රචනා ලියන්න දෙයක් නෑ මනුස්සයෙකුගේ ජීවිතේ හොඳම කාලේ තමයි ඉස්කෝලේ කාලේ. වල පයයි ගොඩ පයයි තියන් ආපහු හැරිලා බලද්දී සතුටු වෙන්න දෙයක් ඉතුරු වෙලා තියනවා නම් ඇත්තටම එතන විතරයි. හැබැයි ඉතින් දිවිහිමියෙන් පාඩම් වැඩ කරන්නමයි කියලා ඉස්කෝලේ ගිය අයට ඒක කිසිසේත්ම අදාළ නැහැ. ෆ්‍රී පීරියඩ් එකක් කියන්නේ ඒ කාලේ දෙයියෝ දුන්න තෑග්ගක්. ආන්න ඒ වෙලාවට ඔබත් මමත් මතක මැව්වේ මෙහෙමයි.
1. බජව්ව

Image Source – youtube.com
මේසෙට තට්ටුවක් දාන් රොත්ත පිටින් එකට සින්දු කියපු ඒ අත්දැකීම අද බීට්ස් බයි ඩොක්ටර් ඩ්‍රේ එකක් කනේ ගහන් යන එකෙන් ලබන්න බැහැ. කොහොමහරි ෆ්‍රී පීරියඩ් කියලා නෑ ඉතින් ගුරුවරු එහෙ මෙහෙ යනවා. ඒක ඔත්තු බලන්නත් වාමන රූපයක් වගේ පොරක්ව හිටවලා තියනවා පේන මානෙක. ගැහැණු පිරිමි භේදයක් මෙතන නැහැ. දැන් තමයි සින්දුවක් කියන්න කිව්වම එක එකා දෙකට දෙවාරණේ ඇඹරෙන්න ගන්නේ. ඔයා පටන් ගන්න අපි එතකොට කියන්නම් වගේ ගොබිල කතන්දර ඔක්කොම දැන් තමයි. ඒත් එදා පටන් ගත්තෙත් ඔක්කොම එකට. ඉවර කරෙත් එකට.
2. ක්ලිප් ගේම්

Image Source – lifie.lk
පෑන් ක්ලිප් දෙකක් අරන් පංච ගහන කොට බෙල්ලෝ ටික දානවා වගේ මේසේ උඩට දාලා ඒ දෙක මැදින් ඉරක් කපලා කැරම් ඉත්තොන්ට ගහනවා වගේ දාපු මේ අයිටම් එක කොහොමටවත් අමතක වෙන්නෑ. පස්සේ ඕකේ අප්ඩේට් වර්ෂන් එකක් විදියට පෑන් දෙකක්ම ගත්තා. මේකේ අවසානය වුණේ එක ක්ලිප් එකකින් අනිකට ගගහා ගිහින් අන්තිමේ මේසේ කෙළවරින් එළියට දාන එක. ඉස්සෙල්ලාම ඒක කරපු එකා පන්තියට රැස් පෙන්නුවේ උසේන් බෝල්ට්වත් කරේ තියන් දුවලා මීටර් 100 ඔලිම්පික් මෙඩල් එකක් ගත්තා වගේ.
3. අයිස් වෝටර්

Image Source – inuth.com
පන්ති අස්සේම මුළු ගැන්නිලා හිටියෙත් නැහැ ඉතින්. ඉස්සෙල්ලා එළියට බැහැලා වටපිට ක්ලියර් නම් එකා එකා හිමීට එළියට එනවා. ඒ ඇවිල්ලා තමයි භීෂණේ පටන් ගන්නේ. අල්ලන්න එකෙක් ඉන්නවා. දුවන්න හැටක් විතර ඉන්නවා. අල්ලන එකා අයිස් කියලා එකෙක්ට ගැහුවත් හරි කොහෙන් හරි තව එකෙක් ප්‍රාදූර්භූත වෙලා වෝටර් කියලා ගහලා ඉවරයි. ඔය අයිස් වෝටර් ගැහිල්ලෙදී මරු පාරවල් වැදෙන්නත් පුළුවන්.
4. රොබින් මැරියන්

Image Source – halloweencostumes.com/ kidshalloweencostumes4u.com
එළියෙන් ආයෙත් පන්තිකාමරයට. ඒ දවස්වල හරියට ජනප්‍රිය වුණ මෙව්වා එකක් නේ රොබින් හුඩ් කියන්නේ. අන්න ඒ අනුසාරයෙන් නිර්මාණය වුණ මේක තනිකරම රහස් පරීක්ෂක සීන් එකක්. තුණ්ඩුවල රොබින් හුඩ් එකේ සෙට් එකේ නම ලියලා, ඒවා මේසෙකට හලා ගන්නවා. ඔතනින් රොබින් හුඩ් ලැබෙන කෙනා මැරියන්ගෙන් සංඥාවක් ලබාගෙන ඒක අහවලාට හොයන්න කියන එක තමයි සරලවම වෙන්නේ.
5. කැන්ටින් ගමන

Image Source – klncit.edu.in
මිනිස්සු ආයතනයක කැන්ටිමට යන්නේ මොනාහරි කන්න. නැත්නම් බොන්න. ඒත් ඉස්කෝල ළමයි එතෙන්ට යන්නේ කන බොන ගමන් මතක තව එකතු කරගන්න. ඒ දවස්වල රුපියල් දහයටත් ලොවෙත් අගයක් තිබුණනේ. ඉතින් ඒවත් එකතු කරලා ඔක්කොම එකට ගන්නවා. වඩයක් කාලා ප්ලේන්ටියක් බොන ගමන් ආගිය දේවල්, ප්‍රථම ප්‍රේමයේ හුටපට සහ ඉස්කෝලේ ඉන්න හිත ගිය ඇය හෝ ඔහු ගැනත් කතා කරන්න ගියේ ඔතනට.
6. ගැහැණු, පිරිමි, මල්, පළතුරු

Image Source – videoblocks.com
පොතක් පතක් ගේන්නෙත් නැතුව සාක්ෂරතාව 0 වගේ ඉන්න පොරවලුත් කඩදාසියක් එක්ක පෑනක් අරගෙන එන්නේ මේක ප්ලේ කරන්නයි. නිශ්චිත අකුරකින් පටන් ගන්නා ගැහැණු පිරිමි වගේම මලුත් පළතුරුත් ගැන තරඟෙට ලියන එකයි වැඩේ.
7. වන් ටූ ත්‍රී බම්බල් බී

Image Source – geaschool.com
වන් ටූ ත්‍රී බම්බල් බී ස්ටොප්! ඕක දේව වාක්‍යය වගේ මතුරන්න තියාගත්තු සෙල්ලමක් තමයි මේ. ස්ටොප් කිව්වයින් පස්සෙත් හෙලවෙන්න කරන්න යනවා කියන්නෙ ආයෙත් ආරම්භක ස්ථානයට යන එකයි.
මේ දේවල් සමහරවිට ඒ දවස්වල ඒ තරම් වටිනාකමකින් දැනුණේ නැති දේවල්. ඒ කිව්වේ නිකන්ම නිකන් වෙලාව කා ගන්න යාළුවෝ එකතු වෙලා කරපු දේවල්. ඒත් අද මේවා කොච්චර වටිනවාද?
Cover Image Source – blogs.forbes.com
Leave a Reply