සම්ප්‍රදායට අභියෝග කළ රජ පුතෙකු වූ මහා රජ ” වසභ “

Story of king wasabha

ලංකා ඉතිහාසයේ ඉඳන් අද වෙනකන් ම අමුතු දේවල් සිද්ධ වුණ තැනක් තමයි රටේ පාලන තන්ත්‍රය. සමහර දේවල් නම් එහෙම සිද්ධ වුණාද කියන තරමට අතාත්විකයි. සමහර කතන්දර ඇස් ඉස්සරහ මැවෙන තරමට ම තාත්විකයි. කොහොම වුණත් ජනශ්‍රැති එක්ක මිශ්‍ර වුණු අපේ රටේ රජ කතා හරිම රසවත්. ශ්‍රී ලංකාවේ ප්‍රථම ලම්භකර්ණ වංශික රජතුමාගේ කතාවත් ඒ වගේ.

 

1. ලම්භකර්ණ වංශය

Story of king wasabha

Source – prasanna weerakkody

රජා ගැන කතා කරන්න කලින් වංශේ ගැන කතා කරලා ඉමු. ලම්භකර්ණ වංශිකයෝ ලංකාවට සැපත් වෙන්නේ ශ්‍රී මහා බෝධින්වහන්සේගේ වැඩමවීමත් එක්කමයි. ලම්භකර්ණ කියන වචනය වචනාර්ථයෙන් බැලුවොත් එල්ලෙන කන් පෙති. හැබැයි පාලි භාෂාවෙන් මේකට සමාන පදයක් වෙන වචනයක තේරුම “ලියන්නා” කියන එක. මේ නිසා සමහර ඉතිහාසඥයන් කියන විදියට ලම්භකර්ණ වංශය රජ මාලිගාවේ ලියුම් කියුම් වැඩ කරපු බොහොම ඉහළ පැලැන්තියක්. මෙයාලා ගැන ඉස් ඉස්සෙල්ලාම විස්තරාත්මක ව කතා කෙරෙන්නේ මෞර්ය රාජවංශික ඉලනාග රජතුමාගේ කාලේ. රාජාභිෂේකයෙන් පස්සේ තිසා වැවේ ස්නානයට ගියපු රජතුමා දැනගන්නවා මේ අවස්ථාවේ ලම්භකර්ණ වංශිකයන් තමන්ට කලින් නගරයට ගිහින් විත්තිය. මේකට තරහා ගත්තු ඉලනාග රජතුමා ලම්භකර්ණ වංශිකයන්ව පාර සුද්ධ කරන කටයුතුවලට දැම්මා. ඒකෙන් සෑහෙන හිත රිදවගත්තු ලම්භකර්ණයෝ ටික එකතුවෙලා රජතුමාව මාලිගාවේ ම හිරකරනවා. මහාවංශයට අනුව මාලිගාවේ මංගල හස්තියාගේ උදව්වෙන් රජතුමා තමන්ගේ පුත් කුමාරයා එක්ක මහාතිත්ථ වරායට ගිහින් එතනින් ඉන්දියාවට සැපත් වෙනවා. පස්සේ ඉන්දීය සෙබළුන්ගේ ආධාරයෙන් කොහොම හරි ඉලනාග රජතුමා ලම්භකර්ණයෝ එක්ක සටන් කරලා ජයගෙන නැවතත් රජු වෙනවා.

 

2. යසලාලක රජතුමා සහ සෙල්ලම් ලෙල්ලම් වීම

Story of king wasabha

Source – sundaytimes.lk

ඉලනාග රජතුමාට පුත්තු දෙන්නයි. ලොක්කා චන්ද්‍රමුඛසිව. පොඩ්ඩා යසලාලක තිස්ස. ජල ක්‍රීඩාවක් වෙන අතරේ අයියට මල්ලිගෙන් මැරුම් කන්න වෙනවා. බලයට ආශා වුණාම ඔහොම තමයි. හැබැයි කර්මය යසලාලක තිස්ස රජතුමාට ඉක්මනට ම පඩිසන් දෙනවා. මේ කතාව අහපු නැති කෙනෙක් නම් නැති තරම්. තරමක් සෙල්ලක්කාර රජෙක් තමයි මේ යසලාලක තිස්ස කියන්නේ. ඔහුගේ දොරටුපාල වෙච්ච සුභ, රජතුමාට රූපෙන් හැම අතින් ම වගේ සමානයි. සෙල්ලමට බර රජ්ජුරුවෝ දොරටුපාල එක්ක කතා වෙලා වෙස් මාරු කරගෙන රාජසභාව මෝඩයාට අන්දන්න යනවා. දැන් රජා දොරටුපාල. දොරටුපාල රජා. ගාම්භීරව ඉන්න දොරටුපාලව දැකලා ඇත්ත රජතුමාට මහා හයියෙන් හිනා යනවා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තු ශූර දොරටුපාල අපහාස කිරීමේ චෝදනාව යටතේ දොරටුපාල වෙස් අරන් ඉන්න රජාව මරන්න අණ දෙනවා. අණ ඉටු වෙනවා. අභිමානවත් මෞර්ය වංශය ඉවර වෙන්නේ ඔන්න ඔය විදියට.

 

3. අනාවැකිය සහ බුලත් මඩිස්සලය

Story of king wasabha

Source – kala.lk

සුභ රජතුමා නියම රජෙක් නෙවෙයි විත්තිය දැනගෙන මිනිස්සු රජා කෙරේ අප්‍රසාදයෙන් ජීවත් වෙනවා. ඉතින් මේ නිසාම අනාවැකි බලන්න රජු පුරුදු වෙලා හිටියා. එක අනාවැකියකින් කියවුණා දවසක “වසභ” කියා අයෙක් තමන්ව මරලා රජ වෙන බව. මේකට උණ ගැනුණු රජතුමා දන්නා නොදන්නා හැම වසභයෙක් ම මරන්න තීරණය කරනවා. රජතුමාගේ සෙන්පතිගේ ගෙදරත් හිටියා වසභ කෙනෙක්. ඒ ඔහුගේ බෑණා. ලම්භකර්ණ වංශිකයෙක්. මේ මාමයි බෑණයි අතරේ පොඩි සීතල යුද්ධයක් තිබිලා තියෙනවා. ඒ නිසා මාමා මේක අවස්ථාවක් කරගන්නවා බෑණාට තොණ්ඩුව දාන්න. රජවාසල තනතුරක් දෙන්නම් කියලා රවට්ටගෙන කොල්ලාව මාලිගාවට එක්කන් යන්න සෙන්පතියා කටයුතු කරනවා. අහිංසක වසභ ගැටේට අහු වෙනවා. හැබැයි මාමාගේ අඹුව මෙත්තා මේ කාරණය දැනගෙන බෑණාගේ ජීවිතේ බේරගන්න උපායක් යොදනවා.

ඒ තමයි සෙන්පතිතුමා රජවාසලට අරන් යන බුලත් මඩිස්සලේට හුණු නොදා දෙන එක. ගමන මගදී ඔහු දැනගන්නවා හුණු නැති බව. ඒ කාලේ හුණු එක්ක බුලත් කන එක මොන තරම් විශේෂ දෙයක්ද කියනවා නම් සෙන්පතිතුමා වසභව හුණු අරගෙන එන්න කියලා ගෙදරට පිටත් කරනවා. ගෙදරට ආපු ගමන් ම මෙත්තා මේ අලකලංචිය වසභට පැහැදිලි කරලා දීලා ඔහුට පළා යන්න උදව් කරනවා.

 

4. සාම්ප්‍රදායිකත්වයට අභියෝග කළ වසභ රජු

Story of king wasabha

Source – kala.lk

වසභ රුහුණට පළා යනවා. ඒ ප්‍රදේශයේ දාමරික ජීවිතයක් ඔහු ගත කරනවා. එහෙම කරන්නේ රාජ්‍යත්වයට නිසි සුදුස්සෙක් නොමැති වෙලාවක බලය ගොඩනගාගන්න හැකි බවට ඔහුගේ තිබුණ උපාය මාර්ගය නිසා. ඉන්දියාවේ චන්ද්‍රගුප්ත මෞර්ය රජතුමාගේ සටන් ඥානය භාවිත කරලා මේ තරුණයා සුභ රජු මරා අනුරාධපුරයේ රජු බවට පත් වෙනවා. තමන්ට උපකාර කළ නැන්දණිය මෙත්තාව සරණ පාවා ගන්නවා. රජ වෙන්න නම් රාජකීය පෙළපතක් තිබිය යුතුයි කියන සම්මතයෙන් බැහැර වීමත් සිය නැන්දණිය සරණ පාවා ගැනීමත් යන කරුණු නිසා ඔහු සම්ප්‍රදායිකත්වයට බය නොවුණු රජෙක්. අවුරුදු 44ක් ලංකාව යෙහෙන් පාලනය කරන එතුමා සිංහලයේ දෙවන රාජ වංශය වෙන ලම්භකර්ණ රාජ වංශයේ ආරම්භකයා විදියට ඉතිහාස පොත් අතරට එකතු වෙනවා.

 

5. විශිෂ්ට රාජ්‍ය පාලනයක්

Story of king wasabha

Source – youtube.com

සුභ වගේ ම වසභ රජතුමාත් අනාවැකියක් අහනවා තමන්ගේ ආයුෂ අඩු බවට. ඒ ඩිංග වැඩි කරගන්න පින් අනුමෝදන් වෙන්න කියාලා වෙහෙර විහාර, වැව් අලුතින් හදලා නිරන්තරයෙන් භික්ෂූන්ට සහ දිළින්දන්ට ඇප උපස්ථාන කරනවා. රට ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් ගණනින් වැව් පහළොවක් ම එතුමා කරවලා තියනවා. ඒ වගේ ම මේ කාලයට අයිති කාසිත් පුරාවිද්‍යාඥයන්ට හමුවෙලා තියෙනවා. රටේ ආරක්ෂාවට ලොකු ප්‍රාකාරයක් නගරය වටා කරවන්නත් දේශපාලනික වශයෙන් බලය බෙදාහරින්නත් රජෙක් විදියට මෙතුමාගේ පාලන කාලය ඇපකැප වෙලා තියෙනවා.

 
Cover Image Source – prasanna weerakkody / rupa kodituwakku