මැරන්න කලින් කරන්න තියෙන වැඩ ලැයිස්තුවක් හදමුද? මේකට කියන්නේ බකට් ලිස්ට් කියලා!

දැන් ඔය බකට් ලිස්ට් කියන එක සමහරුන්ට අමුතුයි වගේ දැනුනත්, ඇත්තටම බකට් ලිස්ට් එකක් කියන්නේ අමුතු කතන්දරයක් නෙවෙයි. මැරෙන්න කලින් කරන්න ඕන දේවල් ලැයිස්තුවකට තමයි බකට් ලිස්ට් එකක් කියන්නේ. හැබැයි ප්‍රශ්නේ මේකයි. ගොඩක් දෙනෙක් දන්නෙ නෑ තමන්ගේ බකට් ලිස්ට් එක වෙන්න ඕන මොකද්ද කියලා. තවත් සමහරුන්ට එහෙම කරන්න ආස දේවල් කියලා තියෙන්නේ බොහොම සරල දේවල් වෙන්න පුළුවන්. ඒ නිසාම ඒක බකට් ලිස්ට් එකක් කියලා නොහිතනවා වෙන්න පුළුවන්. හරි, ගැටළුවක් නෑ. අපි මේ බලන්න යන්නේ කොහොමද ජීවත් වෙන්න තියෙන ආසාව තවත් දල්වන විදියේ බකට් ලිස්ට් එකක් හදාගන්නේ කියලා තමයි!

 

1. මොකටද හැබෑටම බකට් ලිස්ට් එකක්?

බකට් ලිස්ට් එකක් වටින්නේ ජීවත් වෙනවා කියලා දැනෙන්න ඕන නිසා, කොටින්ම කිවුවොත්. විශේෂ කෙනෙක්ගේ නොවෙයි නම්, සාමාන්‍යයෙන් අපේ ජීවිතේම ගෙවෙන්නේ රේස් එකක් විදියටනේ. පොඩි කාලේ ඉගෙන ගන්න දුවනවා. ඊට පස්සේ රස්සා හොයන්න දුවනවා. ඊටත් පස්සේ පරස්තාවක් කරගන්න දුවනවා. ඊට පස්සේ රස්සාවයි, පරස්තාවයි එක්ක හැප්පි හැප්පි ජීවත් වෙන්න දුවනවා. හැබැයි ඉතින් ඔය ජීවනෝපායයන්, පුද්ගලික ජීවිත අස්සේ වුනත් ජීවිතේ තමන් ආස දේවල් කරන්න ඉඩ හදාගන්න කිසිම අමාරුවක් නෑ වුවමනාව සහ කළමනාකරණ හැකියාව තියෙනවා නම්. බකට් ලිස්ට් එකක් හදාගන්න එකත් අන්න ඒ ප්ලෑනෙම කොටසක් විදියට හුඉතුවා නං හරි. අපිට ජීවිත කාලය තුළදී සාක්ෂාත් කරගන්න ඕන එව්වා මොනවද කියලා ලිස්ට් එකක් හදාගන්න එකෙන් ඒවා ඉෂ්ට කරගන්න එක පියවරක් ඉස්සරහට තියන්නත් හැකියාව ලැබෙනවා කිව්වැහැකි.

 

2. ලිස්ට් එකේ කොයි තරම් කාරණා තියෙනවද?

මෙන්න මේක ටිකක් අසීරු තැනක්. බකට් ලිස්ට් එකකට ඇතුළත් වෙන කරුණු කාරණා එකිනෙකාගේ විදිය, හිතන පතන ආකාරය එක්ක වෙනස් වෙනවා. එක මනුස්සයෙක්ගේ බකට් ලිස්ට් එකක කරුණු දහයක් තියෙනකොට, තව කෙනෙක් හදන්න පුළුවන් කරුණු සීයක් තියෙන බකට් ලිස්ට් එකක්. ඉතින් ඒ දේවල් සීයම තමන්ට ජීවිත කාලය ඇතුළතදී කරන්න පුළුවන් දේවල් නම් ප්‍රශ්නයක් නැහැනේ. හැබැයි මෙතනදී එක දෙයක් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ තමයි තමන්ගේ ජීවිතේට සීරියස්ම විදියට වෙනසක් එකතු කරන, තමන්ට බොක්කෙන්ම කරන්න ආසාව තියෙන දේවල් මේ බකට් ලිස්ට් එකට ඇතුළත් කරගන්න එක. උදාහරණයක් විදියට ගත්තොත්, අල්ලපු ගෙදර මනුස්සයා ඔස්ට්‍රේලියාවේ ගිහින් ආපු නිසා මාත් කවදාහරි ඔස්ට්‍රේලියා යනවා කියලා බකට් ලිස්ට් එකේ ලියලා වැඩක් නෑ, ඇත්තටම ඔස්ට්‍රේලියාව ගැන තමන්ට ඒ හැටි උනන්දුවක් නැති නම්. ඒක තමන්ට තව එක පිටරටක් විතර නම් කොහොමද මනුස්සයෝ ඒක බකට් ලිස්ට් එකට දාන්නේ?

 

3. වෙන්න පුළුවන් දේවල් විතරක්

ඊලඟ කාරණාව තමයි, බකට් ලිස්ට් එකකට ගන්න ඕන තමන්ට ජීවිත කාලය ඇතුළතදී කරන්න පුළුවන් ඒවා විතරක් වීම. උදාහරණයක් විදියට ගත්තොත්, කෙනෙක්ගේ බකට් ලිස්ට් එකේ තියෙනවා “කවදාහරි ලාස් වේගාස් ගිහින් කැසිනෝ සෙල්ලං කරලා පැමිණීම” ගැන. ඒක කරන්න බැරි දෙයක් නෙවෙයිනේ. ඔය වැඩේට ලක්ෂ කීපයක් වියදම් වුනත්, ඒක ජීවිත කාලේ ඇතුළත සාක්ෂාත් කරගන්න පුළුවන් දෙයක්.

 

හැබැයි ඔන්න තව කෙනෙක් ලියනවා “හඳට යෑම” බකට් ලිස්ට් ඉලක්කයක් කියලා. ඕක ඇත්ත වෙන්න නම් එක්කෝ පොඩි කාලේ ඉඳලම ඒක ටාගට් කරලා, අභ්‍යවකාශගාමියෙක් වෙලා, නාසා ගිහිල්ලා කවදාහරි ඒක ඉෂ්ට කරගන්න ඕන. එහෙම නැතිනම් ඉතින් බිලියනපතියෙක් වෙලා, හඳට යන්න වාණිජ මට්ටමෙන් පුළුවන් දවසක් මැරෙන්න කලින් පැමිණේවා කියලා බලං ඉන්න වෙනවා. ආන්න ඒ නිසා ඒ වගේ ඒවා බකට් ලිස්ට් එකකට දාලා තේරුමක් නෑ. මොකද බකට් ලිස්ට් එකේ තියෙන්න ඕන තමන්ට ඉෂ්ට කරගන්න කවදාහරි පුළුවන් දේවල් මිසක්, කවදාවත් කරගන්න බැරි දේවල් නෙවෙයි.

 

4. නිකම් අභව්‍ය දේවල් ලියන්න එපා

එතකොට මේ කතන්දරේ මොකද්ද? මේ කියන්නේ අර බකට් ලිස්ට් එකක් හදන්න කිව්වහම “රටට දැයට වැඩදායක ගුණගරුක පුරවැසියෙක් වීම”, “දෑ හිතකාමී වීම”, “දෙමාපියන්ට සැලකීම” වගේ කතන්දර ලියන උන්දැලා ගැන. ඔව්වා බකට් ලිස්ට් වලට එන්න ඕන කරුණු නෙවෙයි හලෝ. මනුස්සයෙක් වුනහම කොහොමත් තියෙන්න ඕන ගුණාංග ඕවලට කියන්නේ.

 

5. පොඩි තැනින් පටන් ගමු

බකට් ලිස්ට් එකක් හදන්න පටන් ගන්න ඕන පොඩි තැනක ඉඳන්. ඒ කියන්නේ අපිට මෑත අනාගතේදී සාක්ෂාත් කරගන්න පුළුවන් දේවල් වල ඉඳන්. හරි, උදාහරණ ගමු. කවදාවත් ගිහින් නැති සිරීපාදේ යන එක, කවදාවත් ගිහින් නැති යාපනේ ඇවිදින එක, ගිටාර් ගහන්න ඉගෙන ගන්න එක, පොතක් ලියන එක, ඔසු උයනක් හදාගන්න එක, ලී වැඩ ඉගෙන ගන්න එක. ඔය තියෙන්නේ. ඔය හැමදෙයක්ම අද වුනත් කරන්න පටන් ගන්න පුළුවන් දේවල්. බරගණන් සල්ලි යන්නෙත් නැති දේවල්. ඉතින් ඔන්න ඔය වගේ ඒවලින් බකට් ලිස්ට් එක පටන් ගත්තහම, ඒවා ඉෂ්ට කරගන්නත් ලේසියි. ඉෂ්ට කරගන්නකොට හිතටත් ෆිට්.

 

6. තනියම ඕන නෑ

ඇත්තටම තමන්ගේ බකට් ලිස්ට් එකේ තියෙන්නේ තමන් ආස දේවල් වුනාට, ඒවා කරන්න ඕන තනියමයි කියලා දෙයක් නෑ. තමන්ගේ බිරිඳ, ස්වාමියා, පෙම්වතා, පෙම්වතිය එක්ක වුනත් බකට් ලිස්ට් එකේ තියෙන ආස කරන දේවල් කරන්න පුළුවන්. ඕන නම් විශ්වාසවන්තම යාලුවා එක්ක වුනත් බකට් ලිස්ට් එකේ තියෙන සමහර දේවල් කරන්න පුළුවන්. අන්න ඒ නිසා බකට් ලිස්ට් එකට ඇතුළත් කරන අයිතම වලට එහෙම කොන්දේසිත් ඇතුළත් කළාට ප්‍රශ්නයක් නෑ.

 

කොහොමත් ඉතින් “ලෝකේ ලස්සනම හෝටලේක බැල්කනියේ ඉඳන් ලස්සන යුවතියක් කිස් කරනවා” වගේ බකට් ලිස්ට් අයිටම් එකක් වයිෆ්ට හොරෙන් කළොත්, ඒක අන්තිමට ඉෂ්ට කරගත්තු බකට් ලිස්ට් අයිටම් එක වෙන්නත් ඉඩ තියෙනවනේ!

 

7. ලිස්ට් එකට වැඩෙන්න දෙන්න

මෙන්න මේක ඉතාම වැදගත්. අපි වාඩිවෙලා අපිට මේ වෙනකොට මැරෙන්න කලින් කරන්න ඕන දේවල් ගණනාවක් බකට් ලිස්ට් එකේ ලියන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ බකට් ලිස්ට් එක එතනින් ඉවරයි කියලා. අපේ හිතුවිලි, හිතන පතන විදිය වෙනස් වෙනවා. ඒ විදියට බකට් ලිස්ට් එකේ අයිටම්ස් වුනත් වෙනස් වෙන්න පුළුවන්, වර්ධනය වෙන්න, පරිණාමය වෙන්න පුළුවන්. අන්න ඒකට ඉඩ දෙන්න ඕන. ඒ වගේම කාලයත් එක්ක බකට් ලිස්ට් එකත් වර්ධනය වේවි. ඒකටත් ඉඩ දෙන්න.

 

8. මොකේද ලිස්ට් එක හදන්නේ?

මෙන්න මේක හොඳ ප්‍රශ්නයක්. අපි ඇත්තටම මොකකද බකට් ලිස්ට් එක හදන්නේ? කෙනෙක්ට ඕන නම් පොඩි නෝට්පෑඩ් එකක තමන්ගේ බකට් ලිස්ට් එක ලියන්න පුළුවන්. තවත් කෙනෙක්ට ඒක තමන්ගේ කම්පියුටර් එකේ සේව් කරපු ඩොකියුමන්ට් එකක හදන්න පුළුවන්. තවත් කෙනෙක්ට ගූග්ල් කීප් ලිස්ට් එකක් විදියට හදන්න පුළුවන්. කොයි විදියට බකට් ලිස්ට් එක හැදුවත්, ඒක කාලයක් පවතින්න ඕන කියන එක තමයි කොන්දේසිය. මොකද, මේ තියෙන්නේ ජීවිත කාලයක් ඉෂ්ට කරගන්න බලාගෙන ඉන්න වැඩ. ඒ නිසා බකට් ලිස්ට් එකට වුනත් සාමාන්‍ය ග්‍රොසරි ලිස්ට් එකකට වඩා විශේෂත්වයක් ලැබෙන්නම ඕන.

 

උදාහරණයක් විදියට මගේ හිතේ තියෙන බකට් ලිස්ට් එකේ එක අයිටම් එකක් තමයි ලෙදර් වලින් නෝට්පත් බඳින්න ඉගෙන ගන්න එක. සමහර විට මට එහෙම ඉගෙන ගෙන හදපු පුංචි පොකට් සයිස් ලෙදර් ජර්නල් එකකම බකට් ලිස්ට් එක ලියන්න පටන් ගන්නත් පුළුවන්!

 

9. තාක්ෂණෙත් එක්ක බකට් ලිස්ට්!

ඇත්තටම දැන් තාක්ෂණෙත් එක්ක, අපි කරන ගොඩක් දේවල් තාක්ෂණීකරණය වෙලා තියෙනවා. ඒක නරක දෙයක් නෙවෙයි. බකට් ලිස්ට් සම්බන්ධයෙන් වුනත් නොයෙකුත් වෙබ් අඩවි, ස්මාට්ෆෝන් ඇප්ස් තියෙනවා. මේ වල විශේෂත්වයකුත් තියෙනවා. ඒ තමයි මේ වලින් ඔබට ලබාදෙන්නේ සාමාන්‍යයෙන් ටු ඩූ ලිස්ට් එකක් හදන්න ඉඩක් නොවීම. ඊට වඩා මේවා ඔන්ලයින් ප්‍රජාවන් විදියට තමයි වැඩ කෙරෙන්නේ. ඒ කියන්නේ බකට් ලිස්ට් හදන ගොඩක් අය, බකට් ලිස්ට් සාක්ෂාත් කරගන්න ගොඩක් අය මේවා එක්ක එකතු වෙලා ඉන්නවා. එතකොට කෙනෙක්ගේ බකට් ලිස්ට්‍ එකක් බලලා, අපිටත් කරන්න ආස දේවල් ලැබෙන්න පුළුවන්. තවත් කෙනෙක් ඉෂ්ට කරගන්න බකට් ලිස්ට් ටාගට් එකක් බලලා, අපිටත් අනුප්‍රාණයක් ලබාගන්න පුළුවන් වෙන්න පුළුවන්. ආන්න ඒ වගේ.

 

මේ තියෙන්නේ ඒ වගේ ස්පොට්ස් කීපයක්:

Buckist

Soon

Woovly

iWish

BUCKiTDREAM

 

එහෙමනම් මොකද කියන්නේ? අදම බකට් ලිස්ට් එක හදමුද? හෙටම බකට් ලිස්ට් එකේ තියෙන දේවල් ඉෂ්ට කරගන්න වැඩ පටන් ගමුද? කවදා අපි මැරෙයිද කියන්න බෑනේ. මැරෙන්න කලින් ආස දෙයක් කරලා මැරෙන එක තමයි ජීවිතේ විඳලා මැරෙනවා කියන්නේ!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *