දැන් අපි ගොඩක් දෙනෙක් රැකියාවක් කරනවා නම්, ඒ කරන රැකියාවට අදාළව වෘත්තිය ක්ෂේත්‍රයක් තියෙනවනේ. එතකොට එහෙම එක වෘත්තිය ක්ෂේත්‍රයකට සීමා වුණු රැකියාවක් කරන අපිට වෘත්තිය ජීවිතේ ඉදිරියට යන්න ඒ වෘත්තිය ක්ෂේත්‍රය ඇතුළේ තවදුරට ඉගෙන ගැනීම, අත්දැකීම් ලබාගැනීම සහ ඉහළට යෑම තමයි වැදගත් වෙන්නේ. ඒ නිසාම, අපි ගොඩක් දෙනෙක් සාමාන්‍යයෙන් එහෙම අවුරුදු 20 ගණන් ඇතුළතදී හරි එක වෘත්තිය ක්ෂේත්‍රයක් තෝරගත්තට පස්සේ, ඒ වෘත්තිය ක්ෂේත්‍රය වෙනස් නොකර, ඒක ඇතුළේම ඉඳගෙන ඉහළට යන්න තමයි උත්සාහ කරන්නේ. මොකද, එහෙම නැතිනම්, අපේ වෘත්තිය පළපුරුද්දට අගයක් නොලැබෙන්න ඉඩ තියන නිසා. උදාහරණයක් විදියට ගත්තොත්, අවුරුදු දහයක් නර්ස් කෙනෙක් විදියට වැඩ කරපු කෙනෙක්, අලුතෙන් සේල්ස් ජොබ් එකකට ගියා කියලා, එයාගේ අවුරුදු දහයක සාත්තු සේවයේ පළපුරුද්ද ගණන් ගැනෙන්නේ නෑ. එයාට සේල්ස් ජොබ් එක ඉගෙන ගනිමින්, ජූනියර් තැනක ඉඳන් තමයි වැඩ කරන්න වෙන්නේ. හැබැයි එහෙම කිව්වට, ඇත්තටම අපිට අවුරුදු 40 ක් විතර වෙලා, ඒ කියන්නේ යම් කිසි ක්ෂේත්‍රයක අඩු තරමින් අවුරුදු 20 ක විතර සේවා පළපුරුද්දක් ලබාගත්තට පස්සේ වුණත්, අපි වැඩ කරමින් හිටපු ඒ ක්ෂේත්‍රය මාරු කරලා, වෙනස්ම ක්ෂේත්‍රයකට ඇතුළු වෙලා, ඉක්මනින්ම සාර්ථක වෘත්තිය ජීවිතයක් හදාගන්න පුලුවන්කම තියෙනවා. ඒක අමාරු වැඩක් වුණාට කිසිසේත්ම බැරි වැඩක් නෙවෙයි.
දැන් එහෙම වෘත්තිය ක්ෂේත්‍රය මාරු කරන කෙනෙක්, ඇයි ටෙක් ෆීල්ඩ් ජොබ් එකකට, එහෙම නැතිනම් තොරතුරු තාක්ෂණය, පරිගණක ක්‍රමලේඛනය සම්බන්ධ ක්ෂේත්‍රයකට මාරු වෙන්නේ? හේතුව සරලයි. මේ වෙනකොට ලෝකේ ඉහළම ඉල්ලුමක් තියෙන, ඉහළ මට්ටමේ වේතනයන් ගෙවන ක්ෂේත්‍රයක් තමයි තොරතුරු තාක්ෂණය කියන්නේ. සමහර වෙලාවට, තමන් කලින් කරමින් හිටපු ජොබ් එකේ එක්ස්පීරියන්ස් අදාළ කරගෙන ටෙක් ජොබ් එකක් කරන්නත් හැකියාවක් ලැබෙන්න පුලුවන් තරමේ, විවිධත්වයකුත් තියෙන ෆීල්ඩ් එකක් තමයි ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි නැතිනම් තොරතුරු තාක්ෂණය කියන්නේ.
අන්න ඒ නිසා අපි හිතුවා, අවුරුදු 40 පැනලා වුණත් තොරතුරු තාක්ෂණය ගැන කිසිම දෙයක් දන්නෙ නැතුව වුණත්, තොරතුරු තාක්ෂණය සම්බන්ධ රැකියා ක්ෂේත්‍රයකට ඇතුළු වෙන්න හිතන කෙනෙක්ට අනිවාර්යයෙන්ම වැදගත් වෙන උපදෙස් කීපයක් ලබාදෙන්න!
01. බය නැතුව බැක් ටු ස්කූල්
මෙන්න මේක තමයි ඉතින් වැදගත්ම කාරණාව. බැක් ටු ස්කූල්. විශේෂයෙන්ම ඔය තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් කිසිම ඉගෙනීමක් නැති කෙනෙක්ට මැදි වයසෙන් ටෙක් ෆීල්ඩ් එකට එන්න ඕන නම්, ඉගෙන ගැනීම කියන එක අනිවාර්යයි. මොකද, ටෙක් ෆීල්ඩ් එක කියන්නේ දවසින් දවස යාවත්කාලීන වෙන, සෑහෙන්න ඩිමාන්ඩින් ෆීල්ඩ් එකක් නිසා. මුලින්ම කරන්න ඕන තමන්ගේ පාත් එක තීරණය කරන එක. උදාහරණයක් විදියට, කෝඩින් කරන කෙනෙක් වෙනවද, ෆුල් ස්ටැක් ඩිවලොපර් කෙනෙක් වෙනවද වගේ කාරණා. ඒක තීරණය කරන්න ඕන තමන්ගේ දැන් තියෙන හැකියාවන් සහ ඉන්ටරස්ට් ගැනත් හිතලා. හොඳම දේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පරිණත වුණු එක්ස්පර්ට් කෙනෙක් එක්ක කතාබහ කරලා මේ පාත් එක තීරණය කරන එක.
ඒ පාත් එක තීරණය කරගත්තට පස්සේ පුලුවන්, ඒ ගැන ඉගෙන ගන්න ප්ලෑන් එකක් හදාගන්න. ඒ ගැන අපි ඊලඟට කියනවා. පළවෙනිම දේ තමයි, ආයෙමත් ඉගෙන ගන්න එකට බය නැතුව අත ගහන එක. සමහරුන්ගේ වැරදි අදහසක් තමයි ළමා කාලේ, තරුණ කාලේ ගියාට පස්සේ ඉගෙනීමට අවධානය යොමු කරන්න බෑ කියලා. ඒක වැරදියි.
02. ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්න
දැන් අපි දන්නවා යන්න අවශ්‍ය පාත් එක. දැන් කරන්න ඕන ඒ පාත් එකට වැදගත් වෙන සහ අත්‍යවශ්‍ය වෙන ඉගෙනීම් ටික හදාගන්න එක. ඇත්තටම මැදි වයසෙන් ටෙක් ෆීල්ඩ් එකට එන්න හිතනවා නම්, අර උඩින් කියපු විදියට පාත් එක තෝරගෙන, ඒ පාත් එකට අවශ්‍ය වෙන දේවල් ටික තමයි ඉගෙන ගන්න ඕන. ඒ දේවල් මොනවද කියන එක දැනගන්නත් අර උඩින් කියපු විදියටම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ එක්ස්පර්ට් කෙනෙක්ගෙන් උපදෙස් ලබාගන්න එක වටිනවා. ඔන්ලයින් සර්ච් කරලා හොයාගන්නත් පුලුවන්. හැබැයි සමහර ප්‍රායෝගික කාරණා දන්නේ ෆීල්ඩ් එකේ කාලයක් හිටපු කෙනෙක් තමයි. දැන් ඉගෙන ගත යුත්තේ මොනවද කියලා දැනගත්තා නම්, ඊලඟට ස්ටඩි ප්ලෑන් එකක් හදන්න පුලුවන්. එතනදී, අපිට මූලික දැනුම මොනවද, ඊලඟට තෝරගත්ත පාත් එකේ ජොබ් එකකට යන්න අවශ්‍ය වෙන ඉගෙනීම මොනවද, එතකොට ඒ පාත් එකට අවශ්‍ය ස්කිල්ස් මොනවද කියන එකත්, අන්තිමට ඒ පාත් එකට වැඩිමනත් ඉගෙන ගන්න ඕන මොනවද කියන එකත් කොටස් වලට කඩා ගන්න පුලුවන්.
දැන් අපේ ස්ටඩි ප්ලෑන් එකේ මූලික දැනුම සහ පාත් එකට අත්‍යවශ්‍ය වෙන ඉගෙනීම සහ ස්කිල්ස් මොනවද කියන එක තමයි මූලික වෙන්න ඕන. මොකද, වැඩිමනත් ඉගෙන ගන්න දේවල්, ෆීල්ඩ් එකේ වැඩ කරන ගමන් වුණත් ඉගෙන ගන්න පුලුවන් නිසා. හැබැයි මේ ස්ටඩි ප්ලෑන් එක හදනකොට, කාලය ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද, අපි මැදි වයසෙන් ෆීල්ඩ් එක මාරු කරනකොට, අවුරුදු පහක් විතර ඉගෙනීමට යට කරන්න බෑ. ඒ නිසා අවුරුද්දකින් වගේ ඔය පළවෙනි කොටස් දෙකේ දේවල් ඉගෙන ගන්න පුලුවන් විදියට තමයි ස්ටඩි ප්ලෑන් එක හදාගන්න ඕන.
03. වීර්යයෙන් ඉගෙන ගන්න
දැන් ඔය ස්ටඩි ප්ලෑන් එහෙම හදාගෙන වැඩට බැස්සහම, වැඩේ ගොඩදාගන්න පුලුවන්ද? එක දෙයක් තියෙනවා නම් ඇත්තටම පුලුවන්. ඒ තමයි නොපසුබස්නා වීර්යය සහ අධිෂ්ඨානය. අපි ඒකත් පොයින්ට් එකක් හැටියටම කතා කරන්නේ මේකයි. මේ ලෝකේ ගොඩක් දෙනෙක්ට අඩු කාරණා දෙක වෙන්නෙත් ඕක නිසා. ඇත්තටම දේකින් ඉස්සරහට යන්න ටැලන්ට් එකට වඩා ඕන කරන්නේ වීර්යය සහ අධිෂ්ඨානය. ඒ දෙක තියෙනවා නම්, මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ. ඉතින් මැදි වයසෙන් ටෙක් ෆීල්ඩ් එකට මාරු වෙනවා කියන එක සෙල්ලමක් නෙවෙයි. ලොකු අභියෝගයක්. හැබැයි කට්ට කාගෙන දේවල් ඉගෙන ගන්න, ස්ටඩි ප්ලෑන් එකේ හැටියට වැඩ කරන්න සහ කිසිසේත්ම මැදදී වැඩේ අත්ඇරලා නොදාන මයින්ඩ්සෙට් එකක් තියාගන්න පුලුවන් නම්, මේක අමාරු චැලේන්ජ් එකක් නෙවෙයි.
04. පැරණි වෘත්තිය අත්දැකීම් ඵලදායීව යොදාගන්න
දැන් අපි මැදි වයසෙදී ටෙක් ජොබ් එකකට යන්න හදනවා නම්, ඒ කියන්නේ මෙච්චර කාලයක් ඉගෙන ගත්තු හැමදෙයක්ම පලක් නෑ කියන එකද? නෑ, වරදවා වටහාගන්න එපා. අපි අවුරුදු විස්සෙදී ජොබ් එකක් පටන් ගන්නකොට තියෙන තත්වය නෙවෙයි අවුරුදු හතළිහේදී ජොබ් එකක් පටන් ගන්නකොට තියෙන්නේ. අපි ජොබ් ෆීල්ඩ් එක මාරු කරන්න හදන්නේ එක්ස්පීරියන්ස් එක්ක. එතකොට ඒ එක්ස්පීරියන්ස් තියෙන්නේ උදාහරණයක් විදියට සේල්ස් ඇන්ඩ් මාකටින් ෆීල්ඩ් එකේ කියමු. එහෙමයි කියලා, ටෙක් ෆීල්ඩ් එකට යනකොට ඒ එක්ස්පීරියන්ස් සම්පූර්ණයෙන්ම අනදාළ වෙන්නෙ නෑ. ඇත්තටම අපිට මැදි වයසෙදී ටෙක් ෆීල්ඩ් එකට ආවා කියලා සීරෝ වල ඉඳන් ආයෙමත් අවුරුදු දහයක් විතර වැය කරලා තැනක් හදාගන්න බැහැනේ. හැබැයි එහෙම අවශ්‍යත් නෑ. අපි දැන් සීරෝ වලින් නෙවෙයි පටන් ගන්නේ. ආන්න ඒ නිසා, තමන්ගේ මෙච්චර කාලයක් තිබුණු වෘත්තිය අත්දැකීම්, අලුතෙන් ඇතුළු වෙන ටෙක් ෆීල්ඩ් එකට ගලපගන්න එක තමයි කරන්න ඕන.
05. වයස ප්‍රශ්නයක් කර නොගන්න
මේක ඇත්තටම මුලදිම එන්න ඕන කාරණයක්. ඒ තමයි, තමන්ට අලුතින් වෘත්තිය ක්ෂේත්‍රයක් තෝරගන්න වයස ප්‍රශ්නයක් කර නොගන්න එක. ඒ කියන්නේ, මම දැන් මේ වගේ දේකට වයස වැඩියි කියන ආකල්පයෙන් මිදෙන එක. හැබැයි ඒ වගේම තව කාරණයක් තියනවා. තමන්ගේ හරි වයස පිළිගන්න එකත් මෙතනදී වැදගත්. ඒ කියන්නේ මෙහෙම දෙයක්. උදාහරණයක් ගමු. දැන් ගොඩක් වෙලාවට ටෙක් ෆීල්ඩ් එකේ ඉන්නේ අතිශයින්ම තරුණ පරම්පරාවක්. එතනදී තමන්ට උරෙන් උර වැඩ කරන්න වෙන්නෙත් තරුණ පරම්පරාවක් එක්ක. අන්න එතකොට, අපිත් ඒ තරුණ පරම්පරාවට ගැලපෙන්න කියලා, අපේ වයසට නොගැලපෙන දැන් කාලේ විලාසිතා කරන්න ගිහින් හරියන්නෙ නෑ. මතක තියාගන්න, වැදගත් වෙන්නේ තමන් කරන දේ මිසක් තමන්ගේ වයස නෙවෙයි. හැබැයි එහෙමයි කියලා තමන්ගේ වයස නොපිළිගන්න ඕනැත් නෑ.
06. ආකල්ප ප්‍රශ්න, මමත්ව ප්‍රශ්න ඇති කර නොගන්න
උඩ කියපු වයස් කතන්දරේ එක්ක එන්න පුලුවන් තවත් ප්‍රශ්නයක් තමයි ආකල්ප ප්‍රශ්න සහ මමත්ව ප්‍රශ්න. ඒ කියන්නේ මෙහෙම එකක්. දැන් අපි ටෙක් ෆීල්ඩ් එකට මාරු වෙලා ඔන්න ජොබ් එකකුත් සෙට් කරගත්තා කියමුකෝ. දැන් මේ කම්පැණි එකේ අපේ වයසේ කෙනෙක් ඉන්නවා නම් ඉන්නේ ඉහළම පුටු වල වෙන්න පුලුවන්. අපිට වැඩ කරන්න වෙන්නේ අපිට වඩා බොහොම ලාබාල අයත් එක්ක. ගොඩක් වෙලාවට අපේ බොස්ලා වෙන්නෙත් අපිට වයසින් බාල අය වෙන්න පුලුවන්. එතකොට, අපිට ඒක ඊගෝ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. හැබැයි එහෙම වෙන්න බෑ. අපි තේරුම් ගන්න ඕන, අපි ජොබ් එකකට ගියහම එතන තනතුරු වලට වැදගත් වෙන්නේ ඉගෙනුම සහ අත්දැකීම් මිසක්, වයස නෙවෙයි කියන එක. ඒ නිසා, අපි ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති කරගැනීමෙන් වළකින්න ඕන.
දැන් ඒක ලොකු අවුලක් විදියට දැනෙනවා නම් තමන්ට ෆ්‍රී ලාන්සර් කෙනෙක් විදියට වැඩ කරන්න පුලුවන්. හැබැයි ඒත් ඉතින් අලුතෙන්ම ඇතුළු වෙන ෆීල්ඩ් එකක් ගැන කම්පැණි එකක් එක්ක වැඩ කරලා පොඩි හරි අත්දැකීමක් ලබාගන්න එක වටිනවා.
07. එක තැනකින් පොඩියට වැඩ කරන්න පටන් ගන්න
දැන් අපි ටෙක් ෆීල්ඩ් එකට බහින්න අවශ්‍ය දැනුම, කුසලතාවයන් සහ ටූල්ස් වලින් සන්නද්ධයි. දැන් අපි කොහෙන් හරි පටන් ගන්න ඕන. සාමාන්‍යයෙන් ටෙක් ෆීල්ඩ් එකේදී එහෙම බලන්නේ කෙනෙක්ට උපාධි කීයක් තියෙනවද කියන එක නෙවෙයි. දෙයක් කරන්න ඒ කෙනාට අවශ්‍ය හැකියාව, දැනුම, ශක්‍යතාවය තියෙනවද කියන එක. අන්න එතනදී, අපි ටෙක් ෆීල්ඩ් එකේ මීට කලින් ජොබ් එකක් කරලා නැති එක ගැටළුවක් වෙන්න පුලුවන්. මොකද, උඩ කියපු දේවල් එක්ක යම් කිසි එක්ස්පීරියන්ස් එකක් තියෙන්නත් ඕනනේ. ආන්න ඒකට හොඳ ක්‍රමයක් තමයි, තමන් ඉගෙන ගත්තු දේ යෙදෙන මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් දෙකක් කරන එක. ඒකෙන් තමන්ගේ දැනුමත් වර්ධනය වෙනවා. ඒ වගේම, තමන්ට ටෙක් ෆීල්ඩ් එකේ ජොබ් එකකට පෙන්නන්න හොඳ පෝට්ෆෝලියෝ එකක් හදාගන්නත් ඒක උදව්වක් වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, වෙබ් ඩිසයිනින් තෝරගන්න කෙනෙක්ට, සම්පූර්ණ වෙබ් එකක් හදලා පෙන්නන්න පුලුවන්. ඒක නොමිලේ කරන දෙයක් වුණත් කමක් නෑ. වැදගත් වෙන්නෙ තමන්ට එහෙම දෙයක් කරන්න පුලුවන් කියලා සාධක සහිතව පෙන්නන්න දෙයක් හදාගන්න එක තමයි. එතනින් එහාට, පටන් අරගෙන කරගෙන යන අතරවාරයේ, මේ ෆීල්ඩ් එකේ තමන්ට උඩට යන්න කරන්න පුලුවන් දේවල් අවබෝධ කරගන්න පුලුවන්.
08. හරියන කොම්පැණියක් එක්ක වැඩ කරන්න
සාමාන්‍යයෙන් කිසිම සමාගමක් හෝ ආයතනයක් තමන්ගේ සේවකයන්ව වයස අනුව, ලිංග භේදය අනුව හෝ වෙනත් කාරණයක් අනුව සලකලා වෙනස්ව සලකන්නේ නෑ. ඒ අයට ඕන කරන්නේ තමන්ට අවශ්‍ය වැඩේ කරන්න පුලුවන් හැකියාව, දැනුම සහ කුසලතාවයන් තියෙන මිනිස්සු විතරයි. හැබැයි එහෙම කිව්වට, ප්‍රායෝගිකව ගත්තහම, අපි මැදි වයසෙන් අලුත්ම වෘත්තිය ජීවිතයක් ආරම්භ කරන්න යන එකට යම් කිසි සමාගමක් 100% ක් සපෝට් නොකරන්න ඉඩ තියෙනවා. අන්න ඒ නිසා, අපි කෙටිකාලීනව හරි සමාගමක්, ආයතනයක් එක්ක වැඩ කරන්න හිතනවා නම්, ඒ කාරණාව ගැන සැලකිලිමත් වෙන එක හොඳයි. ඒක ගොඩක් දුරට ඉන්ටර්වීව් එකේදීම අපිටම අවබෝධ කරගන්න පුලුවන්. ඒ වගේම, තමන්ගේ වයසෙදී අලුත්ම ෆීල්ඩ් එකක ජොබ් එක පටන් ගන්නකොට ලැබෙන වේතනය සහ ප්‍රතිලාභ වලට, තමන්ගේ වයස සාධකයක් කරගන්නේ ඇති කොම්පැණියක් තෝරාගැනීමත් වැදගත්.
09. නෙට්වර්ක් එක හදාගන්න
මැදි වයසෙදී ටෙක් ෆීල්ඩ් එකට මාරු වෙනකොට හිතන්න ඕන තව දෙයක් තමයි, තමන්ගේ නෙට්වර්ක් එක ඊට අදාළව නිර්මාණය කරගන්න එක සහ වර්ධනය කරගන්න එක. මෙතනදිත් අර උඩින් කියපු විදියට අපි සීරෝ වල ඉඳලා පටන් ගන්න ඕන නැහැ. අපි අවුරුදු හතළිහේදී ටෙක් ෆීල්ඩ් එකට මාරු වෙන්න හිතුවත්, ඒ වෙනකල් අපි හදාගෙන ආපු ප්‍රොෆෙෂනල් ජීවිතේ ඇතුළේ අපිට කොහොමත් නෙට්වර්ක් එකක් තියෙනවනේ. ඉතින් අපි බලන්න ඕන, ඒ නෙට්වර්ක් එක ටෙක් ෆීල්ඩ් එකත් එක්කත් සැසඳෙනවද කියලා. වෙන්න පුලුවන් දේ තමයි, ටෙක් ෆීල්ඩ් එකේ කන්ටැක්ස් එහෙමත් අපේ දැනටමත් තියෙන නෙට්වර්ක් එකේ තිබීම. ඒකට අපේ යාළු මිත්‍රයෝ, හිතවත්තු, නෑදෑයෝ වගේ ඕනම කෙනෙක් අයිති වෙන්න පුලුවන්. දැන් අපි ඊලඟට කරන්න ඕන වෙන්නේ, ඒ කන්ටැක්ස් එහෙමත් එක්ක අපේ ටෙක් ෆීල්ඩ් එකේ නෙට්වර්ක් එකක් වර්ධනය කරගන්න එක තමයි.
10. දිගින් දිගටම ඉගෙන ගන්න, යාවත්කාලීන වෙන්න
මේක තමයි අවසාන කාරණාව. මැදිවයසෙදී ටෙක් ෆීල්ඩ් එකට මාරු වෙනවා වගේ අතිශය තීරණාත්මක තෝරාගැනීමක් කරන්න නිර්භීත වෙන්න ඕන වගේම, ඕනම අභියෝගයකට මුහුණ දෙන්න කැමති විදියේ කෙනෙක් වෙන්න ඕනනේ. ඒ විතරක් මදි, එහෙම තෝරාගැනීමක් කරන්න අප්-ටු-ඩේට් මනුස්සයෙක් වෙන්නත් ඕන. ඉතින් ඔය යාවත්කාලීන මනුස්සයෙක් කියන එක ටෙක් ෆීල්ඩ් එකට නම් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒ නිසා, ඉගෙන ගෙන, ටෙක් ෆීල්ඩ් එකේ ජොබ් එකක් හොයාගත්තටත් පස්සේ, ඔක්කොම හරි කියලා ඉන්න එපා. දිගින් දිගටම යාවත්කාලීන වෙන්න. ටෙක් ෆීල්ඩ් එකේ තමන් කරන ජොබ් එකට අදාළව අලුතින් එන ට්‍රෙන්ඩ්ස් ගැන දැනුවත්ව ඉන්න. ඒවා හොයලා බලලා ඉගෙන ගන්න. විශේෂයෙන්ම, දිගින් දිගටම ඉගෙන ගන්න.
Leave a Reply