තොටගමුවේ සිරි රහල් හිමි අප සිංහල සාහිත්‍යයේදී අනිවාර්යයෙන්ම කියවෙන හිමි නමකි. උන්වහන්සේගේ සැළලිහිණි සංදේශ කාව්‍යය සිංහල ඉගෙනගන්නා සෑම අයෙක්ම පාහේ හොඳින් දන්නා කාව්‍යයකි. තොටගමුවේ රාහුල හිමි කාව්‍යකරණයේ සේම යන්ත්‍ර මන්ත්‍ර ගණිත මිණිත ආදී විද්‍යාවන් රැසක දැනුමින් සම්පූර්ණ අයෙකු විය. ඔහු සම්බන්ධ ජනප්‍රවාද කතාන්දරද රැසකි.
1. මේ වළ නැත්නම් අනෙක් වළට
තොටගමුවේ රාහුල හාමුදුරුවන් ගිහි කල කොලු වයසේදී තරමක දඟයෙක් විය. දිනක් වීදාගම මහ නාහිමි ඔහු අසලින් වඩින විටකදී මේ කොලුවා වළක මාලු බාමින් සිටියේය. “මේ අටවක තෝ මාළු බෑම කරන්නේ කොයි වළ යන්නදැ” යි වීදාගම හිමි කොලුවාගෙන් ඇසුවේය. “මේ බිලී කොක්කේ අටවකක් නැහැ එක වකයි. ඒ වගේම මේ වළේ මාලු නැත්නම් වෙන වළකට යනවා” යැයි කොලුවා පිළිතුරු දුන්නේ හාමුදුරුවෝ පුදුම කරවමිනි.
2. අලුත් පුස්කොළ පොත
පුස්කොළ පොත් වල ලිවීම යනු කලාවකි. එය මාස ගණනක් තිස්සේ අමාරුවෙන් පුරුදු පුහුණු විය යුතුය. ඒ පුස්කොළ පොත් ලිවීමේ කාර්යයේද රාහුල හිමියෝ දක්ෂයෙක් විය. එවකට රාහුල හිමිගේ ගුරු හිමිනම වූ වීදාගම මාහිමි හමුවන්නට දඹදිව පණ්ඩිතයෙක් පැමිණියේය. පැමිණ වීදාගම හිමි ළඟ නැති පොතක් පණ්ඩිතයා ළඟ ඇතැයි පුරසාරම් කියන්නට විය. එවිට වීදාගම හිමි එසේ පොතක් තිබේනම් එය මුල සිට කියවන්නැයි නියම කළේය. පොත කියවා හමාර කළ දඹදිව පණ්ඩිතයා, මේ පොත ඔබ ළඟ තිබේනම් ඉදිරිපත් කරන්නැයි නියම කළේය. රැල් බුරුල් ඇර සිය ගෝල හිමිනමට කතා කළ වීදාගම හිමි අලුත්ම පුස්කොළ පොතක් ගෙන්වාගෙන පණ්ඩිතයාට ගෙන හැර පෑවේය.
පණ්ඩිතයා එළියේ සිට ග්‍රන්ථයේ අන්තර්ගතය වීදාගම හිමිට කියන විට ඇතුළු ගෙයි සිටි රාහුල හිමි එවෙලේම පුස්කොළ වල ඒ ග්‍රන්ථය ඒ පරිද්දෙන්ම පිටපත් කරගෙන තිබුණි…
3. යක්කු තොටගමුවට යෑම
යකුන්ගෙන් වැඩ ගැනීම ගැනද ප්‍රසිද්ධ වූ තොටගමුවේ හිමි වරක් වනයක් මැදින් වඩින්නේ යකුන් කිහිප දෙනෙකු විසින් ඔසවා ගත් දෝලාවකය. එවිට තරමක් කාල වේලාව මද හෙයින් “ඉක්මනින් තොටගමුවට යමවු” යැයි හිමියෝ යක්ෂයින්ට විධාන කළහ. මදක් දුර ගොස් හිමි සඳ දෝලාවෙන් එළිය බලන කල වෙනදා නොදුටු විරූ පළාත් හරහා දෝලාව වේගයෙන් ඔසවාගෙන යනු දුටුවේය. සිදුවී ඇත්තේ අභාග්‍යයකි… තොටගමුවට යමව් යැයි කී දෙය යක්කු තේරුම් ගෙන ඇත්තේ උන්ගේ ගමට (තොට-ගමුව) යන්නැයි කී ලෙසිනි. ඉන් පසු නැවතත් යායුතු තැන නිවැරදිව යක්කුන්ට පවසා, රාහුල හිමි රෑ බෝවන්නට ප්‍රථම පංසල වෙත වැඩම කර තිබුණි.
4. ගලේ ඉනි පැළ කිරීම
පුරාණ නැකැත් ශාස්ත්‍රය අනුව, ඒ ඒ නැකැත් වේලාවන් අනුව කළහැකි සුරු විරුකම් විය. ගලක් මත ඉන්නක් පැළ කිරීම කිසිසේත් කළ නොහැකි දෙයකි. එහෙත් එයද කළ හැකි ප්‍රබල නැකතක් රහල් හිමිට සහ ගුරු හිමිට හමු විය. එහිදී ගුරු හිමි නැකැත් වේලාව බලා, විශාල ඉනි කැබැල්ලක් ඔසවා ගලක් මත ඇන්න අතර රහල් හිමියන් කකුළේ මාපට ඇඟිලි කරුවේ තිබූ කුඩා ඉනි කැබැල්ලක් ගල මත එබුවේය. ගුරු හිමිගේ විශාල දණ්ඩ ටික දිනකින් වේලෙන්නට වූ අතර, රහල් හිමිගේ කුඩා ඉනි කැබැල්ල ගල මත හොඳින් පැළවෙන්නට විය. එයින් ගුරු හිමි යම් ලැජ්ජාවකට පත් වුවත්, දායක කැළ රාහුල හාමුදුරුවෝ ගැන වඩාත් පැහැදුණෝය.
5. බමුණා අහසින් ගිය හැටි
වෛද්‍ය විද්‍යාවේද, ගුප්ත විද්‍යාවේද කෙළ පැමිණි තොටගමුවේ සිරි රහල් හිමියෝ බැහැදකින්නට දේශ දේශාන්තර වලින් පණ්ඩිත බමුණෝ පැමිණියහ. ඒ අතර එක බමුණෙක් හිමි සඳ සමග එකතුව දිව්‍යමය ඖෂධයක් තනන්නට විය. නියමිත ප්‍රමාණයට බෙහෙත හැදීගෙන එද්දී ඇඹරුම් ගලද රන් වන් පැහැයෙන් දිදුලන්නට විය. බමුණාගේ ලෝබ සිත දැඩි විය. හිමියන් සමග බෙහෙත බෙදාගන්නට කතිකා කළද, අනතුරුව සියලුම බෙහෙත් ටික සූරාගත් බමුණා බෙහෙතේ බලයෙන්ම අහසට නැගී යන්නට විය.
හාමුදුරුවෝ පසුව එතැනට ආවිට, එතැන ඇඹරුම් ගලේ බෙහෙත් බිඳකුදු ඉතිරි නොකර බමුණා සූරාගෙන ගොස් ඇති බව දුටුවේය. මහානුභාව බෙහෙත් බලෙන් දැන් බමුණා අහසින් දඹදිව කරා යමින් සිටී. තමුන්ට කළ නොපණත් කමට වාඩුව ගනිමි යි සිතූ රහල් හිමි, බෙහෙත් ඇඹරූ ගල ඔසවාගෙන ගොස් වැසිකිළි වලකට ලූයේය. වහා බෙහෙත් බල සිඳුණි. අහසේ ගමන් කරමින් සිටි බමුණා සිදුවූයේ කුමක්දැයි දැනගන්නටත් පෙර අහසින් බිමට පතිත විය.
6. යකුනට පැවරූ මෙහෙය
යකුන් බැඳගෙන වැඩ ගැනීම පුරාණ මන්ත්‍රාචාර්යවරුන් කළ වික්‍රමයකි. එහෙත් යකුන් බැඳගත්තා සේම ඔවුනට නිතිපතා වැඩ රාජකාරි පැවරීමද සිදු කළ යුතුය. රහල් හිමිද යකුන් කණ්ඩායමක් වැඩකට බඳවාගත් මුත්, ඒ වැඩය ඉවර වී යකුන් තවත් වැඩ ඉල්ලන්නට විය.
විහාරය අසල ගොඩගසා තිබූ නා කඳන් හි පොතු ගලවා අසල තිබූ ජල පහරට දමන ලෙසත්, නැවත ඒවා ගොඩ දමන ලෙසත් යකුන්ට නියම විය. යුහුසුලුව කී සැනින් යකුන් නා කඳන් ටික පොතු ඉවත් කර ජලයට දමන ලදී. එහෙත් ජලයට දැමූ නා කඳන්, පොත්ත නැති නිසා නැවත අල්ලාගන්නට යකුන්ට නොහැකි විය. කෙතෙක් අල්ලන්නට හැදුවද ඒවා ලිස්සා යයි. පෑ ගණනාවක් උත්සාහ ගත්තද ඒ වැඩය කරගන්නට බැරි වූ තැන, යකුන් හිමිසඳ හැරපියා නැවත ගිය බැව් ජනප්‍රවාදයේ සඳහන් වේ.
7. තෙල් බී රාහුලයා මළා
අනෙක් හිමිවරුන් නාගන්නට දිය පහරට ගොස් සිටින අතර තොටගමුවේ රාහුල හිමි පමණක් විහාරයේ විය. එවකට හිමි සඳ යොවුන් වියේ තරමක මුරණ්ඩු තෙරනමක් විය. බලගතු තෙලක් වූ සරස්වතී තෙලෙන් බිඳුවක් ආලේප කිරීම බොහෝ රෝගාබාධ වලට සුවයක් විය. අප රාහුල තෙරණුවෝ එම තෙල් බිඳුවක මෙතරම් බල තිබේ නම් එය බිව්වොත් කුමක් වේදැයි කුහුලින් යුතුව, කිසිවෙකු විහාරයේ නැති අතර සරස්වතී තෙල පානය කළෝය. ඉන් පසු සිහි මූර්ජා වූ රාහුල හිමි එතැනම ඇද වැටුණි. එය බලා සිටි විහාරයේ ගිරවා අනෙක් හාමුදුරුවරුන් සහ ලොකු හාමුදුරුවෝ නාමින් සිටි තැනට පියඹා ගියේය. ගිරවා ගොස් “තෙල් බී රාහුලයා මළා” යැයි මොර දෙන්නට විය. වහ වහා නැවත විහාරයට පැමිණි ලොකු හාමුදුරුවෝ බෙහෙත් ඔරුවක බහා රාහුල හිමිගේ ජීවිතය රැකගන්නට සමත් විය.
පසුකාලීනව රාහුල හිමි කාව්‍යකරණයේ උපන් හපනෙක් වූයේ මෙම සරස්වතී තෛල බෝතලය පානය කිරීම නිසා යැයිද කියවේ.
නවීන විද්‍යාව එතරම්ම දියුණු නොවූ මුත් එකල ගුප්ත විද්‍යා ශාස්ත්‍ර කටයුතු වඩාත් බහුලව තිබී ඇති බව මේ අනුව සිතිය හැකිය. තොටගමුවේ සිරි රහල් හිමි සාහිත්‍යකරණයේ නිරත වූවා සේම මහජනයාට සුව දෙන වෛද්‍ය කර්මය, ගුප්ත විද්‍යාවන් සහ වස්කවි සෙත්කවි ආදියේද දක්ෂයෙක් වූ බැව් මේ ජනප්‍රවාදයන් තුළින් අපට පෙනේ.
Cover Image Source – aksharaya01.blogspot.com
Leave a Reply