ප්‍රොෆෙෂනල් විදියේ ප්‍රසන්ටේෂන් එකක් කරමුද? එහෙනම් ඒකට වැදගත් වෙන ටිප්ස් තමයි මේ

සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපනය හදාරන කෙනෙක්ට වුණත්, ප්‍රොෆෙෂනල් මට්ටමක ඉන්න කෙනෙක්ට වුනත් ප්‍රසන්ටේෂන් එකක් කරනවා කියන එක අමුතු, නොදන්න දෙයක් වෙන්න විදියක් නෑ. ඇත්තටම මොකද්ද ප්‍රසන්ටේෂන් එකක් කියන්නේ? අපි ඉගෙන ගත්තු දෙයක්, අපි කරන්න යන ප්‍රොජෙක්ට් එකක්, කරපු ප්‍රොජෙක්ට් එකක් හෝ වෙනත් ඕනෑම තොරතුරු සමුදායක් පිරිසකට ඉදිරිපත් කිරීම තමයි ප්‍රසන්ටේෂන් එකක් කියන්නේ. මෙතනදී සාමාන්‍යයෙන් නිකම්ම පිරිස ඉස්සරට ගිහින් හිටගෙන කියවගෙන කියවගෙන ගිහින් මදි. ඊට වඩා ඒකට සපෝර්ට් එකක් තියෙන්න ඕන. ආන්න ඒ සපෝර්ට් එක වෙන්නේ ස්ලයිඩ් ෂෝ එකක්. ඉතින් මෙන්න මේ ස්ලයිෆ් ෂෝ එක හදාගන්න එක තමයි ප්‍රධානම කාරණාව. ඒ වගේම ස්ලයිඩ් ෂෝ එකත් එක්ක ප්‍රසන්ටේෂන් එක හදාගැනීම තමයි ඊලඟට වැදගත් කාරණාව. 

මෙන්න මේ ස්ලයිඩ් ෂෝ එකත් එක්ක කරන ප්‍රසන්ටේෂන් එක අනිවාර්යයෙන්ම ආකර්ෂණීය එකක් වෙන්න ඕනැනේ. එහෙම නැතිනම් ඉතින් ප්‍රසන්ටේෂන් එකක් කරලා වැඩකුත් නැහැනේ. ආන්න ඒ නිසා තමයි අපි හිතුවේ, ප්‍රොෆෙෂනල් ප්‍රසන්ටේෂන් එකක් කරන්න වැදගත් වෙන උපදෙස් කීපයක් ලබාදෙන්න.

 

1. අන්තර්ගතය එක, ඩිසයින් එක දෙක, ප්‍රසන්ටේෂන් එක තුන

ප්‍රසන්ටේෂන් එකක් හදන්න ගියහම ඒක කරන්න ඕන ප්‍රොසෙස් එකක් තියෙනවා. මුලින් හිතන්න ඕන අන්තර්ගතය ගැන. ඒ කියන්නේ මොනවද අපි ප්‍රසන්ටේෂන් එකෙන් ඉදිරිපත් කරන්නේ කියන එක. ඒ ගැන මූලිකවම අදහසක් තියෙන්න ඕන. ඊට පස්සේ ඒකේ ස්ට්‍රක්චර් එක හදාගන්න ඕන. ඊට පස්සේ තමයි ස්ලයිඩ්ස් ඩිසයින් කරන්න සොෆ්ට්වෙයාර් එකට හරි වෙබ් ටූල් එකට අත තියන්න ඕන. දැන් ඩිසයින් එකත් හරියට කරගෙන ස්ලයිඩ්ස් ටික හදාගත්තට පස්සේ තමයි අපි ප්‍රසන්ටේෂන් එකේ කරන කථාව, ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රසන්ටේෂන් එක හදාගන්නේ. මෙන්න මේ අනුපිළිවෙලට යන එක තමයි හැම වෙලේම අඩුලුහුඬුකම් නැති ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න වැදගත් වෙන්නේ!

 

2. ස්ට්‍රක්චර් එක හදාගමු

ඇත්තටම මේ ස්ට්‍රක්චර් එක හදාගන්න ප්‍රධාන පියවර තියෙන්නේ ස්ලයිඩ් ෂෝ එක නිර්මාණය කරගන්න සොෆ්ට්වෙයාර් එකට හෝ වෙබ් ටූල් එකට අත තියන්න කලින්. තමන්ට පෙන්නුම් කරන්න ඕන තොරතුරු නිකම් අතින් ලියාගන්න/ඇඳගන්න මුලින්. ඊට පස්සේ ඒක ගැන සැටිස් වුනාට පස්සේ ඩිසයිනින් වලට යන්න.

ප්‍රසන්ටේෂන් එකක් හදනකොට අපි මොනවා හරි පොයින්ට්ස් ටිකක් ඉදිරිපත් කරනවනේ. දැන් අපේ ස්ලයිඩ්ස් වල ස්ට්‍රක්චර් එකේ තියෙන්න ඕන වෙන්නේ, මේ පොයින්ට්ස් වලට සපෝට්‍ කරන දේවල්. ඒ කියන්නේ සංඛ්‍යාලේඛන, උපුටා ගැනීම්, ප්‍රස්තාර, රූප සටහන් වගේ ඕනම දෙයක්. මෙන්න මේ දේවල් හරියට කාණ්ඩගත කරගන්න එක තමයි ස්ට්‍රක්චර් එක හැදීමේ පියවර වෙන්නේ.

ස්ට්‍රක්චර් එක හදන කොට එක දෙයක් හොඳට මතක තියාගන්න. ස්ලයිඩ් ෂෝ එකක් සරල වෙන තරමට තමයි ප්‍රසන්ටේෂන් එක සාර්ථක වෙන්නේ. අන්න ඒ නිසා අපි ඉදිරිපත් කරන තොරතුරු කෙනෙක්ට දැක්ක ගමන් තේරුම් ගන්න පුළුවන් විදියට පෙළගස්වන්න ඕන. උදාහරණයක් විදියට කියනවා නම්, අපි මොකක් හරි ප්‍රොසෙස් එකක් පෙන්නනවා නම්, අපිට පුළුවන් ස්ලයිඩ් එකේ ඒ ප්‍රොසෙස් එකේ පියවර ලියලා හෝ ඇඳලා හෝ, ඒක සිද්ධ වෙන අනුපිළිවෙලට එක් පැත්තකට දිවෙන ඊතල මගින් පෙන්වන්න.  

 

3. ස්ලයිඩ්ස් වලට වචන පුරවගන්න එපා

ස්ලයිඩ්ස් වල රචනා ලියන්න යන්න එපා. හැම වෙලේම ස්ලයිඩ් ෂෝ එකක් නිර්මාණය කරනකොට මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ තමයි ස්ලයිඩ්ස් යනවා එනවා කියන එක. ස්ලයිඩ් එකක් පැයක් විතර තියෙන්නෙත් නෑ. අන්න ඒ නිසා ස්ලයිඩ්ස් වල අනවශ්‍ය විදියට නෙවෙයි, කිසිසේත්ම වචන පුරවන එක අසාර්ථක ප්‍රසන්ටේෂන් එකක ලක්ෂණයක්. ස්ලයිඩ් එකක ඉදිරිපත් වෙන්න ඕන මූලිකවම අපේ අදහසේ ආකෘතිය විතරයි. ආකෘතියේ තියෙන කොටස් පැහැදිලි කිරීම සිද්ධ වෙන්නේ ප්‍රසන්ටේෂන් එකේ කතාවෙන්. එක්ස්පර්ට්ලා කියන්නේ එක ස්ලයිඩ් එකක වචන හයකට හතකට වඩා නැතිනම් හොඳයි කියලා.

හැබැයි තව දෙයක්. ස්ලයිඩ් ෂෝ එකක ආකෘතිය ඇතුලේ තොරතුරු පෙන්නන්න පුලුවන් වචන වලින් විතරක්ද? නෑ. ප්‍රස්තාර, රූප සටහන්, වෙන් රූප, රුක් සටහන්, චිත්‍ර, ඡායාරූප, සංඛ්‍යාලේඛන වගේ ඕන තරම් දේවල් තියෙනවා පාවිච්චි කරන්න පුලුවන්. ඇත්තටම ස්ලයිඩ් ෂෝ එකක් සාර්ථක වෙන්නේ දේවල් වචන වලින් කියන්න යනවට වඩා උඩ කියපු ක්‍රම වලින් තොරතුරු පෙන්නන්න පුළුවන් නම් තමයි. හැබැයි ප්‍රස්තාර, රූප සටහන් වුනත් ස්ලයිඩ්ස් ඇතුලේ පුරවගන්න එපා. කෙටියෙන්, ලුහුඬින්, පොයින්ට් එකට!

ඒ වගේම, ප්‍රසන්ටේෂන් එකකට ස්ලයිඩ්ස් විස්සක් තිහක් පුරවගන්නත් එපා!

 

4. ආකර්ෂණීය ස්ලයිඩ් ෂෝ

ස්ලයිඩ් ෂෝ එකක ආකර්ෂණීය භාවයත් ඇත්තටම වැදගත් වෙනවා. ඒ ඒකට හොඳ ප්‍රතිචාරයක් ලබාගන්න වගේම, ස්ලයිඩ් ෂෝ එකෙන් සහ ප්‍රසන්ටේෂන් එකෙන් ඉදිරිපත් කරන අදහස් ඔලුවලට යන්න. එතනදී අපි උඩින් කියපු ස්ට්‍රක්චර් එක සහ ස්ලයිඩ්ස් ලුහුඬු සහ ඔන් පොයින්ට් වීම වැදගත්.

හැබැයි එතනින් එහාටත් පොඩ්ඩක් හිතන්න වෙනවා නේද? උදාහරණයක් විදියට ගත්තොත් පාට පාවිච්චි කිරීම. හැබැයි ඕනවට වඩා දීප්තිමත් වර්ණ වැඩිවැඩියෙන් පාවිච්චි කළොත් වෙන්නේ මිනිස්සුන්ගේ අවධානය ස්ලයිඩ්ස් වල තියෙන තොරතුරු වලින් බැහැර වීම. අන්න ඒ නිසා අවශ්‍ය තැන්වල විතරක් විවිධ වර්ණ පාවිච්චි කරන එක හොඳයි. හැබැයි තව දෙයක්, ස්ලයිඩ් ෂෝ එක ඩල් එකක් කරගන්නත් එපා. ඒ කියන්නේ නිකම්ම බ්ලැක් ඇන්ඩ් වයිට්, ග්‍රේ ස්කේල් වගේ ඒවලට නොයනවා නම් හොඳයි. සාමාන්‍යයෙන් වර්ණයන් දෙකක් හෝ තුනක් උපරිම ඇති වෙයි සාමාන්‍ය ස්ලයිඩ් ෂෝ එකකට.

ඒ වගේම, තමන් පාවිච්චි කරන ෆොන්ට්ස් පහසුවෙන් කියවගන්න පුළුවන් ඒවා වෙන්න ඕන. ඒ කියන්නේ ඔය වැල් අකුරු ෆොන්ට් එහෙම දැම්මම බැලූ බැල්මට ලස්සනයි තමයි. හැබැයි ඒවා කාටවත් කියවගන්න බැරි නම් මොකද්ද ඇති පලේ. මතක තියාගන්න. ස්ලයිඩ් ෂෝ එකක් කියන්නේ පොතක් කියවනවා වගේ වැඩක් නෙවෙයි. ස්ලයිඩ්ස් එනවා යනවා.

ඒ එක්කම තමන් පාවිච්චි කරන ෆොන්ට් සයිස් එකම විදියකට තියාගැනීම සහ පොදුවේ ස්ලයිඩ්ස් හැම එකක්ම හොඳ සමාන ගතියකින් නිර්මාණය කරගැනීම වැදගත්. ඒ කියන්නේ පළවෙනි ස්ලයිඩ් එකේ මේන් ටයිට්ල් එකේ ෆොන්ට් සයිස් එකට වඩා දෙවෙනි ස්ලයිඩ් එකේ මේන් ටයිට්ල් එකේ ෆොන්ට් සයිස් එක කුඩා නම්, ඒකෙන් ස්ලයිඩ්ස් වල ගතිය නැතිවෙනවා. හොඳම දේ එකම ගලායෑමක් තියෙන විදියට ස්ලයිඩ්ස් ෆෝමැට් කිරීම තමා. ඒක එන්නේ එඩිට් කිරීමෙදී! 

 

5. එඩිට් එඩිට් එඩිට්

අපි පොතක් ලිව්වත්, ආටිකල් එකක් ලිව්වත් ඒක එඩිට් කළොත් නේද අඩුපාඩු වලින් තොර නිර්මාණයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ? ප්‍රසන්ටේෂන් එකකටත් ඒක ඒ විදියටම අදාළයි. ප්‍රසන්ටේෂන් එකක් හැදුවට විතරක් මදි, ඒක හොඳට පොලිෂ් කරන්න ඕන. ඒක කරන්න ඕන ප්‍රොසෙස් එක දෙයාකාරයි. මුලින් ස්ලයිඩ්ස් සහ ප්‍රසන්ටේෂන් එක හදාගත්තට පස්සේ අපි ඒක එඩිට් කරන්න ඕන. අපිට සැටිස් වෙනකල් එඩිට් කළාට පස්සේ දෙවෙනි පියවර වෙන්නේ අනික් අයට පෙන්නන එක. ඒ කියන්නේ ඇත්තටම ප්‍රසන්ටේෂන් එක කරන්න කලින් තව කෙනෙක්ට දෙන්නෙක්ට ඒක පෙන්නන එක හොඳයි. ඊට පස්සේ ඒ අයගේ කමෙන්ට්ස් අනුව අපිට තවදුරටත් අවශ්‍ය එඩිට් කිරීම් කරන්න පුළුවන්. 

 

6. කොහොමද හදන්නේ?

ප්‍රසන්ටේෂන් එකකට ස්ලයිඩ් ෂෝ එකක් හදන්නේ කොහොමද? එහෙම අහපු ගමන් වැඩිදෙනෙක් කියන්නේ පවර්පොයින්ට් කියලා තමා! ඔව්, මයික්‍රොසොෆ්ට් පවර්පොයින්ට් තමයි අපි ගොඩක් දෙනෙක් අනාදිමත් කාලෙක ඉඳලා ප්‍රසන්ටේෂන් ස්ලයිඩ් ෂෝ හදන්න පාවිච්චි කළේ. හැබැයි ස්ලයිඩ් ෂෝ හදන්න පුළුවන් එකම ටූල් එක පවර් පොයින්ට් නම් නෙවෙයි. උදාහරණයක් විදියට ගත්තොත්, දැන් කාලේ ඔන්ලයින් ස්ලයිඩ් ෂෝ හදාගන්න පුලුවන් ඩිසයින් වෙබ් ටූල්ස් එහෙමත් තියෙනවා. Canva, Visme, Prezi, Google Slides, Keynote, Ludus, Slides, Slidebean, Zoho Show, Beautiful.ai, Genially, Microsoft Sway වගේ ඒවා සහ තවත් ඒවා උදාහරණ. අපි Lifie.lk එකෙන් කලින් ආටිකල් එකකුත් කරලා තියෙනවා හොද ප්‍රසන්ටේඑෂන් එකක් හදාගන්න පුළුවන් ඔන්ලයින් ටූල්ස් ගැන.

 

7. ලුහුඬින්, පොයින්ට් එකට

ප්‍රසන්ටේෂන් එකක් කරන්න කලින් හිතලා බලන ඕන ඒක ඉදිරිපත් කරන සභාව නැතිනම් ඕඩියන්ස් එක මොකක්ද කියන එක ගැන. ඒ ගැන හිතලා තමයි ප්‍රසන්ටේෂන් එකේ කරන කතාව හදාගන්න ඕන. හැබැයි ස්ලයිඩ් ෂෝ එක හැදුවට පස්සේ ප්‍රසන්ටේෂන් කතාව ස්ලයිඩ්ස් බලාගෙන ඒ මොහොතේ කරන්න ලෑස්ති වෙන්න එපා. ඒකත් ලියාගන්න. ලියලා තමන්ම කියවලා බලන්න. ආයෙ ආයෙ එඩිට් කරන්න. 

සාමාන්‍යයෙන් ප්‍රසන්ටේෂන් එකට නෙවෙයි, කොහොම කතාවක් කරනකොට වුණත් අපි සක්ක පද අමුණනවනේ. ඒ කියන්නේ අපිට වාක්‍ය අතරේ හුස්මක් ගන්න, හිතන්න ඉඩක් ගන්න පාවිච්චි කරන වචන තියෙනවා. ඒවා තමයි ඔය ‘ඒ කියන්නේ’, ‘මං හිතන විදියට’, ‘හරියට’ වගේ වචන. ඒවා පාවිච්චි කරන එක සීමා කරන්න අමාරුයි. හැබැයි හැම වචන පහකටම සැරයක් සක්ක පද පාවිච්චි වෙනවා නම්, පොඩ්ඩක් ඒවා සීමා කරගන්න වෙනවා.

 

ඊලඟට, ප්‍රසන්ටේෂන් එකේ ස්ලයිඩ්ස් වගේම කතාවත් කෙටියෙන්, ලුහුඬින් සහ පොයින්ට් එකට සිද්ධ වෙන්න ඕන. ස්ලයිඩ් එක පැහැදිලි කරන්න සහ ස්ලයිඩ් එකෙන් පෙන්නන්න බැරි දේවල් ඉදිරිපත් කරන්න සහ ප්‍රශ්න උත්තර සඳහා විතරක් කතාව පාවිච්චි කරන්න. වැල්වටාරම් එපා. අන්න ඒ නිසාම තමයි ප්‍රසන්ටේෂන් එකේ කතාව ලියලා ලෑස්ති වෙන්න කියලා අපි කියන්නේ.

 

8. හොඳ ආරම්භයක්

ප්‍රසන්ටේෂන් එකක් පටන් ගන්නකොට ඒක අහන් ඉන්න අයට දවසේ වෙලාව අනුව සුබ පතලා, කෙලින්ම ටොපික් එකට බැහැලා කරගෙන යන්න පුළුවන් තමයි. හැබැයි ඊට වඩා වෙනසක් වෙන එකක් නැද්ද කෙටි, ඒත් ආකර්ෂණීය, වෙනස් විදියේ ආරම්භයක් ගන්න පුළුවන් නම්? මේ ආරම්භය හිතන්න ඕන තමන් ඉදිරිපත් කරන ප්‍රසන්ටේෂන් එකට අදාළව තමයි. උදාහරණයක් විදියට ගත්තොත්, ප්‍රසන්ටේෂන් එකේ තියෙන්නේ ගෙවල් සීයක් හදලා දෙන ප්‍රොජෙක්ට් එකක් නම්, කෙනෙක්ගේට තමන්ගේම ගෙයක ජීවත් වෙන්න තියෙන සිහිනය ගැන කියලා ප්‍රසන්ටේෂන් එක පටන් ගන්න පුළුවන්. 

ඕන නම් එහෙම පටන් ගන්න ආරම්භය, ප්‍රසන්ටේෂන් එක අන්තිමටත් ගේන්න පුළුවන් සමාප්තියක් විදියට. ඒ කියන්නේ හොඳ ආරම්භයක් සහ හොඳ අවසානයක්!

 

හරිද? ප්‍රසන්ටේෂන් එකයි ස්ලයිඩ් ෂෝ එකයි ලෑස්තිද? එහෙමනම් තව අවසාන කාරණේකුත් තියෙනවා කියන්න. ඒ තමයි හොඳ ආත්ම විශ්වාසය. පිරිස ඉස්සරහට ගිහින් හරි, ඔන්ලයින් හරි හොඳ කන්ෆිඩන්ස් එකක් ඇතුව ප්‍රසන්ටේෂන් එක කරන්නයි තියෙන්නේ. ඒකට හොඳ හුස්මක් අරගෙන, තමන්ට මේක හරියටම කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය ඇති කරගන්න ඕන. එහෙමනම් ගුඩ් ලක්!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *