ජනප්‍රිය සහ බලගතු කාන්තාවන්ගේ අප්‍රකට සැමියන්

“මහා පුරුෂයෙකුට බිරිඳක්ව” කියන පොත ලියන්නේ ලියෝ ටෝල්ස්ටෝයිගේ බිරිඳ වුණු සොෆියා ටෝල්ස්ටෝයි. එතුමිය කතා කරන්නේ මහා ලේඛකයෙක් වුණු ලියෝ ටෝල්ස්ටෝයි එක්ක තමන් ගත කරපු ජීවිතය. මේ වගේම ගොඩක් බිරින්දෑවරුන්ට වෙන්නේ තමන්ගේ සැමියා සමාජයේ ප්‍රමුඛස්ථානයට පත්වෙද්දි දෙවෙනි තැනට යන්න. සමහර කාන්තාවෝ ඒක කැමැත්තෙන්ම කරනවා. සමහරු සම්ප්‍රදාය නිසා එහෙම ඉන්නවා. සමහරු වෙන කරන්න දෙයක් නැති කමට අකමැත්තෙන් එහෙම ඉන්නවා. තවත් සමහරු කැරැලි ගහනවා. ඒත් සමාජයේ අතරින් පතර මේකේ අනිත් පැත්ත වෙන අවස්ථා දැකගන්න හම්බ වෙනවා. ඒ කිව්වේ බිරිඳ මොනයම් හෝ හේතුවක් නිසා සමාජයේ ප්‍රමුඛස්ථානයට යනවා සහ ඒ නිසාම මහත්තයා සහායක චරිතයකට කොටු වෙනවා. හරියටම කියනවා නම් “අභිමාන්” චිත්‍රපටියේ වගේ කතාවක්. අපි දැන් මේ කතාකරන්නේ මේ වගේ බිරිඳගේ බලය හෝ ජනප්‍රියත්වය ඉදිරියේ සහායක චරිත රඟපාන සහ රඟපාපු සැමියන් ගැන.

 

1. එඩින්බරෝහි ආදිපාද පිලිප් කුමාරයා

Image Source – businessinsider.com

කවුරුහරි තාත්තා කෙනෙක්ට තමන්ගේ වාසගම තමන්ගේ ළමයින්ට දෙන්න බැරි වෙන අවස්ථාවක් ආවොත් ඒ තාත්තට මොන වගේ දැනේවිද? ඒ වගේ තත්ත්වෙකට මූණ දෙන්න වුණු කෙනෙක් තමයි, පිලිප් කුමාරයා. දෙවෙනි එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා. පිලිප් කුමාරයාගේ වාසගමට ජර්මන් සම්බන්ධයක් තිබ්බ නිසා එළිසබෙත් රැජින තීරණය කරනවා තමන්ගේ වාසගමම තමන්ගේ දරුවන්ටත් පාවිච්චි කරන්න (ඊට ගොඩක් කාලෙකට පස්සේ වාසගම පොඩ්ඩක් වෙනස් කරනවා). මේ වගේ මදිපුංචිකම් වුණාට පිලිප් කුමාරයා තමන්ගේ බිරිඳගේ වැඩකටයුතුවලට හොඳ සහයකයෙක් වෙනවා. ඇතැම් අවස්ථාවල එක එක කටකතා පැතිරුණත්, ඒ දෙන්නගේ විවාහ ජීවිතේට දැන් අවුරුදු 71ක්.

 

2. ඩෙන්මාර්කයේ හෙන්රි කුමාරයා

Image Source – vanityfair.com

ඩෙන්මාර්කයේ රජ කරන්නේ රැජිණක්, එතුමියගේ නම දෙවෙනි මාග්‍රිත්. එතුමියගෙ ස්වාමිපුරුෂයා වුණු හෙන්රි කුමාරයා 2018 පෙබරවාරි මාසයේදී මිය යනවා. නමුත් ඔහු තමන්ව ඩෙන්මාර්ක රාජකීයයන්ගේ සුසාන භූමියේ මිහිදන් කරන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. මේකට හේතුව වෙන්නේ ඔහුට ඔහුගේ බිරිඳටත් වඩා ඩෙන්මාර්ක් රජය සමග තිබ්බ ගැටලු. ඔහු දිගින් දිගටම චෝදනා කරන්නේ රැජිනගේ ස්වාමියා විදිහට තමන්ට හිමි නිසි තැන නොලැබුණා කියලා. ඔහු තර්ක කරනවා තමන්ගේ බිරිඳව රැජිණ විදිහට පිළිගන්නවා නම් තමන්ව රජු විදිහට හඳුන්වන්න ඕන කියලා. ස්ත්‍රීන්‍ට සම අයිතිවාසිකම් ලැබීම ගැන ඉහළින් කතා කරන ඩෙන්මාර්කයේ පුරුෂයන්ට සමතැන ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා ඔහු ප්‍රශ්න කරනවා. අවසානයේදී ඔහු මිය යන්නෙත් ඒ ගැන දුකක් හිතේ දරාගෙන.

 

3. ඩෙනිස් තැචර්

Image Source – bt.com

යකඩ කාන්තාව කිව්වොත් ඉතින් මතක් වෙන්නේ මාග්‍රට් තැචර්. මාග්‍රට් රොබර්ට්ස්ව විවාහයෙන් පස්සේ මාග්‍රට් තැචර් කරන්නෙත් ඇයගේ දේශපාලන ගමනට යෝධ සවියක් වෙන්නෙත් ඩෙනිස් තැචර්. ඩෙනිස් තැචර් පළවෙනි විවාහයෙන් දික්කසාද වෙලා සිත්තැවුලෙන් ඉන්න කාලෙක තමයි මාග්‍රට්ව මුණ ගැසෙන්නේ. ඒ නිසාම ඇයටත් ඒ විවාහයටත් ඔහු දැඩි ලෙස කැපවෙලා තියෙනවා. ඒ වගේම ඔවුන් දෙදෙනාගේ කටයුතු එකිනෙකාට බාධාවක් නොවෙන්න දෙදෙනාම පුළුවන් තරම් උත්සාහ කරලා තියෙනවා. නමුත් එක්තරා අවස්ථාවක තනිවම සියලු කටයුතු කරගන්න සිදුවීම නිසා ඔහු ස්නායු ආබාධයකට ලක්වෙලා සුව වීම සඳහා මාස කීපයක් දකුණු අප්‍රිකාවේ ගත කරලා තියෙනවා. ඒ කාලය තමයි ඔවුන් දෙදෙනාගේ විවාහයේ ශෝකජනකම කාලය විදිහට හඳුන්වලා තියෙන්නේ. නමුත් බොහෝ දෙනාගේ අදහස වන්නේ ඩෙනිස් තැචර් කියන්නේ තමන්ගේ බිරිඳගේ සාර්ථකත්වය වෙනුවෙන් උපරිමයටත් වඩා එහා ගිහින් සහයෝගය දීපු කෙනෙක් විදිහට.

 

4. මයිකල් ඒරිස්

Image Source – pinterest.com

අවුන්ග් සාන්ග් සුකී ගැන ඔය හැමෝම දන්නවා ඇතිනේ. එතුමිය වැඩි කාලයක් ගතකළේ බුරුමයේ හමුදා පාලනයේ නියෝගය යටතේ නිවාස අඩස්සියේ. ඇගේ සැමියා වුණු මයිකල් ඒරිස් ජීවත් වුණේ එංගලන්තයේ. 1999 දී මයිකල් පිළිකා රෝගයෙන් මියයනවා. ඊට පෙර ඔහු පෞද්ගලිකවත් විවිධ ජාත්‍යන්තර සංවිධාන හරහාත් ඉල්ලීම් කරනවා තමන්ගේ බිරිඳව බලන්න එන්න වීසා ලබාදෙන්න කියලා. නමුත් බුරුම මිලිටරි ආණ්ඩුව ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට ඔවුන් අපූරු යෝජනාවක් කරනවා, ඒ තමයි අවශ්‍ය නම්  සුකීට මයිකල්ව බලන්න විදේශ ගත වෙන්න පුළුවන් කියලා. ඒත් ඔවුන්ගේ යටි අදහස විදේශගතවන තමන්ට නැවත තමන්ගේ මව්බිමට එන්න නොදීම කියන බව දැනගන්න සුකී ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. මේ නිසා සුකීට මයිකල්ගේ මළගමටවත් සහභාගී වෙන්න ලැබෙන්නේ නෑ.

 

5. ඩැනියෙල් මොඩර්

Image Source – usmagazine.com

ජුලියා රොබර්ට්ස් කියන්නේ හොලිවුඩයේ ඉන්න ජනප්‍රිය වගේම දක්ෂතම නිළියක්. ඇගේ නම විවිධ කාලවලදි විවිධ නළුවන් සමග ඈඳිලා තිබිලා තියෙනවා. ඒ වගේම ඇගේ පළමු විවාහයත් බිඳ වැටෙනවා. ඇයට එක්තරා චිත්‍රපටියකදි කැමරා ශිල්පියෙක් මුණ ගැහෙනවා. ඔහු ඒ වනවිට විවාහකයෙක්. නමුත් ඒ බැඳීම් ඒ දෙන්නාගේ ආදරයට බාධාවක් වෙන්නේ නෑ. ඒ කැමරා ශිල්පියා තමන්ගේ විවාහයට සමුදීලා ජුලියාව විවාහ කරගන්නවා. දැන් ඔවුන් දෙදෙනා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා වගේම දරුවන් තුන්දෙනෙක්ගේ දෙමව්පියන්. මේ කැමරාකරුගේ නම ඩැනියෙල් මොඩර්.

 

6. ශ්‍රීරාම් නේනෙයි

Image Source – twitter.com

1999 වසරේදි ලැබුණු එක පුවතකින් මුලු ඉන්දියාවම කැලඹීමකට ලක්වුණා,(සමහරවිට මේක කියවන ඔයාත් ලංකාවේ වුණත් ඒ විදිහටම කැලඹෙන්න ඇති) ඒ තමයි බොලිවුඩ් සිනමාවේ සිහින දෙව්දුව මධුරි ඩික්සිත් ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රීරාම් නේනෙයි නම් වෛද්‍යවරයා සමග විවාහ වීම. ඒ වගේම ඇය තමන්ගේ සාර්ථක සිනමා ජීවිතයට තාවකාලික සමුදීමක් කරලා ඔහු සමග ඇමරිකාවේ පදිංචියට ගියා. දැන් ඔවුන් දරුවන් දෙදෙනෙකුගේ දෙමව්පියන්. ලැබෙන ආරංචි මාර්ග අනුව ඒ විවාහ ජීවිතය සතුටින් පිරුණු ස්ථාවර විවාහ ජීවිතයක්.

 

7. ජොයැකිම් සොයර්

Image Source – youtube.com

තමන්ගේ බිරිඳ ඒ රටේ පළවෙනි රාජ්‍ය නායිකාව වෙද්දි දිවුරුම් දීමේ උත්සවයටවත් සහභාගී නොවුණු සැමියෙක් ගැන හිතන්න පුළුවන්ද? රැකියාවෙන් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු වුණු ඔහු ඒ අවස්ථාව විශ්වවිද්‍යාල රසායනාගාරේ රූපවාහිනියෙන් තමයි නරඹලා තියෙන්නේ. ඔහු කීපවතාවක්ම කියලා තියෙනවා තමන්ගේ බිරිඳ නිසා තමන්ට ලැබෙන ප්‍රසිද්ධියට එතරම් තමන් ප්‍රිය කරන්නේ නෑ කියලා. නමින් ජොයැකීම් සොයර් වුණු ඔහු තමයි ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කෙල්ගේ ස්වාමිපුරුෂයා. දැන් දින කීපයකට කලින් ඇන්ජලා තමන්ගේ දේශපාලන ජීවිතයෙන් විශ්‍රාම ගැනීමේ කටයුතු ආරම්භ කළා. ඒත් 2021 වෙනකන් ඇය චාන්සලර් ධූරයේ රැඳි ඉඳියි. එතකන් සොයර්ටත් තමන්ගේ බිරිඳ නිසා ලැබෙන ප්‍රසිද්ධිය ඉවසන්න වේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *