හේනපිටගෙදර ඤාණසීහ හාමුදුරුවන් ගැන අප්‍රකට කතා

අද පරම්පරාව ඒ තරම් නොදන්නවා වුණාට හේනපිටගෙදර ඤාණසීහ හාමුදුරුවෝ කියන්නේ අපේ රටේ ගමන් මඟ වෙනස් කරන්න දායක වෙච්ච සුවිශේෂී භික්ෂූන් වහන්සේ නමක්. 1956 බණ්ඩාරනායක මහතාගේ ජයග්‍රහණය පිටුපස හිටපු ගාමක බලවේගය වුණේ ඤාණසීහ හාමුදුරුවෝ. මේ නිසා Lifie අපි හිතුවා උන්වහන්සේගේ පෙරළිකාර චරිත කතාවේ විචිත්‍රවත් කොටස් කීපයක් ඔබ සමග බෙදාගන්න.

 

1. ඩී.එස් එක්ක තරහ වුණු හාමුදුරුවෝ 

1947 වර්ෂයේ දී පැවැත්වුණු මහ මැතිවරණයේදී සේනානායක මහතාට සුවිශාල අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ ඔහුට විරුද්ධව ඉදිරිපත් වුණු ප්‍රතිවාදියා සමග වාමාංශික අදහස් දැරූ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ඒකරාශි වීම නිසා. මෙම ගැටළුවට මුහුණ දීම සඳහා ඩී.එස් සේනානායක මහතා එවකට ජනප්‍රිය භික්ෂූන් වහන්සේ නමක් වුණු හේනපිටගෙදර ඤාණසීහ ස්වාමීන්වහන්සේගේ සහයෝගය ඉල්ලුවා. ඒ තමන් අගමැති වූ පසුව උන්වහන්සේ එවකට වෙහෙස මහන්සි වෙමින් සිටි රත්නපුර භික්ෂු විද්‍යාලය ආණ්ඩුව මගින් ඉදි කර දෙන බව පවසමින්. නමුත් මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඩී. එස් සේනානායක මහතා හිතා මතා එම පොරොන්දුව අමතක කරා පමණක් නොව එම පොරොන්දුව හාස්‍යයට ද ලක් කරා. ඒ ආණ්ඩුවට ආගමක් නොමැති බවත් බෞද්ධයන් තෙරුවන් සරණ යන්නේ “බුද්ධං සරණං ගච්ඡාමි” කියා මිස ආණ්ඩුව සරණං ගච්ඡාමි යැයි කියා නොවන බවත් පවසමින්. මින් කෝපයටත් කණගාටුවටත් පත්වුණු ඤාණසීහ හිමියන් නැවත කිසිදිනක තමන් අගමැතිවරයා මුණගැසීමට නොපැමිණෙන බව පවසමින් අරලියගහ මැදුරෙන් නික්ම ගියා.

 

2. කොතලාවලගේ වේදිකාවෙන් ඩඩ්ලිව ඉවත් කරපු හැටි

 

1956 දී තිබුණේ ද්වන්ධ සටනක්.ඒ එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා සහ සර් ජෝන් කොතලාවල මහතා අතරයි. නමුත් මේ වන විට දේශපාලන වේදිකාවෙන් තාවකාලිකව සමු අරගෙන සිටි ඩඩ්ලි සේනානායක මහතා නැවතත් කොතලාවල මහතාගේ වේදිකාවට පැමිණෙන බවට රාවයක් පැතිර ගියා. මෙය එවකට බෞද්ධයන් අතර දැඩි ව අප්‍රසාදයට පත්ව සිටි ජෝන් කොතලාවල මහතාට සුජාත භාවයක් ලැබෙන ක්‍රියාවක් බවට ඤාණසීහ හිමියන් විශ්වාස කළා. මේ නිසා උන්වහන්සේ ඩඩ්ලි සේනානායක මහතාව මුණ ගැසීමට ගියා.  උන්වහන්සේ සමග කථාබහ කිරීමෙන් අනතුරුව ඩඩ්ලි සේනානායක මහතා කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂ වේදිකාවට නැගී සිටීමෙන් වැළකී සිටින බවට පොරොන්දුවක් ලබා දුන්නා. මේ නිසා එක්සත් ජාතික පක්ෂයේ පරාජය අන්ත පරාජයක් බවට පත් වුණා.

 

3. හාමුදුරුවන්ට මැතිණිය බය වුණු හැටි

 

බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන එන මං නැති තත්ත්වයට පත් වුණා. ඊළඟ මැතිවරණයෙන් නැවතත් එක්සත් ජාතික පක්ෂයට බලය ලැබුණා. මේ නිසා හේනපිටගෙදර ඤාණසීහ හාමුදුරුවෝ විශ්වාස කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වය යටතේ නැවත ගොඩ නැගිය යුතුයැයි කියලා. නමුත් සිරිමාවෝ මැතිණියට මුල් අවස්ථාවේදී එම විශ්වාසයක් තිබුණේ නැහැ. වතාවක් තම දායක පිරිසක් සමග රොස්මිඩ් නිවසට පැමිණ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට කරුණු පැහැදිලි කිරීමේදී උන්වහන්සේගෙන් පෙනුණු ආවේගශීලී බව දැක මැතිණිය කුස්සියට දිව ගියා. පසුව ඇය පැවසුවේ උන්වහන්සේ තමන්ට පහර දේ යැයි කියා බිය සිතුණු බවක්. කෙසේ වෙතත් අවසානයේදී ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට එකඟ වුණා.

 

4. බුද්ධාගමටත් තට්ටු වුණා නේද?

ඩඩ්ලි සේනානායක රජය පෙරළීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත හේනපිටගෙදර ඤාණසීහ හිමියන් ඇතුළු ප්‍රභූ පිරිසක් අත් අඩංගුවට ගැනුණා. මෙම කාලය තුළ දී මිනිසාගේ පළමු සඳ ගමන සිදු වුණු අතර ඒ ගැන පුවත්පත් මගින් දැනගත් අත් අඩංගුවේ පසුවුණු හිටපු හමුදාපතිවරයෙක් වූ රිචඩ් උඩුගම “අන්න ඇමරිකන් කාරයෝ හඳට ගිහිල්ලා, දැන් බුද්ධාගමටත් තට්ටු වුණා නේද” කියලා හේනපිටගෙදර හාමුදුරුවන්ගෙන් ඇහුවා. හාමුදුරුවෝ ඇහුවා “ඒ ඇයි” කියල. “ඇයි හඳ කියන්නේ දෙවියෙක් කියලා තියෙනවා නේද?” කියලා රිචඩ් උඩුගම පිළිතුරු දුන්නා. ඒ වෙලාවෙදී උන්වහන්සේ බුද්ධාගම තුළ සඳහන් වන්නේ සඳ ඇසුරු කරගත් දෙවියන් ගැන මිස සඳ දෙවියෙකු ලෙස නොවන බව පැහැදිලි කළා.

 

5. රත්නපුරයේ කුල භේදය නිමා කළ හැටි

දවසක් උන්වහන්සේ රත්නපුරේ පිරිවෙන් ඉගෙනීම් කටයුතු කරමින් ඉද්දි තමන් දිහා බයෙන් වගේ බලාගෙන ඉන්නා අහිංසක පිරිසක් දැක්කා. ඒ පිරිස ළඟට කැඳවපු උන්වහන්සේ ආපු කාරණාව විමසා සිටියා. ඒ වෙලාවෙදි ඔවුන් කිව්වේ තමන් ධර්ම දේශනාවක් සඳහා භික්ෂුන් වහන්සේ නමක් සොයන බවත්, නමුත් තමන් කුලහීන නිසා කිසිදු භික්ෂූන් වහන්සේ නමක් එම ආරාධනය නොපිළි ගන්නා බවත්. නමුත් බොහෝ දෙනා කියන්නේ ඔබ වහන්සේට කිව්වොත් අපේ කටයුත්ත ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි කියලා බවයි. උන්වහන්සේ ඒ ආරාධනාව පිළිගත්තා වගේ ම එම ධර්ම දේශනය සඳහා වැඩම කරවන්න මහා පෙරහැරක් ලෑස්ති කරන්න කියලා තමන්ගේ දායක පිරිසට කිව්වා. උන්වහන්සේ මෙසේ වැඩම කිරීමත් සමගම කුලහීන ජනතාව අතර නැවතත් ආගමික ප්‍රබෝධයක් ඇති වුණා.

 

6. හිරේ ඉන්න කාලෙදී පොත් ලිව්ව හාමුදුරුවෝ

 

හිරේ ගතකරපු කාලයේදී උන්වහන්සේ සම්පූර්ණයෙන්ම යෙදෙව්වේ පොතපත සම්පාදනය සඳහා. සිංහල, පාලි, සංස්කෘත නම් යන භාෂා තුනෙන් ම වගේම මහායාන බුද්ධාගම පිළිබඳ ව ගැඹුරු ග්‍රන්ථ උන්වහන්සේ හිරේ ගත කරපු කාලය තුළ රචනා කළා. මේ අතරින් එක කෘතියක් උන් වහන්සේ අවසාන කරන්නේ මෙන්න මෙහෙම 

යොඛො’හං මැගසින් කාරාගස්මිං අවරෝධහී

සොකො වා සුඛිතො හොතු නහි කුජ්ජන්ති මාදිසා

“යමෙක් විසින් මා මැගසින් බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළේ නම් ඔහු සුවපත් වේවා යැයි පතමි. ඔහු කෙරේ නොකිපෙමි.

 

7. ගණේගම සරණංකර හාමුදුරුවන්ගෙ ප්‍රාර්ථනය 

හේනපිටගෙදර ඤාණසීහ හාමුදුරුවෝ නිදහස් වුණාම පවත්වපු උත්සවයකදී ගණේගම සරණංකර හාමුදුරුවෝ මෙහෙම ප්‍රාර්ථනයක් සිද්ධ කරා. ඒ තමයි “ඤාණසීහ උන්වහන්සේව තව අවුරුදු දහයක් හිරේ වැටේවා” කියලා. මේකට හේතුව තමයි උන්වහන්සේගේ පාණ්ඩිත්වය ට ගැලපෙන පරිදි තව තවත් කෘතීන් රචනා කිරීමට උන්වහන්සේට හැකියාව ලැබෙන නිසා. හේනපිටගෙදර හාමුදුරුවෝත් මේ කතාවට එකඟ බව අපිට අපට වැටහෙන්නේ උන්වහන්සේගේ ම තවත් කෘතියක සඳහන් වන මෙන්න මේ උපුටනයක් නිසා. 

“සිරගෙයි ගත කළ මගේ තුන් අවුරුදු හාරමාසයක ජීවිතය අද මට වැටහෙන්නේ ඉතා ම සාර්ථක ජීවිතයක් හැටියටය. සිරගෙයින් පැමිණ මේ වන තුරු ගත කළ මුළු කාලය ම මෙබඳු ප්‍රයෝජනවත් වැඩකට යෙදිය නොහැකි වීම ගැන මම දුක් වෙමි”

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *