ස්මාට් විදියට වැඩ කරන්න SMART ඉලක්ක සහ ඒවාට ප්ලෑන් එකක් හදාගන්නේ මෙහෙමයි!

අපි කලිනුත් කතා කරලා තියෙන දෙයක් තමයි, හාඩ් වර්කින්ග් විතරක් තිබ්බට මදි, හාඩ් වර්කින් වලට වඩා ස්මාට් වර්කින්ග් තමයි ඕනෑ කියන එක. එහෙම ස්මාට් වර්කින්ග් වලට ස්මාට් ටූල්ස් පාවිච්චි කරන්න ඕන. අවශ්‍ය නම් ඩිජිටල් ටූල්ස් එහෙමත් ඕනෑ තරම් තියෙනවා. හැබැයි ඒ වගේම, ස්මාට් වර්කින්ග් වලට ස්මාට් ඉලක්ක තියෙන්න ඕන. මේ කියන්නේ SMART ඉලක්ක ප්ලෑන් එකක්. ඇත්තටම මේ SMART කියලා කියන්නේ, අපිට තියෙන අරමුණු කාර්යක්ෂමව සහ සාර්ථකව ඉෂ්ට කරගන්න හඳුන්වලා දීලා තියෙන ටූල් එකක්. සෑහෙන්න සාර්ථක ටූල් එකක්. මේ ටූල් එකේ නම වෙන SMART කියන වචනේ හැදිලා තියෙන්නේ specific, measurable, achievable, relevant සහ time-bound කියන වචන වලින්. සිංහලෙන් කිව්වොත්, නියත, මනින්න පුලුවන්, ඉෂ්ට කරගන්න පුලුවන් ප්‍රායෝගිකත්වයක් තියෙන, අදාළත්වයක් තියෙන, සහ නිශ්චිත කාලයක් ඇතුළත කරගන්න පුලුවන් වැඩ ඉලක්ක. මේ වචන ටික කියවනකොටම SMART ඉලක්ක කරා යන්නෙ කොහොමද කියන එක ගැන දළ අදහසක් එනවනේ. ඒක ක්‍රියාත්මක කරන එක ඊටත් වඩා ඉන්ටරෙස්ටින්ග්!

 

01. තමන්ට වැදගත් ඉලක්ක

අපිට වැදගත් ඉලක්කයක් තියෙන කොට තමයි, ඒක සාර්ථක කරගන්න අපිට හොඳ මෝටිවේෂන් එකක්, දිරිගැන්වීමක් තියෙන්නේ. ඒ ඉලක්කය සාර්ථක කරගැනීමෙන් ලැබෙන ප්‍රතිඵලය අපිට වැදගත් වෙන තරමට, අපි ඒ ඉලක්කය සාර්ථක කරගන්න වැඩියෙන් වෙහෙසෙනවා කිව්වොත් හරි. අන්න ඒ නිසා, මුලින්ම තමන්ගේ වෘත්තිය ජීවිතයට හෝ අධ්‍යාපනික ජීවිතයට සහ පුද්ගලික ජීවිතයට අතිශයින්ම වැදගත් වෙන ඉලක්ක විතරක් හඳුනාගන්න. ඇත්තටම ඉලක්ක වැඩි ප්‍රමාණයක් තියෙනවට වඩා වැදගත්ම ඉලක්ක කිහිපයක් තිබීම තමයි හොඳ.

 

02. නිශ්චිත ඉලක්ක

අපේ ඉලක්ක නිශ්චිත වෙන තරමට, ඒ ඉලක්ක සාර්ථක කරගන්න පහසුයි. උදාහරණයක් කිව්වොත්, හොඳ පුරවැසියෙක් වෙනවා වගේ ඉලක්ක වල කිසිම නිශ්චිත භාවයක් නැහැ. හැබැයි ඊට වඩා, මම උපාධිය ප්‍රථම පංතියේ සාමාර්ථයක් එක්ක අවුරුදු හතරක් ඇතුළත ලබාගන්නවා කිව්වහම ඒක නිශ්චිත ඉලක්කයක්. ඇත්තටම අපි ඉලක්ක හදාගන්නකොට කරන්න අවශ්‍ය වෙන්නේ, මුලින්ම යම් කිසි නිශ්චිත විස්තීර්ණ ඉලක්කයක් හදාගන්න එක. උඩ කියපු උපාධි ඉලක්කය එහෙම එකක්. හැබැයි දැන් ඒ විස්තීර්ණ ඉලක්කය පුංචි පුංචි, තවත් වඩාත් නිශ්චිත ඉලක්ක වලට කඩාගන්න ඕන. අගෝස්තු වෙනකොට අහවල් එසයිමන්ට් එක මෙන්න මේ ලකුණු ප්‍රමාණය වත් එන විදියට නිම කරනවා, ඔක්තෝබර් මාසේ සම්පූර්ණයෙන්ම වසරාවසාන විභාගයේ පාඩම් ටික කවර් කරලා ඉවර කරනවා වගේ ඉලක්ක මෙන්න මේ වගේ නිශ්චිත ඉලක්ක වලට උදාහරණ. දැන් එහෙම නිශ්චිත ඉලක්ක ටික හදාගත්තහම, දන්නෙම නැතුව ප්ලෑන් එකකුත් හැදිලා ඉවරයි.

 

03. මැනිය හැකි ඉලක්ක

අපි උඩිනුත් කිව්වා වගේ, හොඳ පුරවැසියෙක් වෙනවා වගේ ඉලක්කයක්, එහෙම නැතිනම් මගේ අධ්‍යාපන වැඩ මේ අවුරුද්ද වෙනකොට සාර්ථක කරගන්නවා, එහෙම නැතිනම් ඊලඟ අවුරුදු පහ ඇතුළත ධනවතෙක් වෙනවා වගේ ඉලක්ක ඇත්තටම මනින්න බැහැ. එතකොට එහෙම ඉලක්ක සාර්ථක කරගන්නේ කොහොමද, සාර්ථක වුණාද නැද්ද කියලවත් හොයාගන්නත් බැහැ. හැබැයි ඊට වඩා අපිට පුලුවන් නම් අපේ ඉලක්ක වලට හරි දිනයක්, ඉලක්කයට සාර්ථකව ගියහම ලැබෙන්න ඕන මිනිය හැකි දෙයක්, සහ ඉලක්කය නිශ්චිතව මැන ගන්න පුලුවන් වෙනත් තොරතුරු අඩංගු කරගන්න, ආන්න එතකොට අපි දන්නවා කොහොමද ඉලක්කයට යන්න ඕන කියන එක. උදාහරණ විදියට, මම ඊලඟ අවුරුදු පහ ඇතුළත චංචල නිශ්චල දේපළ වලින් ඩොලර් 50,000 ක වටිනාකමක් අත්පත් කරගන්නවා කියන එක මනින්න පුලුවන් ඉලක්කයක්. ඇත්තටම එහෙම ඉලක්කයක්  ගණනය කරනකොට උද්ධමනය ගැන පවා හිතන්න ඕන.

 

04. සාර්ථකව අත්පත් කරගන්න පුලුවන් තරම් ප්‍රායෝගික ඉලක්ක

අපිට ඉලක්ක හදාගන්නකොට නම් ආයෙ හඳට යනවා කියලා ඉලක්ක කරගන්නත් පුලුවනිනේ. හැබැයි ඇත්තටම එහෙම හඳට යන එක කරනවා නම්, ඒකට සමහර වෙලාවට අපේ ජීවිත කාලයෙන් බාගයක්ම වගේ කැප කරන්න වෙන්න පුලුවන්. එහෙම නැතුව උසස් ඩිප්ලෝමාවක් ගන්නවා වගේ හඳට යන්න බෑ. ආන්න එතකොට අපිට තේරෙනවා, ඒ ඉලක්කය ප්‍රායෝගිකව අත්පත් කරගන්න අමාරුයි කියලා. හැබැයි අනෙක් අතට, මම ඉදිරි අවුරුදු දහය ඉවර වෙනකොට ඔරිගාමි ඉගෙන ගන්නවා වගේ සරල, ඊසි ඉලක්ක නැතුව, තමන්ට අභියෝගයක් වෙන ඉලක්ක තමයි තියාගන්න ඕන. හොඳම දේ තමයි, අභියෝගාත්මක, ඒ වගේම අපි තෝරාගන්නා නිශ්චිත කාලය ඇතුළත සාක්ෂාත් කරගන්න පුලුවන් කියලා ෂුවර් ප්‍රායෝගිකත්වයක් තියෙන ඉලක්ක තෝරාගැනීම.

 

05. අදාළ ඉලක්ක

අපි ඉලක්ක තෝරාගන්නකොට ගොඩක් වෙලාවට අපේ බකට් ලිස්ට් එක සහ ලයිෆ් ගෝල්ස්/ප්‍රොෆෙෂනල් ගෝල්ස් පටලවා ගන්නවා. වෙන විදියකට කිව්වොත්, අපේ ඉලක්ක කියන්නේ අපි කවදාහරි කරන්න සිහින දකින දේවල් එහෙම නෙවෙයි. අපේ ඉලක්ක අපේ ජීවිතයට නිශ්චිතවම අදාළ වෙන්න ඕන. උදාහරණයක් විදියට කිව්වොත්, වයස අවුරුදු තිහක බැංකු නිලධාරියෙක් මම කවදාහරි වෛද්‍යවරයෙක් වෙනවා කියලා ඉලක්කයක් තියාගත්තට වැඩක් නැහැනේ. එතකොට, කවදාවත් රුසියානු භාෂාව කතා කරන රටකට නොයන, රුසියානු භාෂාව ජීවිතයට අදාළම නොවෙන මනුස්සයෙක් තමන් රුසියානු භාෂාව ඉගෙන ගන්නවා කියලා ඉලක්කයක් හදාගත්තට වැඩකුත් නෑ. ආන්න ඒ නිසා, තමන්ගේ තෝරාගත්තු වෘත්තියට, තමන් ඉන්න ක්ෂේත්‍රයන්ට, තමන් යන පාරට සහ තමන්ගේ පුද්ගලික ජීවිතයට අදාළ වෙන ඉලක්ක තෝරාගන්නා තරමට, ඒ ඉලක්ක සාර්ථක කරගන්න පුලුවන්.

 

06. සීරියස් ඩෙඩ්ලයින්ස්

මෙන්න වැදගත් කාරණයක්. අපේ ඉලක්ක වලට ඩෙඩ්ලයින්ස් හදාගන්න එක. මෙතනදී අපිට අවබෝධ කරගන්න වෙනවා මොනවද ප්‍රමුඛතා ඉලක්ක, මොනවද යම් කාලයක් ඇතුළත සම්පූර්ණ වෙන්න ඕන ඉලක්ක කියන එක. ආන්න එතකොට අපිට පුලුවන් මේ ඉලක්ක වලට යතාර්ථවාදීව අවසන් කළ හැකි දින දාගන්න. උදාහරණයක් විදියට, මේ වචන දහදාහක රිපෝට් එක දවස් දෙකෙන් ඉවර කරනවා කියලා ඉලක්කයක් හදාගන්න එක ප්‍රායෝගික නැහැ. ඒක ඊට වඩා ප්‍රායෝගිකව ඉවර කරගන්න පුලුවන් ඩෙඩ්ලයින් එකක් නියම කරගන්න ඕන. අන්න එහෙම ඩෙඩ්ලයින් ප්‍රැක්ටිකල් වෙනකොට, ඒ ඉලක්ක වලට යන්න හැකියාව වැඩියි. ඒ වගේම, ඩෙඩ්ලයින්ස් සීරියස් ගන්න ඕන. ඒ කියන්නේ මේ කාලය ඇතුළත ඉවර කරනවා නම් මේ කාලය ඇතුළත ඉවර කරනවා කියලා ෂුවර් එකක් තියෙන්න ඕන සහ කොහොමහරි ඒ කාලය ඇතුළත ඉවර කරගන්නම ඕන. ඉලාස්ටික් වෙන්න බෑ.

 

07. ඔබේ පාලනයේ තිබෙන ඉලක්ක

දැන් සමහර ඉලක්ක තියෙනවා අපේ පාලනයෙන් තොරයි. සමහර වෙලාවට යම් ඉලක්කයකට අදාළ වෙන සමහර කාරණා අපේ පාලනයෙන් තොර වෙන්න පුලුවන්. හොඳම උදාහරණයක් තමයි ලංකාවේ අධ්‍යාපනය. අපි මෙන්න මේ කාලේ ඇතුළත මේ උපාධිය ඉවර කරනවා කියලා හිතුවට, එක්සෑම් තියන්න පරක්කු වෙන්න පුලුවන්. කොරෝනා ඇවිත් රට වහන්න පුලුවන්. මේ වගේ නොයෙකුත් දේවල් වෙන්න පුලුවන්. අන්න එතකොට, අපිට කරන්න පුලුවන් එක දෙයක් තමයි, අපේ පාලනයෙන් තොර සාධකත් අදාළ වෙන ඉලක්කයකට, වෙන්න පුලුවන් පරක්කු වීම් වලටත් කාලයක් තියලා ඩෙඩ්ලයින් දාගන්න එක. ඒ වගේම, හැකිතාක් අපේ ඉලක්ක අපේ පාලනය ඇතුළේ තියෙන කරුණු සාධක වලින් හදාගන්න එක.

 

08. ධනාත්මක ඉලක්ක

දැන් ලෝකේ කොහේ ගත්තත් පොසිටිව් තින්කර්ස්ලා ඕනෑ තරම් ඉන්නවනේ. ඒවා එහෙම තමයි. ඇත්තටම අපේ මේ ඉලක්ක වලත් පොසිටිව් ටෝන් එකක්, ධනාත්මක හැඟීමක් තියෙන්න ඕන. ඒ කියන්නේ අපි ඉලක්කය නිශ්චය කරගන්නකොට, ඒක ධනාත්මක අදහසකින් ගන්න ඕන. ඒ වගේම, ඒ ඉලක්කයට ගියහම ලැබෙන ප්‍රතිඵලයත් ධනාත්මකව ගන්න ඕන. ආන්න එතකොට තමයි අපිට ඒ ඉලක්ක සාක්ෂාත් කරගන්න හොඳ මෝටිවේෂන් එකක්, දිරියක් ලැබෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, මේ සතියේ මම වැඩ කල්දාන පුරුද්දෙන් වළකිනවා කියන එක හොඳ ධනාත්මක ඉලක්කයක් නෙවෙයි. හැබැයි මේ සතිය ඇතුළත අහවල් වැඩේ සම්පූර්ණයෙන්ම අවසන් කරනවා කියලා හිතාගන්න එක ධනාත්මක ඉලක්කයක්.

 

09. ඇක්ෂන් ප්ලෑන් එකක්

හරි, අපේ SMART ඉලක්ක ටික මේ විදියට හදාගෙන, අවශ්‍ය ඩෙඩ්ලයින් එහෙමත් සඳහන් කරගත්තහම අපිට මොකක්ද ලැබිලා තියෙන්නේ? සරල රෝඩ්මැප් එකක්. හැබැයි මේ ටික අපි සම්පූර්ණ ඇක්ෂන් ප්ලෑන් එකක් කරගන්න ඕන. ඒක අමාරු වැඩක් නෙවෙයි. හිතලා බලන්න ප්‍රමුඛතාවයන් කොහොමද සකස් වෙන්න ඕන, ප්‍රායෝගිකව එතකොට යම් කාලයක් තුළ මොන මොන වැඩද සාක්ෂාත් කරගන්න පුලුවන්, එතකොට මොන ඉලක්කයට ගිහින් ද ඊලඟ ඉලක්කයට යන්න ඕන වගේ කාරණා. ඒ අනුව, ඉලක්කය, ඉලක්කයේ ප්‍රතිඵලය, ඉලක්කයට අවශ්‍ය ටූල්ස්, ඉලක්කයට අවශ්‍ය අතුරු සහායන් සහ ඉලක්කය සම්පූර්ණ කරගන්න තියෙන ඩෙඩ්ලයින්ස් වගේ හැම කාරණයක්ම ඇතුළත් සම්පූර්ණ ඇක්ෂන් ප්ලෑන් එකක් හදමු. එහෙම ප්ලෑන් එකක් තියෙනකොට ඒ ඉලක්ක සම්පූර්ණ කරගන්න එක වඩාත් ලේසියි.

 

දැන් ඔය විදියට වැඩ කරලා අපේ වෘත්තිය ඉලක්ක, අධ්‍යාපන ඉලක්ක සාර්ථක කරගන්න එක වගේම, පෞද්ගලික ජීවිතය ගාණට පවත්වා ගෙන යන එකත් කරන්න පුලුවන්. ඇත්තටම SMART විදියට ස්මාට් ඉලක්ක තියාගෙන වැඩ කරනවා වගේම මතක තියාගන්න ඕන දෙයක් තමයි, ස්මාට් විදියට ප්‍රොෆෙෂනල් වැඩ කටයුතු සහ පුද්ගලික ජීවිතය බැලන්ස් කරගන්න එක. ආන්න එතකොට වෘත්තිය ජීවිතය වගේම පුද්ගලික ජීවිතයත් රස විඳින්න පුලුවන්. ජීවිතේ එතකොට ආතල්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *