හික්කඩුවේ සුමංගල හාමුදුරුවන් ගැන අප්‍රකට කතා

අපේ රටේ පරාධීන යුගය තුළ බෞද්ධ ප්‍රබෝධය වෙනුවෙන් වැඩ කටයුතු කළ භික්ෂූන් වහන්සේලා අතර හික්කඩුවේ සුමංගල හාමුදුරුවන්ට හිමිවෙන්නේ ප්‍රමුඛස්ථානයක්. උන් වහන්සේ විසින් විද්‍යාංකාර පිරිවෙන ආරම්භ කරමින් භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපනය නැවතත් ඉහළ නංවන්න කටයුතු කළා. අද Lifie සටහන උන්වහන්සේගේ ජීවන තොරතුරු පිළිබඳවයි.

 

1. උපන් කේන්දරේ 

1827 ජනවාරි 20 උපත ලබපු හික්කඩුවේ සුමංගල හාමුදුරුවන්ගේ කේන්දරය හදපු ගුරුන්නාන්සේ උන්වහන්සේගේ දෙමව්පියන්ට කියලා තියෙන්නේ මේක මහ කාලකන්නි කේන්දරයක් කියලා. ඒ වගේම  ඔහු කියල තියෙන විදිහට කවදාවත් මේ කේන්දර හිමියාට ඉගෙන ගන්න නම් ලැබෙන්නෙ නෑලු. ආයුෂත් වැඩිය නෑ කියලා තමයි කියලා තියෙන්නේ. මේ ගැන අහපු උන්වහන්සේගේ තාත්තා උන් වහන්සේගේ මෑණියන්ටත් මේ විස්තර කියලා තියෙනවා. නමුත් තමන්ගේ අනිත් දරුවන්ට වගේම මේ දරුවාටත් එක හා සමානවම ඔවුන් දෙදෙනා සලකලා තියෙනවා .

 

2. බෞතීස්මය

උන්වහන්සේ උපත ලබපු කාලයේදී බෞද්ධ දරුවන්ව පවා පල්ලියේ බෞතීස්ම කරපු කාලයක්. ඒ වගේ ම බොහෝ විට විවාහ ලියාපදිංචි කිරීමත් සිදු වුණේ පල්ලිය හරහා. මේ නිසාම ගිහි කාලේදි උන්වහන්සේව නිකුලස් ගුණවර්ධන නමින් පල්ලියේ බෞතීස්ම කෙරෙනවා. මේ බෞතීස්මයෙදී  මඤ්ඤා විදිහට පෙනී සිටින්නේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාගේ මීමුත්තා කෙනෙක් වුණු ප්‍රදිනන්දියස් උබේසේකර මහතායි. තමන්ට කුඩා කාලයේ සිදු වෙච්ච මේ දේ නිසාම වෙන්න පුළුවන් පස්සෙ කාලෙකදි උන්වහන්සේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් වෙනම රෙජිස්ටාර්වරයෙකු පත්කළ යුතුයැයි කියලා හඬක් නගන්නේ.

 

3. මහණ කරපු කේන්දරේ 

උන්වහන්සේ මහණ වෙන්නේ තොටගමුවේ විජයබා පිරිවෙන පිහිටි භූමියේ ඉදිවුණු අලුත් පන්සලේදී. හැබැයි මහණ වෙන දවසේ නම් උන් වහන්සේ මහණ වෙන්න සූදානමින් හිටියේ නැහැ. දිගින් දිගටම නිකුලස් ගුණවර්ධන දරුවා තමන්ට මහණ වෙන්න බැරි බවත්, ගෙදර යා යුතු බවත් කිව්වා. නමුත් ඒ අවස්ථාවේදී උපක්‍රමශීලී වුණු උන්වහන්සේගේ ගුරු හාමුදුරුවෝ දරුවාට පෝය ගේ බැලීමට කතා කර ගෙන ගිහිල්ලා මහණ කළා. පස්සේ කාලෙක දී ගුරු හාමුදුරුවෝ තමන්ගේ හිත මිතුරු හාමුදුරුවරුන්ට ප්‍රකාශ කළේ තමන් මේ තරම් මේ දරුවාව මහණ කරන්න සැලකිලිමත් වුණේ ඔහුගේ කේන්දරය තුළ අසාමාන්‍ය රාජ යෝගයක් තිබෙන නිසා කියලායි. ජාතියක් විදිහට අපේ වාසනාවට උන් වහන්සේගේ කේන්දරය බලපු පළමු පුද්ගලයාගේ අඩු දැනුම නිසා රාජ යෝගය කාලකන්නි යෝගයක් විදියට පෙනිලා තිබ්බා. 

 

4. හික්කඩුවේ හාමුදුරුවන්ගේ ගුරු ගෞරවය 

හික්කඩුවේ හාමුදුරුවන්ට මුල් කාලයේදී උගන්වපු ගුරුවරයෙකු සිවුරු හැරීමෙන් පස්සේ බටුවන්තුඩාවේ ශ්‍රී දේවරක්ෂිත පඬිතුමා යන නමින් ප්‍රසිද්ධියට පත් වුණා. එතුමා හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් සමග විවිධ ශාස්ත්‍රීය පර්යේෂණවලත් නිරත වුණා. සිවුරු හැර ගියත් තමන් වහන්සේගේ ගුරුවරයා පිළිබඳව හික්කඩුවේ සුමංගල හිමියන් තුළ තිබුණේ අසීමිත ගෞරවයක්. බටුවන්තුඩාවේ පඬිතුමා පැමිණෙන විට හික්කඩුවේ සුමංගල හිමියන් ආසනයක වාඩි වී සිටියේ නම් වූ වහාම නැගිට පොත් රාක්කය පරික්ෂා කරන්න පටන් ගත්තා. තමන් වහන්සේ පැවිද්දෙකු නිසා ගිහියෙකු ඉදිරියේ නැගිට සිටීමේ වැරැද්දත්, ගුරුවරයා පැමිණෙන විට ශිෂ්‍යයකු ලෙස වාඩි වී සිටීමේ වැරැද්දත් උපක්‍රමශීලීව මග හරවා ගත්තේ ඒ විදිහට.

 

5. හිරබත් කන්න යන්න ලෑස්ති වුණ හික්කඩුවේ හාමුදුරුවෝ 

වරක් අනගාරික ධර්මපාලතුමා හික්කඩුවේ සුමංගල හිමියන්ගේ නම භාවිතා කරමින් ඉංග්‍රීසි ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් ලිපියක් ආණ්ඩුකාරවරයා වෙත යොමු කළා. මේ ගැන අප්‍රසාදය පළ කරමින් සහ කරුණු පැහැදිලි කිරීමක් එවන ලෙස දන්​වමින් ආණ්ඩුකාරවරයා විසින් නැවතත් හික්කඩුවේ සුමංගල හිමියන් වෙත ලිපියක් යොමු කරනු ලැබුවා. එවකට පැවති නීතිය යටතේ මෙවැනි ආකාරයේ විවේචනය කිරීම් හිරබත් කෑමට පවා හේතුවක් වුණා. මේ ලිපිය ලද වහාම හික්කඩුවේ සුමංගල හිමියන් හිරබත් කෑමට මනස සකස් කර ගත්තා. ඒ වගේම ධර්මපාලතුමාව (එවකට ඩේවිඩ් හේවාවිතාරණ) කැඳවා ඔහුගේ අතේ වැරැද්දක් නොමැති බවත් පැවසුවා. නමුත් අවසානයේදී උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය මහේගොඩ ඥානේශ්වර හිමියන් මැදිහත්ව මෙම තත්ත්වය සමහන් කරනු ලැබුවා.

 

6. දුම්රියේ දී උන්වහන්සේ මුණ පෑ අකරතැබ්බය

වරක් උන්වහන්සේ දුම්රියේ පළමු පන්තියේ මැදිරියක ගමන් කරමින් සිටියදී ස්වදේශිකයෙකු දුම්රියේ පළමු පන්තියේ ගමන් කිරීම නොරිස්සූ වතු පාලකයන් දෙදෙනෙකුගේ විවිධ වාචික හිරිහැරවලට ලක් වුණා. ටිකට් පරීක්ෂකයන් පැමිණි විට බුලත් හපමින් යන මේ මහල්ලා  එළියට ඇද දමනු ඇතැයි ද,  ඔවුන් දෙදෙනා උපහාසයෙන් පැවසුවා. නමුත් දුම්රිය නතර කිරීමේ දී අනිත් දුම්රියේ සිටි එවකට ආණ්ඩුකාරවරයා උන් වහන්සේ දැක වහාම තම දුම්රියෙන් බැස උන්වහන්සේ සිටි මැදිරියට පැමිණ වන්දනා මාන කොට සතුටු සාමීචියේ යෙදුනා. මේ  සිදුවීමෙන් පසුව ඒ නොහික්මුණු ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනා උන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටියා. 

 

7. තනියම වැටුණා නම් අමාරුවක් නෑ 

විද්‍යාලංකාර පිරිවෙනේ සධාතුක කරඬුව තැන්පත් කර තිබුණේ එවකට පුස්තකාලය පිහිටි උඩු මහලෙයි. මේ නිසා සිරිතක් වශයෙන් බුද්ධ වන්දනාව සිද්ධ කරන වත පිරිත කියවා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විසින් හික්කඩු​වේ සුමංගල හිමියන්ව සමාකර ගැනීම පුස්තකාලයේදී සිදු වුණා. මහලු වියේදී පුස්තකාලය පිහිටි උඩුමහලට නැගීමට හික්කඩුවේ සුමංගල හිමියන්ට ආධාර කළේ උන්වහන්සේගේම තවත් ශිෂ්‍යයෙකු වුණු බිහල්පොළ ශ්‍රී දේවරක්ෂිත හිමියනුයි. හික්කඩුවේ සුමංගල හිමියන් සිරුරෙන් කුඩා අයෙක් වුණු අතර බිහල්පොළ හිමියන් මහත අයෙක් වුණා. දිනක් උන්වහන්සේ දෙනම තරප්පු පේළියෙන් බැසීමේ දී පය පැකිළී දෙදෙනාම වැටුණා. මේ දුටු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා බෙහෙවින් කම්පාවට පත් වෙලා, හික්කඩුවේ සුමංගල හිමියන් නැගිටවා “කොහෙහරි වැදුනද?” ආදී වශයෙන් අසමින් බෙහෙත් තෙල් ගා අත ගාන්නට වුණා. එවිට සුමංගල හිමියන් “නෑ නෑ කිසිම අමාරුවක් නෑ, බිහල්පොළ  එක්ක වැටුන් නැත්තන් තවත් අමාරු නැහැයි” කියලා කිව්වා.

 

මතු බුදු වන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ ගැන අප්‍රකට කතා ලිපි​ය මෙතැනින් කියවන්​න

තොටගමුවේ රහල් හිමි සම්බන්ධ වික්‍රමාන්විත කතන්දර මෙතැනින් කියවන්​න

උඩකැන්දවල සිරි සරණංකර හිමියන් ගැන අප්‍රකට කතා

හේනපිටගෙදර ඤාණසීහ හාමුදුරුවන් ගැන අප්‍රකට කතා

රේරුකානේ චන්දවිමල මහනායක හාමුදුරුවෝ ගැන අප්‍රකට කතා

සසර මග කෙටි කළ මාහෝ සුමේධ හිමි

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *