවිධාකාරයි. සමහරු නිකම් චීස් කෑල්ලක් හපලා වයින් බොනව වගේ ඉංග්‍රීසියෙන් වැඩ කරන්නේ. සමහරුන්ට කථා කරන්න බෑ හැබැයි වැඩ කරන්න, තේරුම් ගන්න පුලුවන්. තව සමහරුන්ට ඉංග්‍රීසි එහෙමට බෑ හැබැයි මැජික් අරිෂ්ඨ සුට්ටක් පෙවුනහම ඉංග්‍රීසි පුලුවන් වෙනවා. තව සමහරු “දිගටම ගෝ ඇන්ඩ් ටර්න් දකුණට” ලෙවල් එකට ගොඩදාගන්නවා. සමහරුන්ට යෙස්, නෝ, ෆක් යූ ඇරෙන්න කොහොමටවත් ඉංග්‍රීසි බෑ.

හැබැයි ඉංග්‍රීසි කියන්නේ ජාත්‍යන්තර භාෂාවක් විදියට ඉගෙන කියාගෙන තියෙන්න ඕන දෙයක්. ඒ කියන්නේ ෂේක්ස්පියර්ගේ කවි කටපාඩමින් කියන්න ඕන කියන එකවත්, සුද්දෙක්ගේ ඇක්සන්ට් එකෙන් ඉංග්‍රීසි කථා කරන්න ඕන කියන එකවත් නෙවෙයි. එදිනෙදා ඉංග්‍රීසි අවශ්‍ය වෙන වැඩක් ගොඩදාගන්න, මොනවහරි කියවගන්න, හදිසියකට පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් කථා කරන්න වගේ දේකට ඉංග්‍රීසි තිබුණට අවුලක් නෑ. ඒක බැරි දේකුත් නෙවෙයි. ආන්න ඒ චිත්ත දහිරිය ඉංග්‍රීසි ටිකක් ඉගෙනගන්න ඕනෑය කියන දේ ගැන ඇතිකරගන්න පුලුවන් ඩයල්ස් වෙනුවෙන් තමයි අපේ අද ඉංග්‍රීසි පාඩම!

 

1. බුදු අම්මෝ ඉංගිරිස්!

Image Source – theodysseyonline.com/ khanhnganhoang94.blogspot.com

මෙන්න මේක තමයි පළවෙනි පියවර. ඉංග්‍රීසි කියන්නේ බුදු අම්මෝ මාර දෙයක් කියන ආකල්පයෙන් මිදෙන එක. හරි, ඉංග්‍රීසි කියන්නේ පොඩ්ඩක් ජල්තර් කේස් තියෙන බාසාවක් තමයි. ඉංග්‍රීසි දැනුමට අද සමාජීය වටිනාකමකුත් තියෙනවා තමයි. හැබැයි ඔය මොකක් වුනත් ඉංගිරිසි කියන්නේ බාසාවක්. දැන් බාසාවක අරමුණ මොකක්ද? සන්නිවේදනය. අදහස් හුවමාරු කර ගැනීම. අදහස් ප්‍රකාශ කිරීම. ඉතින් එහෙමනම් සුද්දගේ ඇක්සන්ට් එකට ඉංගිරිසියෙන් කතා කරන එක හරි, රජා නොමරා ඉංගිරිසි කතා කරන එක හරි වුවමනා කරන්නේ අහවල් කෙංගෙඩියකටද? තමුන් ඉංගිරිසි භාෂාව සම්බන්ධ ‍රැකියාවක් කරන්නේ නැති නම්, ඉංග්‍රීසියෙන් තව කෙනෙක්ට තේරෙන්න අදහසක් ප්‍රකාශ කරන්න ඉගෙන ගත්තහම ඇති. එච්චරයි. මෙන්න මේ ආකල්ප වෙනස, ඒ කියන්නේ ඉංග්‍රීසියට බය නොවීම තමයි පළමුවෙනි කාරණාව.

හැබැයි භාෂාවක් වුනත් හරියට හසුරුවන්න ඕන ක්‍රමයක් තියෙනවා. භාෂාවක අලංකාරයක් තියෙනවා. දැන් භාෂාව තියෙන්නේ සන්නිවේදනයට විතරයි කියලා හිතාගෙන භාෂාව මරන එක හරි ක්‍රමයක් නෙවෙයි. ඒක ඉංගිරීස් වලටත් අදාළයි. ඒ නිසා අපි උඩ කියලා තියෙන්නේ භාෂාවට තියෙන බය නැතිකරගන්න කියලා මිසක් එහෙන් මෙහෙන් අතගාගෙන භාෂාව දන්නවා කියලා හිතාගෙන රජා මරන්න කියලා නෙවෙයි.

 

2. ඉංගිරිස් ‍ෆිල්ම්, ටීවී සීරිස්

Image Source – auction.catawiki.com.com

දැන් අපි ගොඩක් දෙනෙක්ට හින්දියෙන් මොනවා හරි අහපුවහම ටිකක් තේරෙනවා නේද? එහෙම වෙන්නේ අපි හින්දුස්ථානේ ඉපදිලාද, පොඩි කාලේ හින්දි පංති ගිහිල්ලද? නෑනේ. උපන්දා ඉඳන් ටීවී එකේ පෙන්නන හින්දි පිචර් හින්දා තමයි අපිට කිසිම හින්දි ඉගෙනුමක් නැතුව වුනත් භාෂාව කොඤ්ඤං කොඤ්ඤං හරි තේරෙන්න පටන් අරගෙන තියෙන්නේ. ආන්න ඒ නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්නත් ඔය ක්‍රමේ යම් තාක් දුරකට හරියනවා. පටන් ගන්න ඕන මෙහෙමයි. දැන් අපේ ගොඩක් අය ඉංග්‍රීසි ‍ෆිල්ම්, ඉංග්‍රීසි ටීවී සීරීස් බලන්නේ සිංහල සබ්ටයිට්ල්ස් ඩවුන්ලෝඩ් කරගෙන. අන්න ඒක අත අරින්න. පටන් ගන්න ඉංග්‍රීසි සබ්ටයිට්ල්ස් එක්කම ‍ෆිල්ම් එක බලන්න. පස්සේ පස්සේ සබ්ටයිට්ල්ස් එක්ක බලන එක සම්පූර්ණයෙන්ම අත අරින්න පුලුවන්.

 

3. ඇයි යූටියුබ්?

Image Source – why.ryerson.ca

යූටියුබ් එකේ තියෙනවා ඉංග්‍රීසි බාසාවේ මූලික කාරණා, මූලිකවම දැනගෙන ඉන්න ඕන නීති රීති ගැන එහෙම තේරෙන්න සරල බාසාවෙන් කියලා දෙන විනාඩි පහළොවේ, විනාඩි තිහේ සැෂේ පැකට්. දැන් එන ප්‍රශ්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න හැටි ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න අපි ඉංග්‍රීසි දන්නෙ නෑනේ ඕයි කියන එකනේ. ආන්න ඒකට පිළිතුර තමයි සිංහලෙන් ඉංග්‍රීසි උගන්නන යූටියුබ් වීඩියෝස්. නිකමට මේ වීඩියෝ එකක් දෙකක් බැලුවට කමක් නෑ.

 

4. ඉංග්‍රීසි සිංදු

Image Source – philriamonto.yooco.org

මේකත් ඕනෑම ඉංග්‍රීසි උගන්නන ගුරුවරයෙක් කරන්න කියන පොඩි ඉගෙනගැනීමේ ට්‍රික් එකක්. ඒ තමයි ඉංග්‍රීසි සිංදු අහලා භාෂා දැනුම වර්ධනය කරගන්න එක. ලොකුවට හිතන්න ඕන නෑ. තමන් ආස ඉංග්‍රීසි සිංදුවක පදමාලාව නිකමට ඉන්ටර්නෙට් එකෙන් අරගෙන බලන්න මේකේ මොනවද කියලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් සිංදුව අහන ගමන්ම පදමාලාවේ කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න උත්සාහ කරන එක වඩා සාර්ථකයි. දැන් ඉතින් සිංදුව දිගටම අහන්න. නිකම් ඉන්න වෙලාවට සිංදුව කියන්න ට්‍රයි එකක් දෙන්න. එච්චරයි.

 

5. ඉංග්‍රීසි පොත්

Image Source – onlineteachersuk.com

ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන නම් ඉංග්‍රීසියෙන් කියවන්න ඕනෑනේ. හැබැයි ඕක ගොඩක් දෙනෙක්ට අමාරු වැඩක්. ඔන්න එතකොට එක්ස්පර්ට්ලා කියනවා ඩික්ෂනරියක් ළඟ තියාගෙන කියවන්න කියලා. එක දවසක් එහෙම පොත් කියවයි. ඊළඟ දවසේ ඉඳන් කියවන එක එපා වෙනවා.

ඇත්තම කියනවා නම් ඩික්ෂනරි ළඟ තියාගෙන ඉංග්‍රීසි පොත් කියවන එක කිසිම තේරුමක් නැති, ඉංග්‍රීසි ඉගෙනගැනිල්ල එපා වෙන වැඩක්. ඇයි පොත රසවිඳින්න වෙන්නෙ නෑනේ. අපි කියන්නේ ඩික්ෂනරි නැතුව සරල පොතක් කියවන්න. අනිවාර්යයෙන්ම එක වාක්‍යයක් ගත්තොත් වචන දෙකක් තුනක් වත් නොදන්න ඒවා තියෙයිනේ. ගණන් ගන්න එපා. සමස්ත අදහස අනුමාන කරන්න උත්සාහ කරන්න. ඇත්තටම අපේ මොළේට පුලුවන් එහෙම වාක්‍යයක එක වචනයක් දෙකක් නොදන්නවා වුනත් දන්න වචන ආශ්‍රයෙන් සමස්ත තේරුම අනුමාන කරන්න. එහෙම බැරිම අවස්ථාවක් ආවොත් විතරක් ඩික්ෂනරිය ගන්න.

තව එළම කිරි වැඩක් තමයි කින්ඩ්ල් වගේ ඊබුක් රීඩර් එකක් ගන්න එක. ඒකේ තියෙනවා ඩික්ෂනරියක්. නොදන්න වචනයක් ටච් කරපු ගමන් තේරුම එනවා. ආන්න ඒක නම් සාර්ථකයි. හැබැයි එහෙම කියවනකොට වුනත් වචනෙන් වචනේ තේරුම බලන්න නොයා පුලුවන් තරම් අනුමාන සමගින් කියවන්න බලන්න ඕන.

 

6. ඉංග්‍රීසි පත්තරේ

Image Source – henry4school.fr

ඔව්, ඉංග්‍රීසි පොත් කියවන්න කියලා අපි කියපු විදියටම තමයි ඉංග්‍රීසි පත්තරේ කියවන්නත් ඕන. හැබැයි ඉතින් ඉංග්‍රීසි පත්තරේ කියවන එකෙන් එදිනෙදා සිද්ධ වෙන දේවල් දැනගන්නත් ලැබෙනවා. ඉංග්‍රීසි දැනුමත් දියුණු වෙනවා. ඒ අතරේ තමන්ටම පොඩි ගැම්මකුත් එනවා හිතට.

 

7. ඉංග්‍රීසි කතාබහ

Image Source – talk2americanfriends.us

දැන් ඔය ස්පෝකන් ඉංග්ලිෂ් ඉගෙන ගන්න නම් ඉතින් ඉංග්‍රීසි කතා කරන්නම ඕන. වරදිනවද? ඉතින් මොකද වෙන්නේ? ඉපදුණු ගමන් සට සට ගාලා සිංහල කතා කළා කියලද හිතන්නේ? සිංහල වැරදි වැරදි කතා කරන්න ඉගෙන ගන්න ලැජ්ජාවක් තිබුණේ නැතිනම් ඉංග්‍රීසි වැරදි වැරදි කතා කරන්න අමුතු ලැජ්ජාවක් එන්න විදියක් නෑනේ. ආන්න ඒ නිසා තමන්ට ඉංග්‍රීසියෙන් කතාබහ කරන්න පුලුවන් අවකාශයක් හදාගන්න. ඒක ‍රැකියා ස්ථානයේ වෙන්න පුලුවන්. එහෙම නැතිනම් යාලුවෝ අතර වෙන්න පුලුවන්. වැදගත් වෙන්නේ ඉංග්‍රීසියෙන් කතා කරන්න හුරු වීම සහ ඒකට තමන්ගේ ආත්ම විශ්වාසය දියුණු වීම.

 

8. තනියෙනුත් ඉංග්‍රීසියෙන් කතා කරන්න

Image Source – arabahjoy.com

දැන් අපි තනියෙන් ඉන්නකොට මොන තරම් බහුබූත හිතනවද? හැබැයි එහෙම බහුබූත හිතන එකේ කිසිම අවුලක් නෑ. ඒත් දැන් ඉඳන් ඉංග්‍රීසියෙන් බහුබූත හිතන්න පටන් ගන්න. ඒ විතරක් නෙවෙයි, අහල පහලක වෙන කවුරුත් නැතිනම් හිතෙන බහුබූත ඉංග්‍රීසියෙන්ම තනියෙන් කියවන්න. තමන් එක්කම ඉංග්‍රීසියෙන් කතා කරන එක කිසිම ගැටළුවක් නෑ. ඇත්තටම මෙහෙම කරන එකෙන් උත්සාහ ගන්න ඕන සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් කතා කරන එක නවත්තන්න. සිංහලෙන් හිතලා ඉංග්‍රීසි කතා කරනකොට තමයි මග සෑහෙන්න ඇණ හිටීම් වෙන්නේ. ඇයි ඉතින් කෙලින්ම ඉංග්‍රීසියෙන් හිතලා ඉංග්‍රීසියෙන් කතා කරනවට වඩා දිග පාරකින් එපෑ එන්න.

 

9. ඉංග්‍රීසියෙන් ලියන්න

Image Source – popxo.com

සිංහලෙන් ලියන්න කම්මැලි අපි ඉංග්‍රීසියෙන් ලියයිද බ්‍රෝ? එහෙම කියන්න එපා. ලිවීම කියන්නේ භාෂා ඥාණය දියුණු කරන අනිවාර්ය ක්‍රමයක්. ඒ නිසා ලව් ලෙටර් එකක් හරි කමක් නෑ ඉංග්‍රීසියෙන් ලියන්න. ඔය ලියන ඒවා කාටවත් නොපෙන්නුවත් කමක් නෑ. හැබැයි ලිවීම වැදගත්. ඕනෑනම් ඉංග්‍රීසියෙන් ඩයරියක් ලියන්නත් පුලුවන්.

මීට අමතරව ඉංග්‍රීසියෙන් කා එක්ක හරි චැට් එකක් එහෙම දාන එකත් ඉංග්‍රීසි ලිවීම දියුණු කරන්න ක්‍රමයක්.

මේ අපි කියලා තියෙන්නේ ඇත්තටම පුංචි කාලේ ඉඳලා අපිට ඉංගිරිසි උගන්නන්න ට්‍රයි කරපු ගුරුවරු කට කැඩෙනකල් කරන්න කියපු දේවල්ම තමයි. හැබැයි ඒවා ගැන වෙනස් විදියකට බලන්න පුලුවන් නම්, ඒවායින් ඇත්තටම තියෙන ප්‍රයෝජනේ තේරුම් ගන්න උත්සාහ කරන්න පුලුවන් නම් වටිනවනේ. එහෙමනම් ෆ්‍රොම් හියර් ඔන්, ලෙට්ස් ට්‍රයි ‍ටු ස්පීක් ඉංග්ලිෂ් ලයික් අ බොස්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *