ගැහැණිය සතු අපිරිමිත ධෛර්යය පෙන්වූ ස්නයිපර් වෙඩික්කාරිය – රෝසා ශනීනා

දෙවන ලෝක යුද්ධය කාලයේ හිට්ලර් සෝවියට් දේශයටත් විවිධ ප්‍රහාර එල්ල කළා. 1941 වසර වගේ වෙද්දි ඒ වෙනකොට සෝවියට් දේශයේ එහෙම නැත්නම් රුසියාවේ මිනිස්සු ගොඩකට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. ආසන්න වශයෙන් කෝටි දෙකක ජනතාවක් මේ හිට්ලර්ගේ කුරිරු ආක්‍රමණ වලින් ජීවිතෙන් වන්දි ගෙව්වා. අපේ කතානායිකාව වන රෝසා ශනීනා (Roza Shanina) කියන්නෙත් ඒ පීඩන හමුවේ ජීවිතයෙන් වන්දි ගෙවුව තැනැත්තියක්. නමුත් ඇය මියයන්නේ වීරවරියක් හැටියටයි. අද අපි ඇයගේ කතාව දැනගනිමු.

 

1. උපත

රෝසා ඉපදෙන්නේ 1924 වසරේ අප්‍රේල් මාසේ 3 වැනිදා රුසියාවේ පුංචි ගොවි ගම්මානයක් වුණු යෙඩ්මා ගම්මානයේ. ඇයගේ දෙමාපියන් වෙන්නේ ඇනා හා යේගෝර් යුවළයි. ගස් කපන්නෙකු වූ ඇගේ පියා පළමු ලෝක යුධ සමයේදී තුවාල ලැබ ආබාධිත වුණු තැනැත්තෙක්. ඒ වගේම ඇගේ මව මේ ගම්මානයේම කිරි දොවන්නියක හැටියට රැකියාවක නිරත වුණා. රෝසාට තව සහෝදර සහෝදරියෝ නවදෙනෙක් හිටියා. ඔවුන් අතරිනුත් තුන්දෙනෙක්ම හදගන්න ගත්තු දරුවන් වුණා…

 

2. අධ්‍යාපනය 

ඉතින් මේ පුංචි රෝසා මුලින්ම ඉගෙන ගන්නේ තම ගම වුණු යෙඩ්මා ගමේ පාසලකයි. ඊට අවුරුදු හතරකට විතර පස්සේ ඇය අධ්‍යාපනය සඳහා බෙරෙස්නික් නගරයට ගිහින් තමන්ගේ නැන්දාත් එක්ක ඒ නගරයේ ජීවත් වෙනවා. දෙමවුපියන්ගේ විරෝධය මධ්‍යයේම රෝසා වැඩිදුර අධ්‍යාපනය ලබන්නටද වෙහෙසෙනවා. එහිදී අධ්‍යාපන වියදම් අධික බැවින් වියදම් සොයා ගන්නට පෙර පාසල් දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරන්නටද ඇයට සිදු වෙනවා

 

3. යුද පෙරමුණ තෝරාගැනීම

1941 වසරේ හිට්ලර්ගේ බාබරෝසා මෙහෙයුම නිසා රුසියාවට උදාවන්නේ අසීරු කාලයක්. මේ අතරේ රෝසා​ගේ සොහොයුරෙක් වුණු මිහායිල්, හිට්ලර්ගේ ​මේ එක් ප්‍රහාරයකින්  මිය යනවා. රෝසා යුද පෙරමුණ තෝරගන්න පෙළඹෙන්නේ ඇගේ මේ සොයුරාගේ මරණයට පළි ගැනීමට සහ ඔහුට කරන ගරු කිරීමක් වශයෙනුයි. නමු‍ත් හමුදාවට එකතු වී​ම ඇ​ය හිතන තරම් ලේසි කාරණයක් වෙන්නෙ නෑ. ඒකට ප්‍රධානම හේතුව ඇය කාන්තාවක් වී​ම. නමුත් කොහොම හරි කීප වතාවත් උත්සාහ කිරීමෙන් පසුව රෝසා මේ සඳහා සුදුසුකම් ලබන්න සමත්වනවා. ඇය පුහුණුව ලබන්නේ Vsevobuch නම් මූලස්ථානයේ. ඉහළ දක්ෂතා දක්වමින් පුහුණුව අවසන් කරන ශනීනාට ස්නයිපර් පුහුණු කරන්නියක හැටියට පත්වීමක් ලැබුණත් ඇය එම තනතුර ප්‍රතික්ෂේප කරමින් තමන්ට සක්‍රීයව සතුරන්ට එරෙහි සටන්වල නිරත වන්නට අවශ්‍ය බව පවසනවා. ඉන්පසුව තුන්වන බෙලෝරුසියානු පෙරමුණේ 184 රයිෆල් බලකායට ඇයව යොමු කරවනු ලබන අතර පසුව ඇය එම බලකායේ ප්‍රධානියා හැටියටත් උසස්වීම් ලබනවා. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 19ක් පමණයි. 

 

4. නැගෙනහිර ප්‍රසියාවේ නොපෙනෙන භීතිය

මේ තරු​ණ වීරවරිය නිවැරදි ස්නයිපර් ඉලක්ක ගන්න, ඈත ඉන්න සතුරන්ට වෙඩි තියන්​න වගේ ගොඩාක් දේවල් වලට ගොඩාක් දක්ෂතා දක්වනවා. ඇය වසරක් පමණ කාලයක් තුළ සතුරු හමුදා භටයින් 59 දෙනෙකුගේ දිවි තොර කරන්නට තරම් දක්ෂ වෙඩික්කාරියක් වනවා. මේ වීරත්වය සහ දක්ෂතාවය හින්දාම ඇයව ජනතාව අතර ගොඩාක් ජනාදරයට පත්වෙනවා. ඒ වගේම ඇයව පුවත්පත්වල “නැගෙනහිර ප්‍රසියාවේ නොපෙනෙන භීතිය” ලෙසින් හඳුන්වන්නත් පටන් ගන්නවා. ඒ වගේම පුවත්පත් රැසක මුල් පිටකවරය සරසන්නත් ඇයගේ රුව යොදා ගැනෙනවා.

 

5. නොනවතින වීරත්වය

රෝසාගේ මේ දක්ෂතා සහ නිර්භීතකම නිසා ඇය හට කෙටි කලකින්ම Order of Glory පදක්කමද හිමි වනවා. එම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු සෝවියට් කාන්තා ස්නයිපර් සෙබළිය වන්නේද ඇයයි. චලනය වෙමින් පවතින සතුරු ඉලක්කවලට නිවැරදිව පහර එල්ල කරන්නටත්. කෙටි කාලයක් තුළ නිවැරදි ඉලක්ක දෙකක් සාර්ථක කරගන්නටත් ඇය සතුවූයේ ඉහළ දක්ෂතාවයක්. කෙමෙන් කෙමෙන් රුසියාව ලබන යුද සාර්ථකත්වයත් සමගම ඔවුන් කාන්තා ස්නයිපර්වරියන්ගේ සේවය අත්හිටුවීමට තීරණය කරනවා. නමුත් රෝසා මේ තීරණයට විරුද්ධ වෙමින් තමන්ව සටන් පෙරමුණට අනුයුක්ත කරන ලෙස දිගින් දිගටම ඉල්ලනවා. ඉන්පසු නැවත සටන් පෙරමුණ වෙත එක්වන රෝසා එක් වතාවකදී සතුරු භටයින් 3 දෙනෙක්ව තනිවම යටත්කොටගෙන ඔවුන්ව ජීවග්‍රහයෙන් තම කඳවුර වෙත ගෙනයන්නටද සමත්වනවා. 

 

6. දින පොතෙහි සටහන් 

සටනේ නිරතවන හමුදා සාමාජිකයන්ට දිනපොත් තබා ගැනීම එකල රතු හමුදාව විසින් දැඩි ලෙස තහනම් කරන ලද්දක් වුණා. නමුත් පුදුමයකට මෙන් රෝසා තමන්ගේ යුද අත්දැකීම් සහ පෞද්ගලික ජීවිතයේ අත්දැකීම් සටහන් කරන ලද දිනපොත් එකතුවක් පවත්වාගෙන ගොස් තිබෙනවා. 1941 වසරේ සිට 1945 දී මරණයට පත්වන තෙක් තම ජීවිත සටහන් ඇය එම පොත්වලට ඇතුළත් කොට තිබෙනවා. පුදුමයට හේතු වන තවත් කරුණක් වන්නේ රෝසා තමන්ට සටනේදී  වෙඩි වැදී මියයන්නට ආසන්න දිනයක තම මරණය ගැන ඉඟි පළ කරමින් සටහන් තබා තිබීමයි. 

 

7. මරණය

තම ජීවිතයේ අවසන් කාලය වන විට 144 වැනි රයිෆල් සේනාංකයේයි රෝසා සේවය කරන්නේ. සටන් පෙරමුණේදී සමහර අවස්ථාවල වෙඩි පහරවලට ලක්වී තුවාල ලැබුවත්, රෝසා නැවතත් ඉතා ඉක්මනින්ම ඉදිරිපෙළ සටන් වෙත යොමු වන්න කටයුතු කරනවා. නමුත් වාසනාව සැම විටම ඇයට මිතුරු වන්නේ නැහැ. 1945 ජනවාරි 27 වැනිදා කාලතුවක්කු බලඇණියේ කමාන්ඩර්වරයෙකුව බේරා ගැනීමට යාමේදී රෝසා දරුණු වෙඩි ප්‍රහාරයකට ලක් වනවා. පසුවදාම ඇය මෙලොව හැර යන්නේ තම 21 වැනි උපන්දිනයට මාස කිහිපයක් ඉතිරිව තිබියදී ඉතාම තරුණ වයසකදීයි. 

 

ශශින් ප්‍රබෝද් 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *