ඇත්තටම ලෝකේ මකරු සිටියානම් අහන්නට වෙන මකර පුවත්

මකරු යනු සාහිත්‍යයේ සඳහන් මනඃකල්පිත චරිතයකි. එහෙත් මකරුන් ඇතුළත් කතා මෙන්ම චිත්‍රපටිද සුලභය. මෙම සතුන් වැනි ජීවීන් ආදිකල්පීය ඩයිනෝ යුගයේ ජීවත් වූවයි සැළකේ. කෙසේ වෙතත් මකරුන් අද සිටියානම් අහන්නට වෙන පුවත් ගැන අපිට සිතීමට එයින් තහනමක් නැත. ඇත්තටම එහෙම වුණොත් මොනා වෙයිද? අපි ටිකක් බලමු නේද?

 

1. මකර මිනිස් ගැටුම් සහිත මායිම් ගම්මාන

මකර මිනිස් ගැටුම් උත්සන්න වීමෙන් මකරුද මිනිස්සුද අපහසුතාවට පත් වෙති. මකරු දක්ෂයෝය. උන් කැලෑවට දමා වටකර තනන වැට ගලවාගෙන යන්නට තරම් ගිනි පිඹති. ගෙවල් වලට ගොස් වහල සහ ගෙදර ගින්නෙන් හලු කර ඉතිරි වෙන ධාන්‍ය සහ සතුන් පැහැරගන්නට මකරු සමත්ය. මකර මිනිස් ගැටුමට විකල්ප ලෙස වැට ඉදිකිරීම්, අගල් දැමීම් ආදිය යෝජනා වුවත් නිතරම මිනිස්සුද මකරුන්ට හිරිහැර කරන නිසා මකරුන්ගේ ජීවිතය තවත් අමාරු වී ඇත.

 

2. සිඟමන් යදින මකරු

මකරුන්ට කතා කරන්නට හැකි වුවත් මොළයක් නැත. එහෙත් රෙකෝඩින් එකක් මෙන් කතාකරන්නට හැකිය. එය ප්‍රයෝජනයට ගත් ඇතැමෙක් මකරු සිඟමන් වල යොදවා මුදල් හම්බ කරති. පෙර දිනක බසයකට ගොඩ වූ නාකි මකරෙකු “ මහත්තයෝ ඉස්සර මම ගිනි පිඹින්න තැන් තැන්වලට ගිහින් පිඹලා යමක් කමක් උපයාගෙන කෑවා. දවසක් ගිනි පිඹින්න ගහකට ගොඩ වුණාට පස්සේ ඒකෙන් වැටිල කට ඇතුළේ තියෙන ගිනි ගල අවුල් ගියා. ගහත් කඩාගෙන බිමට වැටිලා මේන්න මේ කොඳු ඇටේ දෙකට කැඩුණා මහත්තයෝ. දැන් මට රස්සාවක් කරගන්න විදිහක් නැහැ. ඉතින් මේ නාකි මකරාට අත පය තියාගෙනත් හිඟාකන්ඩ එනවා කියලා බනින්න එපා මහත්තයෝ. අපිටත් මකර පැටවු ඉන්නවා. අපි එනකල් බලාගෙන ඉන්නවා” ආදී ලෙස හිඟමන් යදිමින් සිටින මකරු දැන් එක්තරා වදයක් වී තිබේ.

 

3. ඩ්‍රැගන් අයිතිවාසිකම් සුරැකීම් සංවිධාන

මකර මිනිස් ගැටුම සහ මකරුන් විවිධ රාජකාරි සඳහා යෙදවීම නිසා මකර අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි මකර අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන පවසති. ඇතැම් මුදල් ඇති අය මකරුන් ඇතිකරන්නට පටන් ගත්තත් මකර නඩත්තුව නිසි ලෙස නොකරන බව කියන ඔවුහු මකරුන් ඇති කිරීම ගැන රජය මීට වඩා අවධානය යොමු කළ යුතු බවත් කියති. මකර හිමිකරුවන් මකරුන්ට පහර දෙන බවත් ඒ නිසා කෝප වූ මකරුන් ගිනිපිඹීම නිසා දේපළ හානි වූ විට අවසානයේ වැරදිකරුවන් වන්නේද මේ අසරණ මකරුන් බවත් මකර හිමිකම් ගැන පෙනී සිටින මකරන්ද සංවිධානය තදින්ම කියා සිටී.

 

4. ගිනි ලබාගැනීමට කුඩා මකරු

කෑම්පින් එකකට මකරෙක් ගෙනගියොත් එහි වටිනාකම වැඩිය. අතරමන් වුවහොත් හයික් එකේදී මකරා ඉහළට ගොස් පාර පෙන්වයි. එසේම රෑට කෑම්ප්සයිට් එකේ යම් අනතුරුක් වුවහොත් ඒ සඳහා මකරා උදව් කරගත හැකිය. වරක තඩි වල් ඌරකු කූඩාරමකට කඩා පනින්නට ගිය තැන මකරා ඌරා බිය කොට පළවා හැර තිබුණි. තවත් වරක ගිනි අවුලුවන්නට විදිහක් නැති තෙත දර ගොඩක් මකරා ලවා ගිනි පිඹ අවුළුවාගත් ගත් කෑම්ප්කරුවෝ කෑම්ප් කාර්යය සාර්ථක කරගෙන තිබුණි. සුරතල් සතෙකු ලෙස වටිනා මේ මකරා චාරිකා ගෙන යෑමේදී මකරා කැමති මකර බිස්කට් හෝ මකරු පෝෂණය කරන ටොනික් රැගෙන යෑම කළ යුතුමය. නැතහොත් මකරු බඩගිනි නිවාගැනීමට කුඩා දරුවන් පවා ආහාරයට ගත හැකිය.

 

5. හීලෑ මකරු හිඟ වීමේ ගැටළුව

දේවාල උත්සව වලට මකරු ගිනි පිඹීමත් නැටවීමත් පුරාණ චාරිත්‍රයකි. එය ඇතැම් රටවල සංස්කෘතික අංගයක්ද වේ. ඒත් ගිනි පිඹීමට හීලෑ මකරු නැති වීම සංස්කෘතික නිලධාරීන් අපහසුතාවයට පත් කර තිබේ. හීලෑ මකරු සහ හීලෑ මකරියන් ලිංගිකව හැසිරීමෙන් පැටවුන් ගැනීමට බොහෝ කාලයක් බිත්තර රැක්කවිය යුතුය. එවිට හීලෑ මකරුන්ගෙන් වැඩ ගන්නා අයට සැර පාඩුවකි. එබැවින් නිතරම මකරු කැලෙන් අල්ලා ගැනීමට මකර හිමිකරුවෝ ක්‍රියා කරති.

 

6. ඩ්‍රෝන යානා පාලනයට

අහසේ සැරිසරන ඩ්‍රෝන යානා පැමිණි කල කුඩා කොල්ලෝ මෙන්ම වෙනත් වැඩිහිටියෝද ඒවායෙන් අයුතු වැඩ ගන්නට ගියහ. දකින්නට බැරි තැන් දකින්නට ඩ්‍රෝන හරහා පුළුවන් යැයි කී කල මිනිස්සු නාන ළිං වල ස්ත්‍රීන් නාන අයුරු බැලීමටද ඩ්‍රෝන යවා තිබුණි. මේ වනචර ඩ්‍රෝන හිමිකරුවෝ අල්ලන්නට පොලිසියට තාක්ෂණය පාවිච්චි කරන්නට ඕනා විය. එහෙත් ඩ්‍රෝන යානාවක් යවන තෙක් ඒ මහා ඩ්‍රෝන පාලන තුවක්කුව තබා ගැනීමත්, ක්‍රියා කරවීමත් වදයකි. මකරෙක් පුරුදුකරගත් විට ඩ්‍රෝන යානය බිම දැමීමට පමණක් නොව එක් විධානයක් දීමෙන් එවෙලේම දවා හලු කිරීමටද මකරුන්ට හැකිය. පුහුණු කරන ලද මකරු ඩ්‍රෝන යානා වලට යෙදීමෙන් මකර සම්පත අනතුරට ලක් වෙන බවට මත පළ වුවත් පුහුණුවෙන් පසු ඩ්‍රෝනයේ තටු වලට පමණක් ගිනි පිඹීම ප්‍රමාණවත් නිසා මකරාට හානියක් නැතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

 

7. මකර ටැක්සි

මකරු පිට නැගී යෑමට මකර ටැක්සි සේවාවක් හඳුන්වා දුන් නමුත් මකරුන් කුපිත වූ විට ගිනි පිඹීම පාලනය කරගත නොහැකි නිසා ඒ කාර්යය අසාර්ථක විය. මකරුන් පිට යමක් තැබූවිට උන් බර නිසා අදිමදි කරති. එහෙත් ආදරයෙන් මකරා හසුරුවා උගේ පිට යන්නට සමත් අයද වෙති. කෙසේ වෙතත් මකර ටැක්සි සේවාව හිටිවනම නවත්වාලීමට සිදු වූයේ නාඹර මකරෙකු මකර කෙල්ලක දැක අහසේදී ආලිංගන පෑමට ගොස් පවුල් දෙකක් බිමට වැටී සිදුවන්නට ගිය අනතුර නිසාය. එතැනදී නූලෙන් ඒ පවුල් බේරුණත් මකරුන්ව ටැක්සි සේවාවට යොදාගැනීමට වැට බැඳුණි.

 

චිත්‍රපටිවල පෙනෙන ලෙස මකරා විශාල සතෙක් වී නම් සහ ඌ පියාඹන එකෙක් වීනම් අනිවාර්යයෙන් මකරා යනු මිහිපිට මිනිස්සු ආශාකරන සතෙක් බවට ඉබේම පත් වේ. එහෙත් මකරු යනු ගිනි පිඹින වර්ගයක් බැවින් ඒ ගැන මිනිස්සුන්ට වැඩි සැළකිල්ලක් දක්වන්නට සිදු වේ. ඉතින් මකරු හිටියනම් මේ ලෝකේ ලස්සන වෙයි නේද? මොනාද ඔයාලට හිතෙන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *