මීට අවුරුද්දකට විතර කලින් ගත්තත් ටික් ටොක් ප්ලැට්ෆෝම් එක ගැන සමාජයේ තිබුණේ ඒ තරම් හොඳ අදහසක් නෙවෙයි. ඒ කියන්නේ ටික් ටොක් කරනවා කියන්නේ ආයෙ කොහෙන්වත් හිර දෙන්නෙවත් නැති ලෙවල් එකකට පහත තැනක තමයි තිබුණේ. තාමත් එහෙම ‘ටික් ටොක් කරන එවුන් අඩු කුලේ පර හැත්ත’ වගේ ලයින් එකක් තියෙනවා. හැබැයි දැන් වෙනකොට තත්වය ශීඝ්‍ර වශයෙන් වෙනස් වෙලා තියෙනවා. ඔය ලොකු ලොකු බ්‍රෑන්ඩ්ස් වල ප්‍රොඩක්ට්ස් වල එහෙම මාර්කටින් බජට් එකෙන් සෑහෙන්න කොටසක් ටික් ටොක් වෙනුවෙනුත් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම, නිකම්ම සිංදුවකට ඇඟ හොලෝනවට වඩා සමාජේ දැනුවත් කරන විදියේ දෙයක් කියලා දෙන්න, අළුත් දෙයක් එකතු කරන්න කන්ටෙන්ට් නිර්මාණය කරන අයත් ටික් ටොක් ප්ලැට්ෆෝම් එක ඇතුළේ වැඩි වැඩියෙන් දකින්න ලැබෙනවා.
ඉතින් ආන්න ඒ නිසා, හොඳ ටික් ටොක් ක්‍රියේටර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා ආධුනිකයෙක්ට කියලා දෙන්න අපි හිතුවා.
1. ඇල්ගොරිදම් අවබෝධ කරගමු
ටික් ටොක් එකේ වැඩක් පටන් ගන්න මුලින්ම කරන්න ඕන මේකයි. ටික් ටොක් ඇල්ගොරිදම් තේරුම් ගන්න එක. සාමාන්‍යයෙන් අපි වීඩියෝ එකක් දැම්මට පස්සේ ටික්ටොක් එකෙන් ඒක 100-500 ත් අතරේ ප්‍රමාණෙකට පෙන්නනවා. දැන් ඒකෙන් කී දෙනෙක් වීඩියෝ එක සම්පූර්ණයෙන්ම නරඹනවද, ලයික් කරනවද, කමෙන්ට් කරනවද, ෂෙයාර් කරනවද, ඩවුන්ලෝඩ් කරනවද කියන එකත් මේ ඇල්ගොරිදම් වලින් බලනවා. දැන් මේ විදියට හොඳ එන්ගේජ්මන්ට් රේට් එකක් ලබාගත්තොත්, එහෙම වීඩියෝ එකකට තව වැඩි පබ්ලිසිටියක් ටික්ටොක් එකෙන්ම ලැබෙනවා. වැඩි පිරිසකට මේ වීඩියෝ එක පෙන්නනවා. එහෙම නැතිනම් අපේ වීඩියෝ එකේ රීච් එක ස්වයංක්‍රීයවම ටික් ටොක් ඇල්ගොරිදම් වලින් ලිමිට් කරනවා. දැන් මෙන්න මේ විදියට සරලව ටික් ටොක් ඇල්ගොරිදම් හැසිරෙන විදිය අල්ලගත්තහම, අපිට වඩාත් හොඳ එන්ගේජ්මන්ට් එකක් ලැබෙන විදියේ වීඩියෝ ප්ලෑන් කරන්න පුළුවන්.
2. පර්සනලයිස්ඩ් එකවුන්ට්
මෙතනදී ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ ප්‍රොෆයිල් පින්තූරය, තමන්ගේ බයෝ එක, ටික් ටොක් හැන්ඩ්ල් එක සහ අනික් ප්ලැට්ෆෝම් ලින්ක් කිරීම. දැන් ටික් ටොක් එකේ තමන්ගේ මූණෙන්ම වීඩියෝ දාන කෙනෙක්ට අමුතුවෙන් ප්‍රොෆයිල් පික්චර් එක ගැන හිතන්න ඕනෙද? ඇත්තටම ඔව්. එතනදී තමන් ටික් ටොක් එකවුන්ට් එකෙන් ඉදිරිපත් කරන දේ අනුව ප්‍රොෆයිල් පික්චර් එක කස්ටමයිස්ඩ් කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට යෝගා ටිප්ස් ලබාදෙන ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ට තමන්ගේ ඡායාරූපයක් දාන්න පුළුවන්. එතකොට මිනිස්සුන්ට අදහසක් එනවා යෝගා කරලා හොඳ ෂේප් එකක් හදාගන්න පුළුවන් කියලා. සම්පූර්ණයෙන්ම රෙස්ටුරන්ට් වල ආහාර පාන වීඩියෝස් දාන කෙනෙක්ට තමන්ගේ මූණ නැතත්, කෑම වලට සම්බන්ධ දෙයක් ප්‍රොෆයිල් ෆොටෝ එකට දාන්න පුළුවන්.
ඒ වගේම, තමන් ඉදිරිපත් කරන අන්තර්ගතයට ගැලපෙන විදියේ ටික් ටොක් හැන්ඩ්ල් එකක්, ඒ කියන්නේ නමක් තිබීම වැදගත්. ඒ වගේම, තමන් කරන දේ සහ තමන් කවුද කියන එක හොඳට පැහැදිලි කරන බයෝ එකකුත් වටිනවා. ඒ වගේම තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එක සහ යූටියුබ් එකවුන්ට් එකත් ලින්ක් කරලා තියෙන එකත් වටිනවා. ඒ වගේම ඕන නම් ටික් ටොක් බයෝ එකට ක්ලික් කරන්න පුළුවන් ලින්ක් එකක් එහෙමත් දැම්මට පාඩු නෑ.
3. මොනවද දාන්නේ?
මෙන්න මේක වෙන ඕනම සෝෂල් මීඩියා පේජ් එකකට වගේම, ටික් ටොක් එකටත් වැදගත්. ඒ තමයි, තමන් ඇත්තටම මොනවද පබ්ලිෂ් කරන්නේ කියන එක. මෙතනදී අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක් තමයි, මිනිස්සුන්ට පැහැදිලිව පේන හොඳ තේමාවක් තියෙන එක වැදගත් කියලා කියන එක. තමන් වැඩි වශයෙන් කරන්නේ එන එන සිංදු කෑලි වලට ටික් ටොක් එකේ ඩාන්ස් කරන එක නම්, ඒ අතරින් පතර කුකරි ටිප්ස් වීඩියෝ දාලා වැඩක් නෑ. එහෙම කරන එකෙන් වෙන්නේ, කෙනෙක් අපේ ටික් ටොක් එකවුන්ට් එකෙන් ඉදිරිපත් කරන්නේ මොනවද කියලා කන්ෆියුස් වෙන එක. ඒකෙන් අපිට ෆලෝවර්ස්ලා හැලෙන්න පුළුවන්. ආන්න ඒ නිසා පැහැදිලි තීම් එකක් පවත්වා ගන්න. අපි කාර් ගැන උපදෙස් දෙනවා නම් අපේ ටික් ටොක් එක කාර් උපදෙස් සම්බන්ධයෙන් වෙන්න ඕන. මැද්දේ ට්‍රිප් ගියපු ෆොටෝ දාන එකේ තේරුමක් නෑ!
4. මොනවද දාන්න පුළුවන්?
කලින් කිව්වේ ටික් ටොක් එකවුන්ට් එකේ මොනවද දාන්නේ කියන එක අවබෝධයට දෙයක්. ඒ කියන්නේ තමන්ගේ කන්ටෙන්ට් හරි විදියට පවත්වා ගැනීම ගැන අවබෝධයක් ගන්න එක තමයි ඒ පොයින්ට් එකෙන් කියවෙන්නේ. දැන් කතා කරන්න අවශ්‍ය වෙන්නේ තමන්ට මොනවද ටික් ටොක් වීඩියෝස් විදියට ඉදිරිපත් කරන්න පුළුවන් කියන එක.
මෙතනදී එක්කෝ තමන්ගේ විශේෂඥතාවයට අදාළව වීඩියෝස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෝටර් මිකැනික්ස් ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක්ට ටික් ටොක් එකෙන් මෝටර් මිකැනික්ස් ගැන කියලා දෙන්න පුළුවන්. කුකරි හොඳ දැනුමක් තියෙන කෙනෙක්ට කුකරි චැනල් එකක් කරන්න පුළුවන්. හැබැයි මෙතනදී තමන්ට හොඳ දැනුමක් තියෙන්නම ඕන කියලා දෙන දේවල් සම්බන්ධයෙන්. ඒක අනිවාර්යයි.
දෙවෙනියට එහෙම විශේෂ දැනුමකුත් නැති නම්, මේ දවස් වල ටික් ටොක් එකේ ට්‍රෙන්ඩ් එක මොනවද කියලා බලලා, ඒකම ඊට වඩා ටිකක් වෙනස් විදියට හරි ඊට වඩා හොඳට හරි කරන්න පුළුවන්. එහෙම කරලත් වීව්ස් ගන්න පුළුවන්.
5. හැමදාමත් පෝස්ට් දාමුද?
මෙන්න මේකත් ඉතින් සාර්ථකව ටික් ටොක් එකේ ගොඩයන්න අත්‍යාවශ්‍ය දෙයක්. ඒ තමයි, දිනපතාම යම් කිසි අන්තර්ගතයක් ටික් ටොක් එකට එකතු කරන එක. ඒ කියන්නේ, යලට මහට වීඩියෝස් නොදා, අඩු තරමින් දවසකට එකක් වත් දාන එක. ඇත්තටම ඔය එක්ස්පර්ට්ලා කියන විදියට, ටික් ටොක් එකේ ඇල්ගොරිදම් වැඩ කරන විදිය තමයි ඒ. ඒ කියන්නේ වීඩියෝ දාන ෆ්‍රීක්වන්සි එක වැඩි වෙන තරමට රීච් එකත් වැඩි වෙනවා.
ඒ වගේම තව කාරණයක් තියෙනවා. අපේ වීඩියෝස් වලට මිනිස්සු ආසයි නම්, ඒ අය අපේ වීඩියෝස් තව තවත් බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි ඒ බලාපොරොත්තු කඩ කරනවා නම්, ඒ කියන්නේ කොච්චර හොඳ වුණත් වීඩියෝ එකක් දාන්නේ කාලෙකට සැරයක් නම්, අපිට ෆලෝවර්ස්ලා අහිමි වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
6. ඒ පැත්තට වගේම මේ පැත්තටත්
දැන් අපි කලින්ම කිවුවනේ ටික් ටොක් එකවුන්ට් එක හදනකොට ඒකට තමන්ගේ ඉන්ස්ටග්‍රෑම්, යූටියුබ් වගේ ප්ලැට්ෆෝම් එහෙමත් ලින්ක් කරන්න කියලා. ඒකෙන් අපේ අනික් ප්ලැට්ෆෝම් වලටත් හොඳ ට්‍රැෆික් එකක් හදාගන්න පුලුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, යූටියුබ් වීඩියෝස් කරන කෙනෙක්ට ටික් ටොක් එක පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ සම්පූර්ණ යූටියුබ් වීඩියෝස් වල ටීසර්ස්, ට්‍රේලර්ස් එහෙම ගහලා ප්‍රොමෝට් කරන තැනක් විදියට.
හැබැයි ඔය විදියටම අනික් පැත්තට අපේ අනික් ප්ලැට්ෆෝම් වලින් ටික් ටොක් ප්ලැට්ෆෝම් එකටත් හොඳ ට්‍රැෆික් එකක් හදාගන්න පුළුවන් නම් මරු. උදාහරණයක් විදියට යූටියුබ් චැනල් එකේ බයෝ එකේ දාන්න පුලුවන්, අපේ අලුත්ම වීඩියෝස් එන්නත් කලින් ඒවල ටීසර්ස්, ට්‍රේලර්ස් බලන්න නම් අපේ ටික් ටොක් එකවුන්ට් එක ෆලෝ කරන්න කියලා. අන්න ඒ විදියට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් වලිනුත් ටික් ටොක් එකට ට්‍රැෆික් අදින්න පුළුවන්.
7. කොලිටිය වැදගත්
අපිට මේක බෙදන්න පුළුවන් කොලිටි වීඩියෝ සහ වීඩියෝ කොලිටි කියලා.
කොලිටි වීඩියෝස් කියන්නේ සරලවම අපි ඉදිරිපත් කරන අන්තර්ගතයේ කොලිටිය. එතනදී අපි විශේෂ දෙයක්, විශේෂ අන්තර්ගතයක් ඉදිරිපත් කරනවා කියන එකේ ඉඳලා, අපි කතා කරන විදිය පවා බලපානවා. ආන්න ඒ නිසා, හොඳට සූදානම් වෙලා කොලිටියක් ඇතුව වීඩියෝ එකක් ෂූට් කරන එක මෙතනදී වැදගත්.
ඊලඟට වීඩියෝ කොලිටිය. දැන් අපි අපේ ජොලිය උදෙසා ටික් ටොක් එකවුන්ට් එකක් හදාගෙන වීඩියෝස් කරගෙන යනවා නං, අතේ තියෙන ස්මාට්ෆෝන් එකෙන් වුණත් ඕක සරලවම ගොඩදාන්න පුලුවන්. හැබැයි අපි නිශ්චිත අරමුණක් ඇතුව, ටික් ටොක් එකවුන්ට් එකෙන් අපේ ප්‍රඩක්ට්ස් මොනවා හරි විකුණන අරමුණෙන් හරි, ටික් ටොක් ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් වීමේ අරමුණෙන් හරි, වෙන ඒ වගේ තමන්ට ප්රතිලාභ ලැබෙන අරමුණකින් හරි ටික් ටොක් කරනවා නම්, අනිවාර්යයෙන්ම වීඩියෝ වල කොලිටියත් අනිවාර්යයි. ඒකට හොඳ ලයිටින්, ට්‍රයිපොඩ් වගේ දේවල් වලට ආයෝජනයක් කළත් පාඩුවක් නෙවෙයි.
Leave a Reply