ගේම් කියන්නෙ තවදුරටත් පොඩි උන් කරන සෙල්ලමක්ද?

මීට අවුරුදු විසිපහකට විතර ඉස්සර වීඩියෝ ගේම් කියන දේ හංගගෙන කරපු දෙයක්. කාට්‍රිජ්වලින් පටන් අරගෙන අම්මලා ගෙදර නැති වෙලාවට සෙල්ලං කරන්න පටන් ගත්තු වීඩියෝ ගේම්ස් දක්වා මේවා කොල්ලො අතරෙ අතිශය ජනප්‍රිය වුනා. ඊටපස්සෙ කාලෙක අම්මලා ඉන්න තැනම ගේම් ගහන්න පටං ගත්තත් අම්මලා හැම නරක අවසානයක්ම ගේම්වල වැරැද්දක් විදියට දාන්න පටන්ගත්තා. මේ වෙද්දි ඒ පරම්පරාව වැඩිමහල්ලු වුනත් තාමත් ඒ අයට ගේමින් නවත්තගන්න බෑ. එහෙම කට්ටියගෙන් අනිත් අය අහන දේ තමයි පොඩි එකෙක් වෙන්න යනවද? ගේම් ගගහා? කියන දේ. ඇත්තටම අන්න එතනදි හිතුවොත් ඒක අවුල්. ඒ තමයි ගේම් ගහනව කියන එක මේ වෙද්දි පොඩි වුන්ට විතරක් අයිති දෙයක් නෙමෙයි. ඒ ඇයි කියලයි අපි කියන්න හදන්නෙ.

 

1. එතැනින් මෙතැන​ට

Image Source – sickchirpse.com

එක් අවුරුද්ද​ක පාපන්දු ලෝකයේ අතිශය ප්‍රසිද්ධ නේමාර්ලව පරද්දලා වසරේ හොඳම ගෝලයට අයිතිවාසිකම් කියලා පුස්කාස් සම්මානය දිනපු බ්‍රසීල ජාතික වෙන්ඩ්ල් ලීරා පාපන්දු පිටියේ ක්‍රීඩාව අතහැරලා පාපන්දු වීඩියෝ ක්‍රීඩාව වෘත්තීය වශයෙන් කරන්න පැමිණෙනවා. බොහෝදෙනෙක් මේ විදියට වෘත්තීය වශයෙන් වීඩියෝ ක්‍රීඩාවට එන්නෙ එයින් ලැබෙන මුදල නිසායි. සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙකු කොතරම් දක්ෂ වුවත් ඔහුට කණ්ඩායමේ රැඳී සිටින්නට කැපකිරීම් කරන්නට සිද්ධ වෙනවා. නමුත් කාමරයේ සිට වෙහෙස මහන්සියකින් තොරව මාසයකට ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටිය ඉක්මවන වේතනයක්, තමන් කැමතිම වීඩියෝ ක්‍රීඩාව එක්ක කල් ගත කිරීමෙන් ලැබෙනවානම් ඒක වඩා විශාල සතුටක් නේද?

 

2. ගේමින් වෙනුවෙන්

Image Source – esportbet.com

මේ තරම් වේතනයක් ගේමර්ස්ලාට ලැබෙන විදි කිහිපයක්ම තියෙනවා. ඒ තමයි විවිධ වූ සන්නාම සහ අනුග්‍රාහකයින් ගේමර්ස්ලා වෙනුවෙන් කරන වියදම. මේ වෙද්දි සාමාන්‍යයෙන් ‘ඩිෆෙන්ස් ඔෆ් ද ඒන්ෂන්ට්ස්’ එහෙමත් නැත්තං හැමෝම දන්න ඩොටා 2 ලෝක ශූරතාවයේ ජයග්‍රාහී මුදල ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ලෝක කුසලානයේ ජයග්‍රාහී තරඟ මුදල පවා ඉක්මවා ගිහින් ඉවරයි. ඒතරම් එය ජනප්‍රිය වෙන්නෙ අනුග්‍රාහකයන් නිසා කියලා කියන්න පුළුවන්. කවුද ගේමින්වලට ඉන්න අනුග්‍රාහකයන් කියලා හිතනවානම් පරිගණක, විවිධ වූ තිර, ග්‍රැෆික් කාඩ්, රැම්, වඩා වේගවත් දෘඩ තැටි, මවුස්, ගේමින් ටේබල්, ගේමින් චෙයාස්, ගේමින් හෙඩ්ෆෝන්ස් ඇතුළු සියළු දේ අතිශය වේගවත්ව යාවත්කාලීන වෙමින් තියෙද්දී සහ ඒ වෙනුවෙන්ම අවධානය යොමු කරන පිරිස් එකම මොහොතක ලෝකය පුරා සිට එකම තරඟාවලියක් දෙස නරඹද්දී, එතැනට මේ අනුග්‍රාහකයන් එන්නෙ නැතුව ඉඳියිද?

 

3. එතැනින් නොනැවතී

Image Source – polygon.com

මේ විදියට තරඟවලට අමතරව ගේමර්ස්ලා මුදල් හොයන විදි බොහෝමයක් තියෙනවා. ඉන් පළමු දේ තමයි Twitch කියන්නෙ. ගේමර්ස්ලා තමුන් ක්‍රීඩා කරන ගේම් එක Twitch හරහා ලයිවු ස්ට්‍රීම් කරනවා. ගේමින් ලෝලීන්ට ඉන් හැකියාව ලැබෙනවා තමුන් කැමතිම ක්‍රීඩාව දක්ෂ ලෙස ක්‍රීඩා කරන අයුරු මාසයකට ඩොලර් 5ක් ගෙවලා නරඹන්න. සාමාන්‍යයෙන් මෙයින් ඩොලර් ලක්ෂයක් පමණ ක්‍රීඩකයන් මසකට උපයන බව කියනවා. නමුත් ඒ වෙනුවෙන් විවිධ වූ දක්ෂතා දක්වමින් ඒ ක්‍රීඩකයන් තමන්ගේ ලයිවු ස්ට්‍රීමින් කිරීමට පරිශීලකයන් අද්දවා ගත යුතු වෙනවා. එසේම එහිදී තමන් යම් ක්‍රීඩකයෙකුගේ හැකියාවට කැමතියි නම් එයට උදවුවක් විදියට ඔවුන්ට මුදල් පරිත්‍යාග කිරීමේ හැකියාව තිබෙනවා. එසේම බොහෝ ක්‍රීඩකයන් තමන්ගේ Twitch ලයිව් ස්ට්‍රීමිං සෙෂන්ස් පසුව යූටියුබ් වෙත යොමු කර නැවතත් මුදල් උපයන බවත් දැකිය හැකියි.

 

4. ගේමර්ස් රෙකග්නිෂන්

Image Source – polygon.com

මේ විදියට ගේමර්ස්ලා රෙකග්නිෂන් හදාගෙන මූණ කට ප්‍රසිද්ධ කරගත්තට පස්සෙ ඔවුන්ට තවත් මුදල් උපයන මාර්ග හැදෙනවා. ඒ තමයි අනුග්‍රාහකයන්. ඔවුන්ගෙ ලයිවු ස්ට්‍රීමිංවලදී ගේමින් පුටුවට, මවුස් එකට ඇතුළුව වීඩියෝවට හසුවෙන සියළු දේට පාහේ අනුග්‍රාහකයන් මුදල් යොදවනවා. ඒ වගේම ඇතැම් ගේමර්ස්ලාව ප්‍රචාරණ කටයුතු වෙනුවෙනුත් සෘජුව යොදාගන්නා අවස්ථා දකින්න පුළුවන්. එතැනිනුත් නොනැවතී ගේමර්ස්ලා විසින් තමන්ගේ මර්චන්ඩයිස් මිලදීගන්නට නිකුත් කරන අවස්ථාත් දකින්නට පුළුවන්. බොහෝවිට ටීෂර්ට්, මවුස් පෑඩ් වැනි උපාංග තමන්ගේ ලෝගෝ සමග ඔවුන් නිකුත් කරනු දැකිය හැකියි.

 

5. තාක්ෂණය අලුතෙන්

Image Source – polygon.com

මේ වෙද්දි ලෝකයේ අලුතෙන් නිපදවෙන තාක්ෂණය ගේමින් වෙනුවෙන් අනුගත කරගන්නටත් කටයුතු යෙදිලා තියෙන විදිය දුටුවාම මේක තවදුරටත් විනෝදය වෙනුවෙන් පමණක් කරන දෙයක් නොව වෘත්තීය වටිනාකමකුත් එකතු වුණු දෙයක් බව පසක් වෙනවා. පසුගිය කාලයේ කරලියට පැමිණි ඔග්මන්ටඩ් රියැලිටි සහ වර්චුවල් රියැලිටි තාක්ෂණයන් පවා වීඩියෝ ගේමින් වෙනුවෙන් යොදාගෙන, ඒ වෙනුවෙන් නොයෙක් වූ ප්‍රධාන පෙළේ සමාගම් මේ වෙද්දි නිෂ්පාදන එළිදක්වා අවසානයි. මේ විදියට තාක්ෂණය අලුතෙන් අත්හදා බැලෙමින් ගේමින් ඉදිරියට යද්දී තවදුරටත් මෙය කුඩා වුන්ගේ දෙයක් නොවෙන වග බොහෝදෙනෙකුට වැටහෙන්නට ගන්නවා.

 

6. ගේමින් වෙනුවෙන්ම

Image Source – blurbusters.com

සාමාන්‍යයෙන් මනුස්සයෙක් ස්මාට්ෆෝනයක්, ලැප්ටොප් උපාංගයක් මිලදී ගන්නෙම කටයුතු රාශියක් කරගැනීමේ අභිප්‍රායෙන්. ඒත් එක් නිශ්චිත කටයුත්තක් වෙනුවෙන්ම ස්මාට්ෆෝනයක් නිකුත් වෙද්දි ඒ ගැන තාක්ෂණික ලෝකයේ වැඩි අවධානයක් යොමුවෙන එක නවත්වන්නට බැහැ. මේ විදියට Razer Phone, ZTE Nubia, Asus Rog, Xiaomi BlackShark වගේ උපාංග ගේමින්ග් ස්මාට්ෆෝන ලෙස නිකුත් වී අවසානයි. ලැප්ටොප් වෙනුවෙනුත් තත්ත්වය එලෙසමයි. මේ තත්ත්වය නිසාම ගේමින්වල ඇති වැදගත්කම සහ විශාල සමාගම් ඒ වෙනුවෙන් සිද්ධ කරන ආයෝජනයන්ගේ තරම ඔබට ලේසියෙන්ම පැහැදිලි වෙනවා ඇති.

 

7. ගේම් ගැහිල්ල කාලකණ්ණියිද?

Image Source – trendingallday.com

කාලකණ්ණියා කියන වචනයේ තේරුම නිස්කාරණේ කාලය නාස්ති කරන්නා කියන එක. ඉස්සර ගේමින් කියන්නෙ විනෝදය වෙනුවෙන් සිද්ධ කරන දෙයක් විතරයි. නමුත් මේ වෙද්දි ගේමින් කියන්නෙ වෘත්තියක්. කවුරුවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කාලකණ්ණියා කියන්නෙ නෑ වගේම තවමත් ඉහළින් මුදල් හම්බකරන තැනට නොගියත් ගේමර් කෙනෙකුටත් කාලකණ්ණියා කියන්න බැහැ. මේ වෙද්දි නින්ජා වගේ ක්‍රීඩකයො කාමරේට වෙලා ෆෝට්නයිට් ක්‍රීඩා කරලා මාසයකට ඇමරිකානු ඩොලර් ලක්ෂ 6කට අධික මුදලක් උපයනවා. ෂ්‍රවුඩ් වැනි ක්‍රීඩකයෝ PUBG ක්‍රීඩා කරලා එවැනි මුදලක් උපයනවා. බොහෝ සමාගම් තරඟවලට ඉදිරිපත් කරන්නට මෙවැනි ක්‍රීඩකයන්ව වැටුපක් ගෙවා යොදවාගන්නවා. ඒ නිසාම තවදුරටත් ගේමින් කියන වෘත්තිය දියුණු වෙනවා. ඒ නිසාම ගේමින් වෙනුවෙන් දක්ෂ දරුවන් එයින් මුදවන එක ඔවුන්ගෙ අනාගතයට කරන තරමක් විශාල නරක බලපෑමක් ද කියන ප්‍රශ්නයත් මතුවෙනවා.

Cover Image Source – sporttechie.com/ deadicatedfans.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *