ඉන්දීය කොරෝනා සටනේ වීරවරයෝ

ඉන්දියාව මේ වෙනකොට තමන්ගේ ඉතිහාසයේ මුහුණ දෙන්න වුණු දරුණුම සතුරාට එරෙහිව සටන් වදිනවා. මේ සටනේ ඇතැම් දර්ශන හදවත කම්පා කරවන සුළුයි. අපේ බණ පොත්වල කියන විසාලාව තමයි මේ ඡායාරූප දකිද්දී අපිට මතකයට  නැගෙන්නේ. හැබැයි මේ  ව්‍යසනකාරී තත්ත්වය තුළදී වුණත් ඇතැම් ඉන්දියානුවන්ගේ මානව දයාව සහ වීරත්වය පිළිබඳව කතාත් අපිට ඇහෙනවා. අපි අද කතා කරන්න යන්නේ එවැනි වීර චරිත කීපයක් පිළිබඳව.

 

1. රේලූ වාසවී

මහාරාෂ්ටයේ වාසය කරන මේ විසි අට හැවිරිදි තරුණිය දිනපතා කිලෝමීටර් 18ක දුරක් බෝට්ටුවක තනියම හබල් ගාමින් නර්මදා නදිය තරණය කරනවා. නිවසට කොටුවෙලා ඉන්න ගර්භණී මවුවරුන් සඳහා අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය සහ උපදෙස් ලබා දීම ඇගේ අරමුණයි. තම නිවසට පැමිණෙන විට තමන්ගේ දෑත දරුණු අයුරින් වේදනා දීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙන බව කියන ඇය තමන් සිදුකරන සේවාව ගැන සිතා ඒ සියළු වේදනා අමතක කරන බව පවසනවා.

 

2. ඉන්දිරා ගාග්

ඉන්දිරා දීදී (ඉන්දිරා අක්කා) ලෙස ගැමියන් විසින් ආමන්ත්‍රණය කරනු ලබන ඇය රේලු වාසවී සේම දරුවන්ගේ සහ මව්වරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම තම රාජකාරිය කොටගෙන සිටිනවා. අතිදුෂ්කර මංමාවත්වල  සැරිසරමින් ගෙයින්ගෙට ගොස් තම සේවාව ඉෂ්ට කරන ඇය ගත කරන්නේත් අභියෝගකාරී ජීවිතයක්. කොරෝනා වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ඇගේ සැමියාට රැකියාව අහිමි වූ අතර පවුලේ බර සම්පූර්ණයෙන්ම පාහේ දැන් පැවරී තිබෙන්නේ ඇගේ කර මතටයි. නමුත් මේ සියළු අභියෝග වලට නිර්භීතව මුහුණ දෙන ඇය ඇගේ සේවාව කිසිවිටෙකත් අමතක කර නැහැ.

 

3. චීනු ක්වත්‍රා

ඉන්දියාවේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම නිසා  ජනාදරයට පත්වූ චීනු ක්වත්‍රා ඉන්පසුව පෝෂණ ඌනතාවයෙන් පෙළෙන ඉන්දියානුවන් වෙනුවෙන් කෑම වේලක් ලබාදීමේ තවත් වැඩසටහනක් ආරම්භ කළා. දානපතියන්ගේ ආධාර මත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ මේ වන විට දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සිය කුසගිනි නිවා ගන්නවා. සිය රැකියා අහිමිවීම නිසා ආහාර සොයා ගැනීමටවත් වත්කමක් නොමැතිව සිටින ඉන්දියාවේ දිළිඳු ජනතාවට චීනුගේ මෙම සේවාව මහමෙරක් තරම්.

 

4. විකාස් කන්නා

ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට සිය නිත්‍ය වාසස්ථානය බවට පත්කොට ගෙන සිටින විකාස් කන්නා ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් සූපවේදියෙක්. නමුත් ඔහු කිසි විටෙක තම මුල් අමතක කර නැහැ. තම පෞද්ගලික ධනය සහ  දානපතියන්ගේ ආධාර මගින් ඉන්දියාව පුරා මේ වන විට මිලියන 25කට ආසන්න ආහාරවේල් ප්‍රමාණයක් බෙදා හැරීමට ඔහු සමත්ව තිබෙනවා. එසේම ඉන්දියාවේ ජීවත් වන මිලියන දහයකට අධික වීදිවල කෑම විකුණන ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ඔහු විසින් ලබා දෙනු ලැබුවා.

 

5. සෝනු සූඩ්

බොහෝ චිත්‍රපටිවල දුෂ්ඨයාගේ භූමිකාවට පණ පොවා සිටින සෝනු මේ වන විට සමස්ත ඉන්දියානුවන්ගේම  වීරයෙක් බවට පත්ව සිටිනවා. 2020 පළමු කොරෝනා රැල්ලේ දී විවිධ රටවල කොටු වුණු ඉන්දීය විදේශ ශ්‍රමිකයන්ව සිය රටට ගෙන්වා ගැනීමට සහ රට අභ්‍යන්තරයේ සිරගත වූ ශ්‍රමිකයන්ට සිය ගම් බිම් කරා යෑමට ඔහු අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සංවිධානය කිරීමට පෙරමුණ ගත්තා. මීට අමතරව කොරෝනා නිසා දුෂ්කරතාවයට පත් වූ පවුල් ගණනාවකටම ඔහුගෙන් මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලැබී තිබුණා.

 

6. ෂාහනවාස් ෂායික්

තමන් දැඩි ලෙස ආදරය කළ SUV රථය විකුණා දමමින් පවුල් 250 කට අධික පිරිසක් සඳහා ඔක්සිජන් ටැංකි ලබාදීමට මේ අපේ කාලයේ වීරයා කටයුතු කොට තිබුණා. වාර්තා වලට අනුව එක්තරා කාන්තාවක් රෝහල් 5කට ගෙන ගොස් ඒ සියල්ලෙන්ම ඔක්සිජන් හෝ වෙන්ටිලේටර් හිඟ බව පවසමින් හරවා යැවීමෙන් අනතුරුව මරණයට පත්වූ බව ඇසීමෙන්  ඇතිවූ කම්පනයෙන් පසුව ඔහු මෙම තීරණය ගෙන තිබෙනවා.

 

7. කේ. කේ. ෂයිලාජා

පසුගියදා පැවති ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයෙන් එක්තරා කාන්තාවක් වැඩි ඡන්ද 60,000 කින් සිය ආසනය දිනා ගන්නා ආකාරය මුළු ලෝකයම ගෞරවයෙන් බලා සිටියා. ඇය වෙන කිසිවෙක් නොව කේරළයේ සෞඛ්‍ය අමාත්‍යවරිය වන කේ. කේ ෂයිලාජායි. පළමු කොරෝනා රැල්ලේදී කේරළයේ කොරෝනා පැතිරීම බොහෝ දුරකට පාලනය කර ගැනීමට ඇය සමත් වුණා. එසේම සමස්ත ඉන්දියාව ඔක්සිජන් නොමැතිව අර්බුදයකට පත්ව සිටින මොහොතක කේරළයේ ස්ථාපිත කොට ඇති ඔක්සිජන් කර්මාන්ත ශාලා මගින් නොකඩවා ඔක්සිජන් සිලින්ඩර නිෂ්පාදනය කොට  බෙදාහැරීම  සිදුකරනු ලබනවා.

 

අපි මේ ලිපියට ඇතුළත් කළේ මිලියන ගණනක් වූ ඉන්දියානු වීරවරයන් අතරින් කීපදෙනෙක්ගේ කතාපුවත් පමණයි. තම ඔක්සිජන් සිලින්ඩරය සහ ඇඳ වෙනත් රෝගියෙකුට පරිත්‍යාග කොට නිවසට ගොස් මරණයට පත්වූ උදාර ජේෂ්ඨ පුරවැසියන් ගැනත් අපිට අසන්න ලැබුණා. එහෙමනම් ඉතින් මේ වීරවරයන් ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *