පෙර දින රාත්‍රියේ දැඩි ලෙස මත්පැනින් සප්පායම් වුනු මිනිසෙකුට පසුදින සෙට් වෙන වාත 7ක්

දැඩිව මත්පැනින් සප්පායම් වුනු රාත්‍රියකට පසුදින සුන්දර නැති විත්තිය අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. තියෙනව අමාරු කන්දක්. අමාරු කන්ද ගැන කිවුවම හැමෝටම මතක් වෙන්නෙ ඇඟට දැනෙන අමාරු විතරයි. එයිට වඩා අමාරු තියෙනව මහත්තයො. ඇහුවම හිත හිරිවැටිලා යන අමාරු තියෙනවා. ඒ නිසා මේ ගැන අහල ඔය කරගෙන ගිය හොඳ පුරුදු නවත්තනව වගේ පාපතර සිතුවිලි උපදවගන්න ඕන නෑ. අපි මේ කෝකටත් කියල කියන්නෙ. ඒවගේම අපේ අමද්‍යප පාඨකයොන්ට පුළුවන්නෙ අසරණ වුනු මධු ලෝලීන් ටාගට් කරගෙන පොඩි මඩකුත් ගහන්න.

 

1. අමාරුවෙන් හරි ඔෆිස් යන්න වීම

මේක තමයිනෙ ඉතිං ලොකුම දුක. ඔන්නොහේ නිවාඩු දානව කියල හිතාගෙන හොඳට බිවුවට මොකද පහුවදාට මතක් වෙනවා කරන්න තියෙන වැඩ කන්ද. ආයෙ දවසක් නොයනව කියන්නෙ ඔය ගොඩ උඩට තව ගොඩක් පැටවෙන නිසා අමාරුවෙන් හරි ඔෆිස් යන්නම වෙනවා. ඔෆිස් ගිහින් පුටුවක එක දිගට වාඩි වෙලා ඉන්න, බොසාගෙ නිදිමත මීටින්වලට යන්න, ඒවට ඔලුව වනනව මදිවට කට්ටිය එක්ක හිනා වෙන්න, බස්වල යන්න එන්න වගේ අපහසුදායක කාලයක් මේ වගේ සිරුරට දැඩි වෙහෙසකර දවසකට පස්සෙ ගෙවනව කියන්නෙම වාතයක්නෙ.

 

2. වයිෆ් පටන් ගැනීම

ඩ්‍රින්ක් එකක් දාලා ආතල් එකේ ගෙදර එන්නෙ සොමියෙ ඉන්න බලාගෙන. ඔය සොමිය දෙකොණින් යනව ගෙදර ආවට පස්සෙ. වයිෆුත් හිනා වෙලා ගෙදර ඇතුළට අරගෙන ටිකකින් තමයි වැඩ පටන්ගන්නෙ. කෝ බටර් ගෙනාවද? දැන් හෙට මම කේක් එක හදන්නෙ කොහොමද? ඔයාට ඔච්චර සිහියක් නැද්ද? අමතක වෙනවනං බොන්න කලින් ගන්න තිබුන නේද? හැමදේටම දාගන්න රිමයින්ඩර් මගේ වැඩකට දාන්න අමතක වුනාද? වගේ ප්‍රශ්න කෝටියයි. ඔයිට වඩා අවුල් යනව එයා බර්ත්ඩේ එකට අරං දීපු මාලයක් හරි බ්‍රේස්ලට් එකක් හරි බීපු තැනක දාලා ඇවිල්ල නං. එහෙම වුනොත් ඒ තැනම ඉඳලා එන එක තමයි හොඳ. වැඩිය ඕන නෑ ඩ්‍රින්ක් එක දාන්න ගියේ වෙඩින් එකකනං වෙඩින් කේක් හෝ තැන්ක්යූ කාඩ් නොගෙනාවත් ඔය සෙතේමයි.

 

3. පෙරදා

මෙන්න මේ කාරණයත් බීපු මනුස්සයෙකුට තියෙන ලොකු වදයක්. ඒ තමයි හැමෝම කතා කර කර කලින් දවසෙ රෑ විස්තර අහන එක. කීයටද ගෙදර ගියේ? ඇයි අච්චර පිස්සු නැටුවෙ? ඇයි උඹ කෑවෙ නැත්තෙ? උඹෙ කෝට් එක අපේ ගෙදර, වයිෆ් බැන්නද? අද උදේ වැඩට ආවෙ කොහොමද? උඹට අමාරු නැද්ද? වගේ ප්‍රශ්න ගොඩකට ඔලුව වනල හිනාවක් දානව තරමින් එහාට දෙයක් කරන්න අමාරු නිසා ඒ විදියට ඉන්න එක ලේසි වුනත් මුං එක්ක එහෙම ලේසියෙන් උත්තර දීලානං ගැලවෙන්න බෑ.

 

4. රිප්ලයි

බීපු දවසකට පහුවෙනිදා උදේ ඇස් අරින්නෙම අමාරුවෙන්. ඒ ඇස් ඇරලා වැනි වැනි ටොයිලට් එකට යනව. යන අතරෙ අත පය වදිනව ගෙදර බඩුවල. ඊටපස්සෙ වතුර ටිකක් වැඩිපුර බීලා ඇඳට ඇවිල්ල ආයෙ චුට්ටක් ඇහැ පියාගන්නව. ඇහැ ටිකක් පියාගෙන ඉඳල ඇඟට ටිකක් ෂේප් වුනාම තැඹිලි ගෙඩියක්වත් බොන්න යනවද කියල හිතල ඇඳ ගාවම බිම වැටිලා තියෙන ෆෝන් එක අහුලගන්නව. හොදි ඕන්නෑ. වට්ස්ඇප්, මෙසෙන්ජර්, ටෙලිග්‍රෑම්, ෆේස්බුක්, ට්විටර් ඔක්කොම එකට පත්තු වෙලා. ඔය ඔක්කොම බලන්න බැරි නිසා උඩින් පල්ලෙන් බල බල යද්දි දෙලෝ රත්වෙනවා. කලින් කෑල්ල මෙසේජ් එකක් එවල. සතුටට ක්ලික් කරල බැලුවට මොකෝ ක්ලික් කරල බැලුවමයි ඊට උඩින් ඊයෙ රෑ යවපු මෙසේජ් දකින්නෙ. එතකොට තමයි රත් වෙන්නෙ.

 

5. ගැස්ට්‍රයිටීස් සහ හිසරදය

මේක ඉතිං බොහොමයක් දෙනෙකුට අධික ලෙස මධුවිතෙහි ගිලුනු දිනකට පහුවදා ඉහළින්ම ඇටෑක් කරන සතුරන් දෙදෙනෙක්. බඩ බොකු දිරපු ගතියයි. වතුර බිවුවට යෝගට් කෑවට තත්ත්වය ෂේප් වෙන්නෙත් නෑ. ඒ එක්කම තියෙන ඔලුවෙ කැක්කුමත් නිසා කිසිම වැඩක් කරගන්න බෑ. තැඹිලි බීලා, පුංචි පුංචි කෑන්වල ලොකු ලොකුවට තියෙන බීම ජාති බීලා, කොහොමින් හරි ගොඩ එන්න බලන්නෙ වැඩ රාශියක් තියෙන නිසා වුනත් මේ අමාරු දෙක එහෙම ලේසියෙන් හරියන දෙකක් නෙමෙයි.

 

6. මක්කෙයි වුනේ?

කන්න කියල නැගිට්ට මතකයි. කෑවද කියල මතක නෑ. ඒ වුනාට චිකන් කෑලි දෙකක් පිඟානක තිබුනා මතකයි. ඩෙසර්ට් කෑවද? කියල මතක නෑ. ඔක්කොම හිතලා අත හෝදන්න ගියේ කොහොමද කියල මතක නෑ. යාලුවො සෙට් එකම වොෂ් රූම් එකට වෙලා මොකක්හරි ජෝක් එකකට හිනාවෙවී හිටියා මතකයි හැබැයි ඒ මොකටද කියල මතක නෑ. කවුදෝ මන්දා ආන්ටි කෙනෙක් කට්ටියට දෙහි කැපුවා මතකයි, ඒ ඇයි කියල මතක නෑ. ගෙදර ආවෙ කොහොමද කියල මතකම නෑ. මේ දැන් ඇඟේ නූල් පොටක් නැතුව ඉන්නෙ ඇයි කියල මතකත් නෑ. මේ කිසිම දෙයක් හරි නිවැරදි පිළිවෙලට මතක නැතුව මේ මොකුත් කරන්නත් බෑ.

 

7. සියළු වැරදි

මේක තමයි ලොකුම දුක. බිවුවෙ කවුද? අපිනෙ. අරක්කු ඇවිල්ල බලෙන් කටට වැටුනෙ නැහැනෙ. හොඳ නරක දැනගෙනනෙ බිවුවෙ. පහුවදාට තියෙන වැඩ, ගෙදර ගෙනියන්න තියෙන දේවල් වගේ සියළු දේ දැනගෙනනෙ බිවුවෙ. ඉතිං අපි ඒ වැඩ කරද්දි සිද්ධ වෙන අතපසුවක සියළු කරුමය කරගහන්න වෙන්නෙ අරක්කුවලට. කොටිම්ම අරක්කු නොබීපු දවසකට පවා සිද්ධ වෙන්න පුළුවන් අත්වැරැද්දකට කරගහන්න මේ දවස්වලට අරක්කුවලට සිද්ධ වෙනවා. කොහෙද ඉතිං රෑ දෙගොඩහරිය වෙනකං බීලා දැන් කොහොමද මේ විදියෙ වැඩක් වත් කොරන්නෙ? කියලයි අහන්නෙ.