ලංකාවේ ජීවත් වෙන අපි, ජිවිතේ හැබෑ කරගන්න හිතන් ඉන්න දේවල් වලින් වැදගත් ඉලක්කයක් තමයි වාහනයක අයිතිකාරයෙක් වෙනවා කියන්නේ. ඉතින් එහෙම හීනයක් තියාගෙන හිටියට විතරක් ඒවා හැබෑ වෙන්නෙ නෑ. ඒ වෙනුවෙන් වැඩ කරන්න වෙනවා. ඉතින් එහෙම මහන්සි වෙලා වැඩ කරලා මේ වෙනකොට මේ ඉලක්කය හැබෑ කරගන්න හිතන් ඉන්න කෙනෙක්ට එන ලොකුම ප්‍රශ්න කිහිපයක් ගැන තමයි මේ කතා කරන්න හදන්නේ.
1. කාර් එකක් ද වෑන් එකක් ද, වෙන මොකක්හරි එකක් ද?
වාහනයක් ගන්න හිතන් ඉන්න ඕනෑම කෙනෙක්ට ඉස්සෙල්ලම එන සහ ලොකුම ප්‍රශ්නයක් තමයි මොන වගේ වාහනේකට ද යන්නෙ කියන එක. ඉස්සෙල්ල ඔන්න ඔය ප්‍රශ්නේ විසඳගෙන ඉන්න ඕනෙ අනිත් ඒවා ගැන හිතන්න. තමන්ගේ ආසාව විතරක් හිතන්න බෑ සමහර වෙලාවට. අම්ම තාත්තා කියන ඒවත් අහන්න වෙනවා. ඒ වගේම වාහන වර්ග උනත් ගොඩක් තියෙනවා. කාර්, වෑන්, ජීප් වගේ. ඒවයෙත් තව තව ජාති තියෙනවා. උදාහරණයක් විදිහට කාර් ගත්තොත්, Hatchback, Saloon, Sports, Station Wagon වගේ මොඩල්ස්. ඒ වගේම ඔටෝ එකක් ගන්නවද, මැනුවල් එකක් ද එහෙමත් නැත්නම් ට්‍රිප්ට්‍රොනික් එකක් ද කියන එකත් වැදගත්. ඒ නිසා මේ තීරණේ ගොඩක් කල්පනා කරලා ගන්න.
2. බ්‍රෑන්ඩ් නිව් ද, සෙකන්ඩ් හෑන්ඩ් ද?
ඊට පස්සේ හිතන්න තියෙන බැරෑරුම්ම දේ තමයි තමන් මේ ගන්න යන වාහනේ බ්‍රෑන්ඩ් නිව් තත්ත්වෙන් ගන්නවද? එහෙම නැත්නම් පාවිච්චි කරපු, ඒ කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් තත්ත්වෙන් ගන්නවද කියන එක. අපි හැමෝම කැමතියි බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න තියෙනවනම්. එත් ඉතිං ඒකට ප්‍රමාණවත් මුදලක් නැත්නම් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගත්ත කියල ගැටළුවක් නැහැ. සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවානම් හොඳින් හොයල බලල, බාස් ල එක්කෙනෙක් මදි නම් දෙන්නෙක්ව හරි එක්කගෙන ගිහින් බලල, හොඳයි නම් විතරක් ගන්න එක තමයි නුවණක්කාර දේ. මොකද ලංකාවේ අයියල මිනිස්සු අන්දලා වාහන විකුණන්න (විශේෂයෙන් Mileage වෙනස් කරන්න) උපන් හපන්කම් ඇති උදවිය. ඒ වගේම බ්‍රෑන්ඩ් නිව් ගන්නවා උනත් පොඩ්ඩක් විමසිලිමත් වෙන්න. ඒ කිව්වේ වාහනේ ගන්නේ වාහනයට අදාළ බලයලත් ආයතනයෙන් නම් ගැටළුවක් නෑ. (ඒ කියන්නේ ටොයෝටා වාහනයක් ටොයෝටා ලංකා ආයතනයෙන් ගන්නවානම්) ඒත් වෙන රටකින් වාහන ආනයනය කරන ආයතනයකින් ගන්නවානම් විශේෂ අවධානයක් යොමු කරන එක ඇඟට වගේම හිතටත් ගුණයි.
3. පාවිච්චිය?
සමහර අය පළවෙනි වාහනේ උනත් ගන්නේ හයර් කරන්න වගේ දේකට යොමුකරන්න බලාගෙන. ඉතින් එහෙම කෙනෙක් ටිකක් කල්පැවැත්ම පැත්ත එහෙම හිතන්න ඕනෙ වාහනයක් ගනිද්දී. මොකද හයර් කරන වාහනේක පාර්ට්ස් වල ගෙවීම වැඩියි. ඉන්ෂුවරන්ස් එකක් දාන්න ගියත් ගාණ වැඩියි. සහ මාසෙකට ධාවනය කරන දුර සැහෙන්න වැඩියි. ඉතින් ඒ නිසා වාහනයක් ගන්න කලින් එහෙම විශේෂ අවශ්‍යතාවයකට යොදවන්න බලාපොරොත්තුවක් තියෙනවද කියන එකත් ඉතාම වැදගත් කාරණාවක් වෙනවා.
4. පාර්ට්ස් වල තත්ත්වේ?
වාහන පාරේ දුවද්දී අනතුරු වෙනවා, ඒ වගේම පාවිච්චියේදී අමතරකොටස් ගෙවෙනවා. අන්න ඒ වගේ අවස්ථා වලදී අමතරකොටස් අලුතින් දාන්න සිද්ද වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගත්තත් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගත්තත් මේන්න මේ කාරණාව ගැන හොඳින් හිතල බලන්න වෙනවා. මොකද සමහරු ආසාවට වාහනේ ගත්තට අනතුරකින් මොකක්හරි පාර්ට් එකක් දාන්න උනොත් බඩු නැහැ හොයාගන්න. ඔය ප්‍රශ්න වලට මුහුණ දෙන ගොඩක් දෙනා ඉන්නවා. ඒ නිසා තමන් ගන්න හිතන් ඉන්න වාහනේට අදාළ අමතරකොටස් වෙළෙඳපොලේ හොයාගන්න තියෙනවද කියල ටිකක් හොයල බලන්න. සමහර වාහන තියෙනවා අමතරකොටස් තියෙනවා. ඒත් මාර ගණන්. ඉතින් ඒ දේවල් තමන්ට දරාගන්න පුළුවන්ද කියන එක වැදගත්.
5. ලීසිං දානවද?
වැදගත්කම අතින් මේ කාරණාව තුන් වෙනි තැනට එන්න ඕනෙ හරිනම්. කොහොම උනත් කමක් නෑ. හිතනකොට තුන්වෙනියට මේ ගැන හිතන්න එතකොට හරි. හැමෝම දන්නවනේ අද කාලේ ලීසිං කොම්පැණි වැහි වැහැල කියල. හැබැයි ලීසිං කොම්පැනියකට හොඳ කියන මිනිහෙක් නම් හොයාගන්න සැහෙන ගේමක් දෙන්න ඕනෙ. මොකද බහුතරයක් දෙනාට ලීසිං ගැන තියෙන්නේ එච්චර හොඳ අත්දැකීම් නෙමෙයි. ඒකට ඒ කොම්පැණි වලට බැනල වැඩකුත් නෑ කියල හිතෙනවා වෙලාවකට. මොකද අපේ අයට වාහනේ ගනිද්දී වාරික අරව මේවා වැඩක් නෑ. D/O එක දෙන්න කොච්චර කල් යනවද කියන එක විතරයි වැදගත්. එහෙව් වෙලාවට මොනවටද අත්සන් කරන්නේ කියන එක අදාළම නෑ අපේ අයට. අපි නම් කියන්නේ අත්පිට මුදලට වාහනයක් ගන්න එක තමයි හොඳම විදිහ. එත්, හැමෝටම එහෙම කරන්න පුළුවන්කමක් නෑ කියල අපිට තේරෙනවා. ඒ නිසා තමන්ට පුළුවන් උපරිම ගාණක් අතින් දාන්න උත්සාහ කරන්න. අනිත් එක, එහෙම ලීසිං එකක් දාන්නම වෙනවනම් තමන්ට එකඟ වෙන්න පුළුවන් කොන්දේසි තියෙන තැනකට යොමු වෙන්න. වඩා හොඳයි බැංකුවකින් ණය පහසුකමක් ගන්න පුළුවන් නම්.
6. නඩත්තුව?
වාහනයක් ගත්ත වගේ නෙමෙයි රජෝ, වාහනයක් ගත්ත කියන්නේ ගත්තු දවසේ ඉඳල වියදම් තමයි. තෙල් ගහන්න, සර්විස් කරන්න, නඩත්තු කරන්න, කැඩුනොත් හදාගන්න, එක එක වෙනස් කම් කරන්න, මෙකී නොකී හැමදේකටම වියදම් කරන්න තමයි තියෙන්නේ. ඉතින් තමන්ට මාසෙකට යම් මුදලක් මේ වෙනුවෙන් වෙන් කරන්න හැකියාව පවතිනවද කියන එක කල්පනා කරලා බලන්න. කලින් ආර්ටිකල් එකකත් කිව්වා වගේ අන්න ඒ වෙන් කිරීම කරන්න බැරි නම් පුතේ වාහනේකට දැන්ම යන්නෙපා. යන්නෙපා නෙමෙයි, දැන්ම යන්නෙපා. ඉතින් තමන් ගන්න හිතන් ඉන්න වර්ගයේ වාහනයක් පාවිච්චි කරන කෙනෙක්ගෙන් අහල බලන්න මාසෙකට කීයක් විතර වියදම් වෙනවද කියල. අන්න එතනින් දළ අදහසක් අරගෙන ඒක තමන්ට ආදේශ කරලා බලන්න. ඒකෙන් පාස් උනොත් අවුලක් නෑ.
7. ආයේ විකුණද්දී?
අනිත් කරණා එක්ක බැලුවම මේක එච්චරම වැදගත් නෑ. එත් වැදගත් නැත්තෙමත් නෑ. ලංකාවේ අපි වාහනයක් ගන්නේ අවුරුද්දකින් දෙකකින් වගේ වෙන හොඳ වාහනේකට යන්න බලාපොරොත්තු හිතේ තියාගෙන. ඉතින් ඒකට ගණන් හදන්නෙත් ඒ කාලේ වෙද්දී මේ වාහනේ උපරිම මිළකට විකුණලා ඒ සල්ලි දාල අළුත් එකක් ගන්න. ඉතින් ඒ වගේ අවශ්‍යතාවයක් ඔයාටත් තියෙනවනම් වාහන වල Market Price එකේ වෙන සහ වෙච්ච වෙනස්කම් ගැන පොඩ්ඩක් හොයල බලන්න වාහනයක් ගන්න කලින්. මොකද සමහර වාහන අවුරුද්දක් දෙකක් පාවිච්චි කළාට පස්සේ ඔය කියපු මාර්කට් ප්‍රයිස් එක ලොකු ප්‍රමාණයක් අඩු වෙනවා. ඒත් සමහර වාහන එහෙම නෑ. සමහරු ඉන්නවා වාහනේ ගත්ත මිලටත් වඩා වැඩි ගාණකට අවුරුද්දක් දෙකක් ගිහින් විකුණපු.
Leave a Reply