සසර මග කෙටි කළ මාහෝ සුමේධ හිමි

පසුගිය සති කීපය තුළ අපි බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නායක හාමුදුරුවෝ ගැන සහ රේරුකානේ චන්දවිමල මහනායක හාමුදුරුවො ගැන ලිපි දෙකක් ඔබට ගෙනාවා. අද අපේ ලයිෆි ආටිකල් එක වෙන් වෙන්නේ ලංකාවේ බොහෝ බෞද්ධයන් පිරිසක් ඒ තරම් නොදන්න ලංකාවේ වැඩ වාසය කරපු සුවිශේෂී භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳව. උන්වහන්සේ තමයි මාහෝ සුමේධ හාමුදුරුවෝ.

 

1. මාහෝ සුමේධ හාමුදුරුවො ගැන බළන්ගොඩ ආනන්ද මෛත්‍රය මහා නායක හාමුදුරුවෝ ප්‍රකාශ කරපු දේ

මේ ආටිකල් එකේ ආරම්භයක් විදිහට බළන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ සිදු කරපු ප්‍රකාශයක් අපි උපුටා දක්වන්න කැමතියි.

 

“සමහර අය බොහොම උසස් තත්ත්වයන්ට පත් වෙලා ඉන්නවා. පුදුමෙනුත් පුදුමයි. මාහෝ සුමේධ කියලා හාමුදුරු කෙනෙක් හිටිය අනුරාධපුර පළාතේ. ටික කලක් මෙහේ බළන්ගොඩත් ඇවිත් හිටියා. උන්වහන්සේ ගැන මං හොඳට දන්නවා. උන්වහන්සේ එක්කෝ අනාගාමී තත්ත්වයට පත්වෙලා. ඉන් එහාට මිසක් මෙහාට නම් නැහැ. එක්කෝ රහතන් වහන්සේ නමක්. ඔය තත්ත්ව වලින් එකක් ලබන්නට ඇති. මාහෝ සුමේධ හාමුදුරුවන් පසුගිය දා අපවත් වුණා”

 

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නායක හාමුදුරුවෝ මතු බුදු වෙන බලාපොරොත්තුවෙන් හිටපු බෝධිසත්ව උත්තමයෙක්. ඒ නිසාම උන්වහන්සේ ආධ්‍යාත්මික ව විශාල දියුණුවක් ලබා සිටි භික්ෂුන් වහන්සේ නමක්. මාහෝ සුමේධ හාමුදුරුවෝ ගැන මෙහෙම කතාවක් හේතුවක් නැතුව බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ කියන්න කියන එකක් නෑ කියන එක අවධාරණය කරන්න ඕනේ නැහැයි කියලා අපි හිතනවා

 

2. උන්වහන්සේ ගේ උපත 

මාහෝ සුමේධ හාමුදුරුවෝ උපත ලබන්නේ සුවිශේෂී වූ දවසක. උන්වහන්සේ උපත ලබපු දවසේ ලංකාවේ අහසේ  වෙසක් සඳ බබළමින් පැවතුනා. 1916 මැයි 16 වෙසක් පෝය දවසේ මහව ගමේ බණ්ඩාරනායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා බණ්ඩා හා  ප්‍රධාන මුදියන්සේලාගේ මුතු මැණිකා යන ගුණවත් දෙමව්පියන්ට දාව උපත ලබපු උන් වහන්සේව දෙමව්පියන් විසින් හඳුන්වනු ලැබුයේ පුංචිබණ්ඩාර යන නමින්.

 

3. පැවිදිවීමට එළඹීම

කුඩා කාලයේ සිටම ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමට පෙළඹුණු උන් වහන්සේ සත් හැවිරිදි වියේදී තම මව සමඟ පන්සලේ පින්කමක් සඳහා සහභාගි වුණා. ඒ අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් වහන්සේ මේ කුඩා දරුවාගෙන් පැවිදි වීමට කැමතිදැයි විමසා සිටියා. ඇතැම්විට ඒ අවස්ථාවේදී උන්වහන්සේ දරුවා එම යෝජනාවට අකමැති වේයැයි  සිතන්නත් ඇති. නමුත් සෑම දෙනාම පුදුමයට පත් කරමින් මේ දරුවා එක පයින් තමන් පැවිදි වීමට කැමති බව ප්‍රකාශ කළා. ඒ අනුව  උන්වහන්සේ හත් හැවිරිදි වියට එළඹෙන 1923 මැයි 16 වැනිදා උදෑසන 9.36 ට යෙදුණු සුභ මොහොතේදී කුඩා පුංචි බණ්ඩාරව, ගලයාය විහාරාධිපති මහකෝන්වැවේ සරණංකර හිමියන්ගේ සහ කයිකාවල රජමහා විහාරාධිපති සද්ධර්මවාගීශ්වරාචාර්‍ය, කදුරුවැවේ ඉන්දසුමන හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යත්වයෙන් මාහෝ සුමේධ නමින් පැවිදි කරනු ලැබුවා.

 

4. අධ්‍යාපන කටයුතු 

පුරාණ චාරිත්‍රානුකූලව මූලික බණ දහම් ආදිය තමා ගුරුවරයාගේ ආශ්‍රයෙන් ලබාගත් මාහෝ සුමේධ පොඩි හාමුදුරුවන් වැඩිදුර අධ්‍යාපනය සඳහා අනුරාධපුර මහා විහාර පිරිවෙනට වැඩම කළා.ඊට පස්සේ උන්වහන්සේගේ අධ්‍යාපන නවාතැන වුණේ ලංකාවේ පැරණිතම පිරිවෙන විදිහට සැලකෙන රත්මලානේ පරමධම්ම චේතිය මහා පිරිවෙනයි. එම පිරිවෙනේ විභාගවලදී පැය තුනේ ප්‍රශ්න පත්‍රය පැයකින් ලියා නිම කොට උන්වහන්සේ වාර්තාවක් පවා පිහිටුවනු ලැබුවා. ඒ වගේම සාමාන්‍යයෙන් ලංකාවේ භික්ෂූන් වහන්සේලා අධ්‍යයනය කරනු ලබන පාලි සහ සංස්කෘත භාෂාවල ට අමතරව බුරුම භාෂාවේ ප්‍රවීණත්වය ද උන්වහන්සේ ලබා ගත්තා. කළගුණ සැලකීමේ උතුම් ගුණය තමන්ගේ ජීවිතයේ කොටසක් කරගත් උන්වහන්සේ, තමන් වහන්සේ ඉගෙනුම ලැබූ එම පිරිවෙනේ ගුරුවරයකු ලෙස වසර තුනක් පමණ සේවය කර ප්‍රතිපත්ති පූජාවෙන් පිරිවෙන වෙත කළගුණ සළකණු ලැබුවා.

 

5. ස්වාර්ථය සහ පරාර්ථය සැලසූ සුමේධ හාමුදුරුවෝ 

ගුරු දිවියෙන් අනතුරුව උන් වහන්සේ සල්ගල ආරණ්‍ය සේනාසනය, ඉංගිරිය මඩකඩ ආරණ්‍ය සේනාසනය, පොකුණුවිට භාවනා යෝගාශ්‍රමය යන ආරණ්‍ය සේනාසන තුළ වැඩ වාසය කරමින් තමන් වහන්සේගේ ආධ්‍යාත්මික දියුණුව ස​ළසා ගත්තා. එමෙන්ම එම සේනාසන වෙත පැමිණෙන උපාසක උපාසිකාවන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන්ද  සුවිශේෂී මෙහෙයක් ඉටු කරනු ලැබුවා. ධර්ම දේශනා සිදු කරද්දී උන්වහන්සේ සතු වූයේ උන්වහන්සේටම ආවේණික සම්ප්‍රදාය​යක්. විවිධ උපමා රූපක භාවිතා කරමින් දහම් ගැටළු නිරාකරණය කිරීමට උන්වහන්සේ කටයුතු කළා. මේ කාලය තුළ උන්වහන්සේ රෝගී වීම හේතුවෙන් උන්වහන්සේගේ ගමේ දායකයන් නැවතත් උන් වහන්සේව ගල් යායේ විහාරස්ථානය වෙත නැවත වැඩමවා වදාරන ලෙස දැඩි ලෙස ඉල්ලීම් කරනු ලැබුවා. අවසානයේදී එම දායකයන්ගේ ඉල්ලීම පිළි ගත් උන්වහන්සේ 1963 වෙසක් පුර පෝ දා පටන් ගලයාය විහාරස්ථානය තමන්ගේ ස්ථීර විහාරය කර ගනිමින් වැඩ වාසය කළා.

 

6. මෙම භවය අත් හැරීම 

1963 වර්ෂයේ දී උන්වහන්සේගේ උදරයේ පිළිකාවක් ඇති බව වෛද්‍යවරුන් විසින් සොයාගත් අතර උන්වහන්සේ වසර දෙකක්වත් ජීවත් නොවනු ඇතැයි ඔවුන් පැවසුවා. නමුත් උන්වහන්සේ වෛද්‍ය විද්‍යාත්මක මතය බොරු කරමින් වසර 26 ක පමණ කාලයක් වැඩ වාසය කළා. 1989 මාර්තු 19වැනිදා උන්වහන්සේ එම රෝගය නිසා දැඩි ලෙස පීඩාවට පත්වූ අතර දායක කාරකාදීන් උන් වහන්සේව කුරුණෑගල ප්‍රදේශයේ රෝහලක නේවාසිකව නවතා ප්‍රතිකාර ලබා ගැනීමට සලස්වනු ලැබුවා. එහි දී දහවල් දානය වැළඳීමෙන් පසුව තමන් අසල සිටි උපස්ථායකයාට තමන් වහන්සේ නිරෝගීව වෙසෙන බවත් ඔහුට ද ගොස් ආහාර ගන්නා ලෙසත් උන් වහන්සේ පැවසුවා. ආහාර රැගෙන උපස්ථායකයා නැවතත් සුමේධ හිමියන් වෙත පැමිණෙන විට උන්වහන්සේ මේ භවය අත්හැර ගොස් තිබුණා.

 

7. උන්වහන්සේ විසින් සිදුකළ පින්කම් සහ ධර්ම දේශනා 

උන්වහන්සේ  තම මුළු ජීවිත කාලය පුරාවටම බුද්ධෝපස්ථානය යෙදුණු උතුම් ස්වාමීන් වහන්සේ නමක්. දිනපතා විචිත්‍රවත් ලෙස බුද්ධ පූජාව තැබූ උන්වහන්සේ බුද්ධෝපස්ථායක ආනන්ද තෙරණුවන් සේම ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනා සිටින අයුරෙන් ම විවිධ පුද පූජා කළා. විවිධ අවස්ථා වල තමන් වහන්සේ  ඇසුරු කළ නා උයනේ අරියධම්ම ස්වාමින්වහන්සේ වැනි ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේලා වැඩම කරවා ගනිමින් විවිධ දානමය පින්කම්වල  නිරත වුණා. මෙම පින්කම් අතරින් රුවන්වැලි සෑය වෙනුවෙන් උන්වහන්සේ සිදුකළ පින්කම අති දුර්ලභ පින්කමක් ලෙස සැලකෙනවා.

 

උන්වහන්සේගේ ධර්ම ධර්ම දේශනා ඇසීම සඳහා :

http://mahosumedhahimi.com/sumedhahimi/index.php/dharma-deshana/

 

ධර්ම දානය සඳහා මේ ආටිකල් එක ෂෙයාර් කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.

 

මතු බුදු වන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ ගැන අප්‍රකට කතා ලිපි​ය මෙතැනින් කියවන්​න

තොටගමුවේ රහල් හිමි සම්බන්ධ වික්‍රමාන්විත කතන්දර මෙතැනින් කියවන්​න

රේරුකානේ චන්දවිමල මහනායක හාමුදුරුවෝ ගැන අප්‍රකට කතා මෙතනින් කියවන්​න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *