රේරුකානේ චන්දවිමල මහනායක හාමුදුරුවෝ ගැන අප්‍රකට කතා

බෞද්ධයන්ට බුද්ධාගම ගැන හොඳ අවබෝධයක් ලබාගන්න නම් ත්‍රිපිටකය පරිශීලනය කරන්න වෙනවා. ඒ වගේ ම අටුවා ටීකා ග්‍රන්ථ හදාරන්න වෙනවා. නමුත් ඒ වෙනුවට බෞද්ධයන්ට පහසුවෙන් ධර්ම කාරණා අවබෝධ වෙන විදිහට සකස් කරපු සුවිශේෂී පොත් පෙළක් දශක කීපයක් තිස්සේ අපේ රටේ බෞද්ධයන්ගේ ගෞරවාදරයට ලක් වෙලා තියෙනවා. මේ පොත් පෙළේ කතුවරයාණන් ​වහන්සේ තමයි රේරුකානේ චන්දවිමල මහා නායක හාමුදුරුවෝ. අද Lifie අපේ ලිපිය වෙන් වෙන්නේ උන්වහන්සේගේ පිළිබඳ අප්‍රකට කතා කීපයකට.

 

1. එකේ පන්තියේදී කොපි කරපු හැටි

උන්වහන්සේ 1897 ජූලි 19 වැනිදා රේරුකානේ නම් කුඩා ගමේදීයි උපත ලබලා තියෙන්නේ. රේරුකානේ ගම මුළු ලංකාවෙම ප්‍රසිද්ධ වුණේ උන්වහන්සේ හින්ද කියලත් කියන්න පුළුවන්. උන්වහන්සේගේ පියා වුණේ දොන් බස්තියෙන් ද පවුලිස් ගුණවර්ධන, මව වුණේ මුණසිංහගේ පොඩිනෝනා. උන්වහන්සේ දරුවන් හයදෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමලා. පැවිදි වීම නිසා උන්වහන්සේට පාසල් අධ්‍යාපනය ලබාගන්න සිද්ධ වෙන්නේ දෙකේ පන්තියට පමණයි. හැබැයි තමන්ගේ පාසල් අධ්‍යාපනය ලබපු කාලය ගැන රසකතාවක් උන්වහන්සේ පස්සෙ කාලෙක කියලා තියෙනවා. එක වසරෙන් දෙක වසරට ළමයින්ව සමත් කරන්න විභාගයක් පැවැත්වෙලා තියෙනවා. ඒ විභාගයේ දී ගුරුතුමා “තේ වතුර බීම ගුණයි” කියලා කියන වාක්‍ය දරුවන්ට ලියන්න කියලා තියෙනවා. හරියට අකුරු ලියන්න බැරි උන්වහන්සේ කරලා තියෙන්නේ තවත් කෙනෙක්ගෙන් බලල ඒ වාක්‍යය ඒ කෙනා ලියපු විදිහට ලියන එක. මේ නිසා උන්වහන්සේ කියන්නේ තමන් වහන්සේ එක වසරෙන් දෙක වසරට පාස් වුණේ කොපි කරලා කියලායි.

 

2. තම නිකායේ ආරම්භක අවස්ථාවේදීම පැවිදි වූ මහනායක හාමුදුරුවෝ

අමරපුර නිකාය කියන්නේ පාර්ශව ගණනාවකින් සමන්විත ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන නිකායක්. 1906 දී බුරුමයේ ශ්වේජින් නිකායට අයත් විනයාලංකාර නම්  ස්වාමීන්වහන්සේ නමක් ලංකාවේ වන්දනා ගමනකට පැමිණෙනවා .ඒ වගේම උන්වහන්සේ කැඩිච්ච සිංහලෙන් ධර්ම ප්‍රචාරක කටයුතුවලත් නිරත වෙනවා. උන්වහන්සේ වෙනුවෙන් මෙරට සැදැහැවත් ජනතාව පොකුණුවිට ප්‍රදේශයේ විනයාලංකාරාරාමය නමින් විහාරස්ථානයක් තනවා පූජා කරනව. මේ අවස්ථාවේදී උන්වහන්සේගේ ශිෂ්‍ය භාවය යටතේ කුඩා දරුවන් විසිහය දෙනෙක් පැවිදි කරනු ලබනවා. එය සිදුවන්නේ 1906 ජනවාරි 8 වැනිදා. මේ පැවිදි පින්කමත් සමගම ලංකාවේ ශ්වේජින් නිකාය ස්ථාපිත වෙනවා. එදින පැවිදි වූ එක දරුවෙක් පස්සෙ කාලෙකදී ශ්වේජින් නිකායේ මහනායක ධුරයටත් පත් වෙනවා. ඒ තමයි රේරුකානේ චන්දවිමල මහනායක හාමුදුරුවෝ.

 

3. බුරුමයේ ලොකුම කම්මැලියා 

විනයාලංකාර හාමුදුරුවෝ මේ දරු පිරිසක් පැවිදි කෙරුවට පස්සේ ඒ අය එක්ක නැවතත් බුරුමයට වැඩම කරනවා. වැඩම කරලා සාමණේරයන් වහන්සේලා ගේ අධ්‍යාපන කටයුතු තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලාට බාර දෙනවා. මේ අධ්‍යාපන ක්‍රමය ලංකාවේ අධ්‍යාපනය ක්‍රමයට වඩා සපුරා වෙනස්. බුරුම ඉගැන්වීම් කටයුතු සිද්ධ වෙන්නේ රාත්‍රී කාලයේදී. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ ගුරු හාමුදුරුවෝ රාත්‍රියේදී කිසිදු ආලෝකයක් නැතුව ධර්මය ඉගෙන ගැනීමේ සහ ඉගැන්වීමේ කටයුතුවල යෙදෙනවා. ගුරු හාමුදුරුවෝ කට පාඩමින් කියන දේ ධාරණය කර ගනිමින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට නැවත ඒවා කට පාඩමින් කියන්න නියම වෙනවා. ඊට අමතරව සෑම දිනකම උදේ අලුයම 4.30 ට අවදි වී වත්පිළිවෙත්වල නිරත වෙන්න ඕන. නමුත් රේරුකානේ චන්දවිමල සාමණේරයන්ට නම් උදේ නැගිටීම අපහසු වෙනවා වගේම රාත්‍රී කාලයේ පාඩම් කිරීමේදී දිගින් දිගට ම නින්ද යනවා. මුලින් මුලින් මේ  සාමණේරයන් හරිමගට ගන්න ගුරු හාමුදුරුවරු විවිධ දඬුවම් දීලා උත්සහ ක​ළත් වැඩක් වෙන්නෙ නැති නිසා ගුරු හාමුදුරුවෝ දඬුවම් දීම නවත්වලා දානවා. හැබැයි මේ සාමණේර හාමුදුරුවන්ට බොහෝ ධර්ම කරුණු සහ ධර්ම පුස්තක හොඳින් හිතේ නිකම්ම ධාරණය වෙනවා.

 

4. ලංකාවෙදි සිංහල ඉගෙන ගත්ත මහා නායක හාමුදුරුවෝ 

වසර ගණනාවක් බුරුමයේ ඉගෙනුම ලබපු රේරුකානේ හාමුදුරුවෝ උපසම්පදාව ලැබීමෙන් වසර කීපයකට පස්සෙ නැවතත් ලංකාවට වැඩම කළා. නමුත් දිගු කාලයක් බුරුමයේ වැඩ වාසය කිරීම නිසා උන්වහන්සේට සිංහල භාෂාව පිළිබඳව හොඳ දැනීමක් තිබුණේ නැහැ. මුල් කාලේ උන්වහන්සේ නැවතී හිටපු දෙමටගොඩ විසුද්ධාරාමයේ භික්ෂූන් වහන්සේලාට පාලි භාෂාවෙන් උගන්වන ගමන් අනෙකුත් ගුරු හාමුදුරුවරු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සිංහලෙන් උගන්වන ආකාරයට සවන් දීමෙන් තමයි උන්වහන්සේ සිංහල ඉගෙනගෙන තියෙන්නේ.

 

5. උන්වහන්සේගේ හිතමිත්‍රයෝ 

අසාමාන්‍ය ඥාන ශක්තියකින් හෙබි මහා පඬිවරයෙකු වුණත් උන්වහන්සේ ස්වභාවයෙන්ම කුඩා දරුවෙක් වගේ. උන්වහන්සේගේ පන්සලේ බොහෝවිට සිහිමඳ පුද්ගලයන් දකින්නට ලැබුණා. ඒ අයට උන්වහන්සේ ඉතා කාරුණිකව සැලකුවා. ලෝකය තමන් විසින් මැව්වයි කියලා විශ්වාස කරපු සාදයියා ඉන් එක්කෙනෙක්. ගණ්ඨාරතිස්ස නම් තවත් අමුතු පුද්ගලයෙක් උන්වහන්සේට බැණ වදිමින් ලිපියක් ලියලා තිබ්බා. උන්වහන්සේ ඒ කෙනාට ස්තුති කරලා පිළිතුරු ලිපියක් ලියලා තියෙනවා. මේ නිසා මේ පුද්ගලයා උන්වහන්සේගේ හිත මිත්‍රයෙක් බවට පත්වෙලා තියෙනවා. තමන් බුදු වුණා යැයි විශ්වාස කරපු  සුමනා සර්වඥ නම් කාන්තාවකුත් උන්වහන්සේට ලිපි ලියලා තියෙනවා.

 

6. තමන් වහන්සේ ගැන උන්වහන්සේ කියපු දේවල් 

1986 අප්‍රේල් මස 13 වැනිදා රේරුකානේ චන්දවිමල මහනායක හාමුදුරුවෝ තමන්වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ ලෙස කටයුතු කරපු කිරිඔරුවේ ධම්මානන්ද හාමුදුරුවන්ට විශේෂ ප්‍රකාශයක් කරනවා. ඒ “ධම්මානන්ද, මේ කාලේ, ලෝකෙ ඉන්න විශේෂ පුද්ගලයෙක් තමයි මම, ලෝකයා දන්නේ නැතුවට, එය ලෝකයාට දැන ගන්නට විදියක් නෑනේ” යනුවෙන්. බොහෝදෙනා විශ්වාස කරන්නේ උන්වහන්සේ තමන් වහන්සේ කිසියම් මාර්ගඵල ලාභියෙක් බව මේ ප්‍රකාශය හරහා ධම්මානන්ද හිමියන්ට දැනුම් දුන් බවයි.

 

7. උන්වහන්සේ ගේ අවසන් කැමැත්ත 

1981 වර්ෂයේ දී උන්වහන්සේ විසින් තමන් වහන්සේගේ අවසන් කටයුතු පැවැත්විය යුතු ආකාරය ගැන සටහනක් තබලා තිබ්බා. ඒ සටහනේ සඳහන් වෙලා තිබ්බේ මෙන්න මේ ආකාරයට. 

මරණ දැන්වීම් එපා.

මරණය ප්‍රසිද්ධ කරන්න එපා. 

කොඩියක් වත් දාන්න එපා. 

කිසිම සැරසිල්ලක් එපා.

මිනිය දැනට දහවල් කාලයේ ගත කරන කුඩා ඇඳ මත තබන්න. 

මිනිය සමීපයේ පහන් කිහිපයක් දල්වන්න. 

පන්සල් වත්තේ අයිනක දර සෑයක් තනන්න. 

දර සෑය හදා අවසන් වූ විගස උදේ හෝ දවල් හෝ රෑ හෝ  මිනිය එහි තබා පුච්චන්න. 

මිනි​ය සෑයේ තැබීමට ගෙන යා යුත්තේ ලෑලි තට්ටුවක් මත තබා ගෙනයි.

ආදාහනය අවසාන වීමෙන් පසුව එය නියම කර තිබූ පරිදි කළ බව පුවත්පත්වලින් ප්‍රසිද්ධ කරන්න.

 

උන්වහන්සේ සඳහන් කර තිබූ ආකාරයටම උන්වහන්සේගේ ආදාහන කටයුතු උන්වහන්සේ අපවත් වුණු 1997 ජූලි මස 4 වැනිදා සිදු කිරීමට ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ වග බලා ගත්තා. ඒ  ආදාහන පූජෝත්සවය පිළිබඳ වීඩියෝ එකක යූටියුබ් සබැඳියකුත් මේ සමග අපි එකතු කරනවා.

 

එහෙම නම් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් රේරුකානේ චන්දවිමල මහනායක හාමුදුරුවන්ගේ පොතපත ඔබට ධර්මය හැදෑරීමට කෙතරම් වැදගත් වූවාද යන්න ගැනත් සටහනක් තියන්න අමතක කරන්න එපා.

 

මතු බුදු වන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ ගැන අප්‍රකට කතා ලිපි​ය මෙතැනින් කියවන්​න

තොටගමුවේ රහල් හිමි සම්බන්ධ වික්‍රමාන්විත කතන්දර මෙතැනින් කියවන්​න

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *