රෝමියෝ ජුලියට්, ලයිලා මජ්නූන් වගේ ලෝකයේ ජනප්‍රිය ප්‍රේමකතා හා සමානව අපේ රටේ උදවිය අතර කතාබහට ලක්වෙන පෙම් කතාවක් තමයි සාලිය අශෝකමාලා පෙම් කතාව කියන්නේ. ඒ පෙම් කතාව ගැනයි අද අපි මේ ලිපිය ඔබට ගෙන එන්නේ. එහෙනම් වැඩි විස්තර නැතුව අපි අපේ ලිපියට යමු.
1. සාලිය අශෝකමාලා හමුවීම
සාලිය කියන්නේ අපේ රටේ පහළ වූ ශ්‍රේෂ්ඨතම රජ කෙනෙකු වන දුටුගැමුණු රජතුමාගේ එකම පුතුණුවන්. අශෝකමාලා කියන්නේ චණ්ඩාල නම් වූ පහත් කුලයකට අයත් වුණු තරුණියක්. ඇය අශෝක නම් ගසක මල් නෙළමින් සිටි අවස්ථාවේ සාලිය කුමාරයාගේ නෙතට අහම්බෙන් ඇයව හසු වනවා. සමහර ජනප්‍රවාද වලට අනුව අශෝකමාලා මේ අවස්ථාවේ ඉතාම මිහිරි හඬින් ගී ගයමින් සිටි බවද පැවසෙනවා. අශෝකමාලාව දකින සැණින් සාලිය කුමරු මේ තරුණියත් සමඟ ආදරයෙන් බැඳුණු වග තමයි ඒ හැම පුවතකින්ම කියවෙන්නේ…
2. රැවටුණු චිත්‍රය
සාලිය අශෝකමාලා හමුවීම ගැන තවත් රසබර කතාවක් පැරණි ජනප්‍රවාදවලින් හමුවනවා. එම කතාවට අනුව වරක් අශෝකමාලා අනුරාධපුරය නගරයේ යම් ගමනක නිරත වෙමින් සිටි අවස්ථාවක සාලිය කුමරු තමන්ගේ රථයෙන් ඇය අසලින් ගමන් කොට තිබෙනවා. මෙවෙලේ බියට පත්වන අශෝකමාලා කරන්නේ අසල තිබූ ප්‍රාකාර බිත්තියකට හේත්තු වෙමින් සැඟවෙන්න උත්සාහ කිරීමයි. ප්‍රාකාර බිත්තියට ඇලී සිටින අශෝකමාලාව සාලිය කුමරු දකින්නේ සිත්තරෙක් විසින් අඳින ලද අලංකාර සිතුවමක් ලෙසයි. එම සිතුවම අඳිනු ලද්දේ කවුරුන් විසින්දැයි තම සේවකයින්ගෙන් විමසන සාලිය කුමරුට තමන් දුටුවේ සිතුවමක් නොව අතිශය රූමත් ජීවමාන තරුණියක් බව දැනගන්නට ලැබෙනවා. ඉන් පසුව සාලිය කුමරු ඇයව තම මාළිගයට ගෙනගොස් සිය බිසව කරගත් බව එම ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.
3. බාධා
හැම ආදර කතාවකටම මෙන් මේ ආදරේටත් බාධා රැසක් එල්ල වනවා. ඉන් ප්‍රධානම බාධාව වන්නේ ඔවුන් දෙදෙනා අතර පවතින කුල භේදයයි. සාමාන්‍යයෙන් මෙවැනි නොපෑහෙන කුල අතර සිදුවන ආදර කතාවක අවසන් ප්‍රතිඵලය වන්නේ මරණ දඬුවමයි. නමුත් මේ ප්‍රේමකතාවේ අවසන් ප්‍රතිඵලය ඊට වෙනස් එකක් වෙනවා. සාලිය කුමරුගේ පිය රජතුමන් වන දුටුගැමුණු රජු විසින් සාලිය සහ අශෝකමාලාව පිටුවහල් කරනු ලබනවා.
කෙසේ නමුත් තවත් සමහර ජනකතාවලට අනුව නම් අශෝකමාලාව දැක පෙමෙන් බැඳෙන සාලිය කුමරු තමන් රජ පෙළපතකින් පැවත එන බව සඟවමින් අශෝකමාලාව විවාහ කොටගෙන සැඩොල් ගමේ ජීවත් වෙන්න පටන් ගත් බවටත් කියවෙනවා.
4. රජකම අහිමිවීම සහ රජුගේ ආශීර්වාදය හිමිවීම
ප්‍රේමය නිසා සාලිය කුමරු රජකම අත්හැරි බව තමයි ප්‍රසිද්ධ මතය වන්නේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධව විවිධ විවාදාත්මක කරුණු තිබෙනවා. අතීත සිංහල රාජ සම්ප්‍රදාය අනුව රජකම පැවරුණේ සොයුරාගෙන් සොයුරාට මිස පියාගෙන් පුතාට නොවන බැවින් සාලිය කුමරා රජකම එපා කියූ බව සාවද්‍ය කතාවක් බවට සමහර ඉතිහාසඥයින් මත පළ කරනවා. කෙසේ වෙතත් රජ කුලයට වැද්ද නොගත්තත් අශෝකමාලාට සහ සාලිය කුමරුට දුටු ගැමුණු රජුගේ ආශීර්වාදය හිමි වූ බව කියවෙනවා. ඊට අශෝකමාලා සතුව පැවති රූපශ්‍රීයත් බෙහෙවින්ම බලපා ඇති බවටයි පුරාණ කතාවලට අනුව පැවසෙන්නේ. සාලිය සහ අශෝකමාලා හමු වූ අශෝක වනය තුළම උත්සවශ්‍රීයෙන් මේ දෙදෙනාව සරණ පාවා දී එම උයනේම ඉදිකරන ලද තෙමහල් මාළිගයක් දුටුගැමුණු රජු විසින් ඔවුන්ට තෑගි කළ බවට ඉතිහාසයේ සඳහන් වෙනවා.
5. තන්තිරිමලයට නම ලැබීමට හේතුවූ සිදුවීම
එක දිනක් අශෝකමාලා විසින් පිසිනු ලැබූ රත්තම්පලා ව්‍යංජනයක් සේවකයෙකු අතේ දුටුගැමුණු රජු වෙන යවනු ලැබ තිබෙනවා. රජතුමන් යම්කිසි ගැටළුවකින් පීඩාවට පත්ව දැඩි කෝපයකින් පසුව සිටි අවස්ථාවකයි සේවකයා විසින් මේ ආහාරය රැගෙන එන්නේ. එනිසා කෝපයෙන් පසුවූ රජු “සැඩොල් ගැහැණියකගේ ආහාර මා හට එපා” යැයි කියමින් එම ආහාර බඳුන මාළිගයේ බිත්තියකට වදින සේ කෝපයෙන් විසිකරනවා. කාලයත් සමග බිත්තියට ඇලුණු එම රත්තම්පලාවලින් පැළ හටගන්නවා. එම පැළ වසාගෙන තන්තිරියන් නම් කෘමි විශේෂයක්ද පැතිරෙන්න පටන් ගන්නවා
මේ අතරතුර එක් දිනක් විසප්පු ගෙඩියකින් රජතුමාගේ කකුළේ තුවාලයක් ඇතිවෙනවා. මේ තුවාලය සුව කරන්න හැකි රත්තම්පලා වලින් පමණක් බවයි වෙදැදුරන්ගෙන් දැනගන්න ලැබෙන්නේ. නමුත් රත්තම්පලා සොයාගැනීම දැඩි අසීරු කාර්යයක් වෙනවා. ඒ මොහොතේදී බිත්තියේ ඇලුණු රත්තම්පලා ගැන රජුගේ සේවකයාට සිහිපත් වනවා. අවසානයේදී එතැනින් ලබාගන්නා රන්තම්පලා ගෙන රජු සුව කිරීමට වෙදුන් සමත්වනවා. පසුව අශෝකමාලා විසින් එවූ රත්තම්පලා ව්‍යංජනය නිසා තමන් සුවපත් වූ බව දැනගන්නා රජතුමා අශෝකමාලාට ස්තූති කරමින් (රත්තම්පලා පැළවල පැතිරී සිටි) තන්තිරියා කෘමීන්ගේ හැඩයට රනින් කළ මාලයක් ත්‍යාග කර තිබෙනවා.
පසු කලෙක සාලිය කුමරුන් විසින් මේ තන්තිරියා මාලය නිදන් කරනු ලැබූ බවත්, තන්තිරිමලය ප්‍රදේශයට එම නම ලැබුණේ ඒ හරහා බවත් ජනප්‍රවාදවල කියවෙනවා.
6. පෙම් කතාව සඳහන් පැරණි මූලාශ්‍ර
සාලිය අශෝකමාල පෙම්පුවත ගැන මහාවංසය, දීපවංශය වගේ පුරාණ සාහිත්‍ය මූලාශ්‍ර වල දැක්වෙන්නේ තරමක් කෙටියෙන්. මේ පෙම් පුවත ගැන ගොඩාක් දුරට දැනගන්න පුළුවන් මූලාශ්‍රය වන්නේ සද්ධර්මාලංකාරයයි. මේ කෘතියේ මේ ආදර කතාව ගැන තරමක් විස්තරාත්මකව කරුණු සඳහන්ව තිබෙනවා.
7. සාලිය අශෝකමාලා පසුබිම් කරගත් කලා නිර්මාණ
සාලිය අශෝකමාලා කතාවත් සමගම මුලින්ම මතකයට එන තවත් ලාංකීය පෙම් සිහිවටනයක් වන්නේ ඉසුරුමුණි පෙම් යුවළයි. ඒ ගල් කැටයම නිර්මාණය කර තිබෙන්නේ මේ සාලිය අශෝකමාලා ආදර කතාව පසුබිම් කරගෙන බවටත් අපේ සමහර ජනප්‍රවාද වල කියවෙනවා. ඒ විතරක් නෙමෙයි, සිංහල ගී කලාවෙත් ගීත ගණනාවකට සාලිය අශෝකමාලා කතාව පසුබිම්ව තිබෙනවා. හියුබත් දිසානායකයන් විසින් පද රචනය කොට සුනිල් ශාන්තයන් විසින් ගයනු ලැබූ මේ “හෝපලු වනයේ” ගීතයටත් මේ සිදුවීමයි පසුබිම් වුණේ. සිංහල සිනමාවේ දෙවැනි කතානාද චිත්‍රපටය වන අශෝකමාලා (1947) චිත්‍රපටයද මේ පෙම් කතාව පාදක කරගෙන නිර්මාණය කරන ලද්දක්.
ශශින් ප්‍රබෝද්
Leave a Reply