පහුගිය දවස්වල සිරිපාදේ නම වෙනස් කරන්න උත්සාහයක් ගත්තා කියලාලොකු ආන්දෝලනයක් රටේ ඇති වුණා. සිරිපාද කන්ද අපේ රටේ සිංහල බෞද්ධයන්ගේ පූජනීයත්වයට ලක් වුණු එකම කන්ද විදිහට සලකන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ හින්දු බැතිමතුන් ශ්‍රී පාදයේ පිහිටා තිබෙන්නේ ශිව දෙවියන්ගේ අඩි සලකුණ කියලා විශ්වාස කරනවා. ඒ වගේම සමහර මුස්ලිම් බැතිමතුන් සමනළ කන්දේ පිහිටලා තියෙන්නේ ලෝකයේ පළමු මිනිසා වුණු ආදමගේ අඩි සලකුණ කියලා විශ්වාස කරනවා. මේ මතය හින්දා තමයි ඉංග්‍රීසි භාෂාවෙන් ශ්‍රී පාදය සඳහා භාවිතා වෙන “ඇඩම්ස් පීක්” කියන නම ඇවිල්ලා තියෙන්නේ. නමුත් පහුගිය දවස්වල මස්කෙළිය ප්‍රාදේශීය සභාව අත්තනෝමතික විදිහට ශ්‍රී පාදයේ නම වෙනස් කිරීමට තැත් කිරීම නිසා නොසිතූ විරූ නොසන්සුන්තාවයක් රටේ ඇති වුණා. අවසානයේදී සබරගමු පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගයකින් ඒ වැඩ පිළිවෙළ නතර කළා. අපේ රටේ පූජනීය කන්ද පිළිබඳව ඇතිවුණු මේ සංවාදයත් එක්කම අපි හිතුවා ලොකේ පුරා තියෙන පූජනීය කඳු කීපයක් පිළිබඳව සටහනක් තියන්න.
1. කෛලාශ කූටය
හින්දු බැතිමතුන්ගේ අති මහත් ගෞරවයට ලක් වුණු කෛලාශ කූටය සැලකෙන්නේ ශිව දෙවියන්ගේ වාසස්ථානය විදිහටයි. මීටර් 6,638ක උසින් යුක්ත කෛලාශය හිමාලය කඳුවැටියේ කයිලාශ් කඳු පන්තියේ පිහිටි උසම කන්ද වෙනවා. උඩ කියපු විදිහට හින්දු සාහිත්‍යයේ වගේම බෞද්ධ සාහිත්‍යයේත් විශේෂයෙන් ජෛන සාහිත්‍යයේත් කෛලාශය පිළිබඳව සඳහන් වෙනවා. සමහර ජෛන මූලාශ්‍ර වලට අනුව ඔවුන්ගේ පළමු ශාස්තෘවරයා මෝක්ෂය ලබාගෙන තියෙන්නේ මෙම කඳුවැටිය මතදි. ඒ නිසා හින්දු, බෞද්ධ සහ ජෛන බැතිමතුන් වාර්ෂිකව කෛලාශය පැදකුණු කිරීමේ චාරිත්‍රයක නිරත වෙනවා. මේ අය කිසිවිටෙකත් කෛලාශය තරණය කිරීමට උත්සාහ කරන්නේ නෑ, මොකද එහෙම කළොත් ඒක කන්දේ පූජනීයත්වය කෙලෙසීමක් කියලා ඒ අය විශ්වාස කරන නිසා.
2. ඔලිම්පස් කන්ද
ග්‍රීසියේ උසම කන්ද වුණු ඔලිම්පස් කන්ද පුරාණ ග්‍රීකයෝ සැලකුවේ සියුස් ඇතුළු දේව මණ්ඩලයේ වාසස්ථානය විදිහට. අද වෙනකොට පුරාණ ග්‍රීක දේව වන්දනය ග්‍රීසියෙන් අතුරුදහන් වෙලා තිබ්බත් ග්‍රීක මිථ්‍යා කතාවලට ප්‍රියකරන සෑම දෙනෙක්ම ඔලිම්පස් කන්දට විශේෂ ආකර්ෂණයක් දක්වනවා. ඒ වගේම අපේ රටේ ශ්‍රී පාදය වගේම ඔලිම්පස් කන්ද ජෛව විවිධත්වය අනූන තැනක්. ඒ වගේම මුල් කාලයේ විවිධ ග්‍රීක දෙවිවරුන් වෙනුවෙන් අනුස්මරණ ස්මාරක පැවතියත් අද වන විට ග්‍රීක ඕතඩොක්ස් ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ සිද්ධස්ථාන ඔලිම්පස් කන්ද වටේ පිහිටා තියෙනවා.
3. ෆූජි කන්ද
හිමෙන් වැසුණු කඳු මුදුනක් සහිත මේ සුන්දර කන්ද තවමත් සක්‍රීය ගිනිකන්දක්. ෂින්ටෝ ආගමිකයන් වගේම ජපන් බෞද්ධයෝත් ෆූජි කන්ද පූජනීයත්වයෙන් සලකනවා. ෂින්ටෝ බැතිමතුන් තමන්ගේ දෙවියෙකුගේ වාසස්ථානයක් ලෙස මෙම කන්ද සලකන අතරේ බෞද්ධයෝ තමන් අදහන බුදුවරයෙකුගේ වාසස්ථානයක් ලෙස මෙම කන්ද සලකනවා. හැම අවුරුද්දකම ජුනි ඉඳන් අගෝස්තු දක්වා කාල පරිච්ඡේදය තුළ මෙම කන්ද තරණය කිරීමට බැතිමතුන් වගේම විනෝදකාමීනුත් එක විදිහට උනන්දු වෙනවා.
4. නේබෝ කන්ද
නේබෝ කන්ද පිහිටා ඇත්තේ ජෝර්දානයේ. ශුද්ධවූ බයිබලයේ කියවෙන විදිහට මෝසෙස්ට අවසානයේදී පොරොන්දු වූ දේශය දැක බලා ගන්න පුළුවන් වුණේ මේ කන්ද මුදුනෙදි. සමහර මතවලට අනුව මෝසෙස්ගේ සිරුර භූමිදානය කරලා තියෙන්නෙත් මේ කන්ද ආශ්‍රිතව. සමහරු කියන විදිහට මේ කන්දෙන් හොයාගෙන තියෙන නටබුන් වෙලා තියෙන බයිසැන්ටියම් ලක්ෂණ තියෙන පල්ලිය හදලා තියෙන්නේ මෝසෙස්ගේ සිරුර භූමිදානය කරපු තැන.මේ නිසා විවිධ අවස්ථාවල පාප්වරුත් මේ කන්ද තරණය කිරීම සිද්ධ කරලා තියෙනවා.
5. ගිජුකුළු පව්ව
පුරාණ රජගහනුවර වටා පිහිටලා තිබුණ පර්වත පහෙන් එකක් වුණු ගිජුකුළු පව්වට එම නම ලැබිලා තියෙන්නේ විහිදාගත් පියාපත් සහිත ගිජු ලිහිණියෙකු වගේ ස්වරූපයක් මේ පර්වතයේ තියෙන හින්දා. බුදුරජාණන්වහන්සේ රජගහනුවර වැඩවාසය කළ බොහෝ අවස්ථාවල ගිජුකුළු පව්ව ආශ්‍රිතව ලෙන්වල වැඩ වාසය කළ බවට සූත්‍ර පිටකයෙන් බොහෝ සාක්ෂි ලැබෙනවා. ඒ වගේම සැරියුත්, මුගලන්, මහා කාශ්‍යප ආදී මහ රහතන් වහන්සේලාත් ගිජුකුළු පව්ව ආශ්‍රිතව වැඩ වාසය කරලා තියෙනවා. ඒ නිසා රජගහනුවර වන්දනාමාන කිරීමට යන බොහෝ ශ්‍රී ලාංකීය බැතිමතුන් ගිජුකුළු පව්ව දැක බලා ගැනීමට උනන්දුවක් දක්වනවා.
6. උලූරූ කන්ද
ඕස්ට්‍රේලියාවේ පිහිටලා තියෙන උලුරූ කන්ද, ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් ඒ කියන්නේ ඇබෝරිජන්ස්වරුන්ගේ වන්දනාමානයට පත් වූ කන්දක්. වැලි කන්දක් වුණු උලූරු කන්දේ ඇති වැලිවල රසායනික සංඝටක නිසා සූර්‍යාලෝකයත් එක්ක දවස පුරා කන්ද දර්ශනය වන්නේ විවිධ පාටවලින්. මේ නිසා ඡායාරූපකරණයට ලැදි බොහෝ පිරිසක් උලූරූ කන්ද තමන්ගේ කැමරාවට හසු කරගන්න උත්සුක වෙනවා. සුදු ජාතිකයන් විසින් අයර්ස් රොක් විදිහට උලූරූ කන්ද හැඳින්වුවත් අද වෙනකොට ඒ කන්දේ දේශීය නාමය වුණු උලුරූ කන්ද කියන වචනේ පාවිච්චි කරන්න ඕස්ට්‍රේලියානු රජය නිල වශයෙන් අවසර දීලා තියෙනවා.
7. අල් සෆා සහ අල් මරුවා
හජ් සහ උම්රා සමයන්වලදී ඉස්ලාම් බැතිමතුන් මක්කම අසල පිහිටලා තියෙන අල් සෆා සහ අල් මරුවා කියන කඳු වැටි දෙක අතර හත් වරක් එහා මෙහා ඇවිද යාම සිදු කරනවා. ඉස්ලාම් බැතිමතුන් ඉන් සංකේතවත් කරන්නේ කෝරානයේ එන එක්තරා සිදුවීමක්. ඒ තමයි ඔවුන්ගේ අනාගත වක්තෘවරයෙක් වුණු ඊශ්මායෙල් වෙනුවෙන් වතුර සොයමින් ඔහුගේ මව සිදුකළ වෙහෙසකර ගමන. අවසානයේදී දෙවියන් වහන්සේගේ දූතයා ඇයට ජලය ඇති ස්ථානයක් පෙන්වනවා. ඒ ජලය තිබූ ස්ථානය අද වෙනකොට සම් සම් ළිඳ විදිහට හඳුන්වනවා.
මේ ලොව පුරා පූජනීයත්වයට පත් වුණු කඳු අතරින් කීපයක් විතරයි. ඔයා දන්න වෙනත් පූජනීයත්වයෙන් සලකන කඳු පිළිබඳව කමෙන්ට් සෙක්ෂන් එකේ අපිට කියන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply