උඩකැන්දවල සිරි සරණංකර හිමියන් ගැන අප්‍රකට කතා

භික්ෂු දේශපාලනයේ පුරෝගාමී චරිතයක් වුණු උඩකැන්දවල සිරි සරණංකර හාමුදුරුවෝ ගැන අපේ පරම්පරාවේ අය නම් අහලවත් නැතුව ඇති. නමුත් උන් වහන්සේ ජාත්‍යන්තරව පවා කීර්තියට පත් වෙච්ච භික්ෂු චරිතයක්. උන්වහන්සේගේ දේශපාලන මැදිහත්වීම නිසා සෝවියට් සංගමය මගින් ලෙනින් සාම ත්‍යාගයත් උන්වහන්සේට පිරිනැමුවා. Lifie මේ සටහන උන්වහන්සේ පිළිබඳවයි.

 

1. කට වහගෙන වළඳන්න

සරණංකර හාමුදුරුවන්ගෙ සටන්කාමීත්වය වැඩි වෙන්න මූලිකම හේතුව වෙන්නේ අනගාරික ධර්මපාලතුමාගේ ආශ්‍රය. උන්වහන්සේ කුඩා කාලයේදීම ඉන්දියාවේ ධර්ම ප්‍රචාරණ කටයුතු සඳහා පුරුදු පුහුණු කරවීම සඳහා අනගාරික ධර්මපාල තුමා රැගෙන යනවා. මේ කාලයේ දී සිදුවුණු රසවත් සිදුවීම් උන්වහන්සේගේ “සටනක සටහන්” නම් ස්වයං ලිඛිත චරිතාපදානයේ සඳහන් වෙලා තියෙනවා. වතාවක් කල්කටාවට නැවෙන් ගමන් කරද්දී උන්වහන්සේට ආහාර සඳහා පිරිනමලා තියෙන්නෙ මස් සහ බිත්තර. ඒ අවස්ථාවේදී සරණංකර හාමුදුරුවෝ ධර්මපාලතුමා දිහා බලලා මොකක් හරි අහන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වෙලාවෙදි ධර්මපාල තුමා හිනාවෙමින් “කට වහගෙන වළඳන්න” කියලා උන් වහන්සේට කතා කරන්න ඉඩක් දීලා නෑ.

 

2. වේල්සයේ කුමාරයාට පිරිත් කීම ප්‍රතික්ෂේප කරපු සරණංකර හාමුදුරුවෝ

උන්වහන්සේ කල්කටාවේ වැඩ සිටපු කාලයේ දී වේල්සයේ කුමාරයා ඉන්දීය සංචාරයකට පැමිණියා. මේ කාලය තුළ අනගාරික ධර්මපාලතුමා විවිධ හේතූ මත තමන් පෙර සිටි දැඩි බ්‍රිතාන්‍ය විරෝධී ප්‍රතිපත්තියෙන් බැහැර වෙලා හිටියේ. ධර්මපාල තුමා කල්කටාවේ වැඩ හිටපු භික්ෂූන් වහන්සේලා සියලු දෙනාටම වේල්සයේ කුමාරයා පිළිගැනීමේ උත්සවයට වැඩම කරලා, ඔහුට පිරිත් කියලා සෙත් පතන්න කියලා දැනුම් දුන්නා. නමුත් උඩකැන්දවල සරණංකර හාමුදුරුවෝ ගත් කටටම ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරලා තිබ්බා. මොකුත් නොකිව්ව අනගාරික ධර්මපාල තුමා පස්සේ තමන්ගේ හිතවතුන් එක්ක කියලා තියෙන්නේ “යන්තම් එක නමක් නම් හරියට හැදිලා” කියලා.

 

3. ඉන්දීය නිදහස් සටන සහ සරණංකර හාමුදුරුවෝ 

කොහොම වුණත් වුනත් පස්සේ කාලෙකදී සරණංකර හාමුදුරුවෝ සහ ධර්මපාල තුමා අතර දැඩි ලෙස මත ගැටුම් ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට සරණංකර හාමුදුරුවෝ නැවතත් ලංකාවට වැඩම කරන්න තීරණය කරනවා. නමුත් දුම්රිය පොලේදී ආපහු කල්පනා කරල තමන් වහන්සේ ඉගෙනුම ලබපු ශාන්ති නිකේතනයෙන් අධිපති රවීන්ද්‍රනාත් තාගෝර් පඬිතුමා ව මුණ ගැහෙන්න යනවා. තමන් වහන්සේ ඉන්දියාව තුළ රැඳී සිටීමටත් ඉගෙන ගැනීමටත් කැමති බව උන්වහන්සේ තාගෝර් තුමාට පවසනවා. නමුත් තමන් වහන්සේ සතුව මුදල් නැති බවත් උන්වහන්සේ කියනවා. තාගෝර් පඬිතුමා උන්වහන්සේගේ පාත්‍රය දිහාවට අත දික් කරලා “බෞද්ධ භික්ෂුවකට පාත්‍රයක් තියෙනවා නම් මුදල් අවශ්‍ය වෙන්නේ මොකටද?” කියලා අහනවා ඉන්පස්සෙ උන්වහන්සේ දිගටම ශාන්ති නිකේතනයේ රැඳී සිටිනවා.

 සරණංකර හාමුදුරුවෝ ඉන්දීය නිදහස් සටනේ පතාක යෝධයන් සමඟ උරෙනුර ගැටෙමින් කටයුතුවලට කරනවා. වතාවක් උන් වහන්සේ සුභාෂ් චන්ද්‍රබෝස් සමග සබඳතා පවත්වනු ලබන ත්‍රස්තවාදී කණ්ඩායමක ඇසුරටත් පත් වෙනවා. මේ නිසාම උන්වහන්සේ ඉන්දියාවේ දී සිරගත කිරීම්වලට පවා ලක් වෙනවා. ධර්මපාල තුමා අපවත් වෙද්දී ආදාහන පූජෝත්සවය සඳහා සරණංකර හාමුදුරුවෝ සහභාගි වෙන්නෙත් සිර ගෙයින් ලද විශේෂ අවසරයක් මඟින්.

 

4. ජීවිත කාලය පුරාවටම උපසම්පදා නොවුණු සරණංකර හාමුදුරුවෝ 

කුඩා කාලයේ ඉඳන් ම මල්වතු පාර්ශවය කුල භේදය පදනම් කරමින් සිදුකරන උපසම්පදා කිරීම පිළිබඳව සරණංකර හාමුදුරුවන්ට විරෝධයක් තිබුණා. සමාජවාදය හැදෑරීම නිසා මෙම විරෝධය තවත් දැඩි වුණා. මේ නිසා මඩුගල්ලේ සිද්ධාර්ථ හිමියන් සමඟ එකතුවුණු සරණංකර හාමුදුරුවෝ මල්වතු පාර්ශවය ප්‍රතිසංවිධානයට ලක් කළ යුතුයි කියලා විශාල හඬක් නැගුවා. ඒ වගේම එසේ ප්‍රතිසංවිධානය වන තෙක් තමන් වහන්සේ උපසම්පදාව ලබා ගැනීමෙන් වැළකෙනවා කියලත් ප්‍රකාශ කළා. පස්සෙ කාලෙකදි මඩුගල්ලේ සිද්ධාර්ථ හාමුදුරුවෝ සරණංකර හාමුදුරුවෝ තනි කරලා අවසානයේ දී මල්වතු පාර්ශවයේ අනුනායක ධූරයට පවා පත් වුණා. නමුත් සරණංකර හාමුදුරුවෝ තමන්ගේ මතයේ ඉඳන් ජීවිතය අවසාන වන තෙක් උපසම්පදාව ලබා ගත්තේ නෑ.

 

5. කොමියුනිස්ට් පක්ෂයේ රැස්වීම්වල පන්සිල් දුන්න හැටි 

සමාජවාදී පක්ෂ ගැන සාමාන්‍ය ජනතාව අතර පැහැදීමක් තිබුනේ නැහැ. විශේෂයෙන් ම එම පක්ෂ බෞද්ධ විරෝධීන් කියන මතයක් ජනතාව තුළ තිබුණා. සමාජවාදී පක්ෂ වල පිරිස් කිසිදු ආගමක් ඇදහීමට උත්සුක නොවීමත් මේකට එක හේතුවක්. නමුත් උඩකැන්දවල සිරි සරණංකර හිමියන් මූලාසනය ගත්ත සෑම රැස්වීමකදීම උන්වහන්සේ පන්සිල් ලබා දීමෙන් රැස්වීම ආරම්භ කළා. සමහර අවස්ථා වලදී මේ රැස්වීම් වලට ආපු පිරිස පන්සිල් සමාදන් වීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. එවැනි අවස්ථාවකදී රැස්වීමකට පැමිණ සිටි මුස්ලිම් ජාතිකයෙක් “බුදු සාමි සරණං ගච්ඡාමි” යැයි කීමත් සමග අනෙකුත් සියලු සියලු දෙනාමත් පන්සිල් සමාදන් වීමට එක්වුණා.

 

6. බන්ධනාගාරය තුළදී  සිවුරට අත තබන්නට නොදුන් සරණංකර හිමියෝ 

වරක් සරණංකර හිමියන්ට එරෙහිව පවරන ලද බොරු නඩුවකින් උන්වහන්සේව වැරදිකරු කර කර වසර දෙකකට සිර දඬුවමකට යටත් කරා. මේ අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරීන් උන්වහන්සේ ඉදිරියට පැමිණ “හා හා දැන් ඉතින් රෙදි ගලවනවා” යැයි පැවසුවා. උන්වහන්සේ ඒ අවස්ථාවේදී මෙහෙම කිව්වා “රාළහාමි මේවා රෙදි නෙවේ, මේවා සිවුරු. මේවා ඇන්දෙ බොහොම ගරු සැලකිලි ඇතුව. මේවා ගලවන්නෙත්. ඒවාගේ ගරු සැලකිලි ඇතුව.  මංකොල්ලකාරයින්ගෙ. ගණිකාවන්ගෙ රෙදි ගලවන තාලෙට මේවා ගලවන්න බෑ”. තමන්ගේ සිවුරු ගැලවීමට අවශ්‍යම නම් මල්වතු  මහා නායක හිමියන්ගේ සහ බෞද්ධ නායකයෙකු වන සර් ඩී. බී ජයතිලක මහතාගේ අදහස් විමසා බලන ලෙසත් ලෙස උන්වහන්සේ දැනුම් දුන්නා. අවසානයේදී සිරගෙයි වැඩ සිටි මුළු කාලය පුරාවටම උන් වහන්සේට සිවුරෙන් ම ගත කිරීමට අවසරය ලැබුණා.

 

7. උන්වහන්සේට ලෙනින් සාම ත්‍යාගය ලැබුණු හැටි 

දෙවැනි ලෝක යුද්ධයේ දී පරමාණු බෝම්බ භාවිතා කිරීම නිසා, ලෝක සාමය පවත්වාගෙන නොගියහොත් මිනිස් සංහතිය මේ මිහිතලයෙන්  අතුගෑවී යනු ඇතැයි යන මතයක් ලොව පුරා ප්‍රචලිත වුණා. එම නිසා විවිධ රටවල සාම මණ්ඩල පිහිටා ගැනුණා. ලංකාවේ සාම මණ්ඩලය සරණංකර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටා ගැනුණු අතර උන්වහන්සේ අනෙකුත් රටවල්වල සාම මණ්ඩල සමග එක්ව ලෝක සාමය වෙනුවෙන් විවිධ වැඩ පිළිවෙළ දියත් කරනු ලැබුවා. ක්‍රිස්මස් දූපතේ දී  සිදු කිරීමට නියමිතව තිබූ මහා බ්‍රිතාන්‍යයේ පරමාණු බෝම්බ අත්හදා බැලීම්වලට විරුද්ධව ක්‍රිස්මස් දූපතට තමන්වහන්සේ යාමට සූදානම් බව උඩකැන්දවල සරණංකර හිමියන් කළ ප්‍රකාශය ජාත්‍යන්තරව පවා ආන්දෝලනයට ලක් වුණා. උන්වහන්සේ ලෝක සාමය වෙනුවෙන් සිදු කළ මෙම මැදිහත්වීම අගය කරමිනුයි ලෙනින්  සාම ත්‍යාගය උන් වහන්සේ වෙත පිරිනමනු ලැබුවේ. තමන්වහන්සේට ත්‍යාගය සමග පිරිනැමුණු මුදල උන් වහන්සේ සිය පෞද්ගලික සුඛවිහරණය සඳහා භාවිතා කළේ නැහැ. ඒ වෙනුවට “නව ලෝකය” නමින් සඟරාවක් ඇරඹීමට උන්වහන්සේ ක්‍රියා කළා.

 

​තොටගමුවේ රහල් හිමි සම්බන්ධ වික්‍රමාන්විත කතන්දර මෙතැනින් කියවන්​න

උඩකැන්දවල සිරි සරණංකර හිමියන් ගැන අප්‍රකට කතා

හේනපිටගෙදර ඤාණසීහ හාමුදුරුවන් ගැන අප්‍රකට කතා

රේරුකානේ චන්දවිමල මහනායක හාමුදුරුවෝ ගැන අප්‍රකට කතා

සසර මග කෙටි කළ මාහෝ සුමේධ හිමි

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *