ඔබට වරමක් ලැබුණොත් අතීතයට යන්න ඔබ තෝරාගන්න කාලය මොකක්ද..? බොහෝ දෙනෙක් කියාවි මම ආසයි ආපහු ඉස්කෝලෙ යන්න කියලා. ඒකනේ දෙයියනේ බැක් ටු ස්කූල් වැඩසටහන් මෙච්චර අද ජනප්‍රිය වෙලා තියෙන්නෙ. මේ කියන්න යන්නේ ඉස්කෝලේ ගියපු හැමෝම වගේ කරපු දඟ වැඩ සෙට් එකක්. හැබැයි පුතෝ මේ දේවල් එකක්වත් කරල නැත්නම් උඹ ඉස්කෝලෙ ගිහිල්ල කිසිම ආතල් එකක් ගත්තු නැති සාන්ත දාන්ත තීන්ත කුප්පියක්.
1. බත් එකට පොරේ

Source – kaema.lk
ඉන්ටර්වල් එකට ඉතින් බත් ගේන දෙන්න තුන් දෙනාගේ බත් මුල් ටික කන්න දහයක් දොළහක් සෙට් වෙනවමයි. ස්වාභාවික සාධක මත මේ ගාණ පහ හය දක්වා අඩු වෙන්නත් පහළොව වගේ වෙනකන් වැඩි වෙන්නත් හැකියාවක් තියෙනවා. ගෑණු ඉස්කෝල, පිරිමි ඉස්කෝල, මිශ්‍ර ඉස්කෝල ඒවා මේවා කියලා වෙනසක් නෑ. සෙට් එකක් එක්ක එකට ඉන්නවනම් මෙහෙම බත් කන එක අනිවාර්ය ලක්ෂණයක්. ඒ ගේන බත් වලින් හොඳම එක තෝරලා ඒක අවසානෙට කන්න තියාගන්න එක නොවරදවා කරන්නෙ ඒක කඩන්න බැරි සම්ප්රදායක් වගේ හන්දයි. මසක් මාලුවක් තිබුනොත් ඉතින් බත් මුලක් ඉවර වෙන්න යන්නේ එක ක්ෂණයයි. ඕං ඔය ආතල් එක ගත්තෙ නැති මහත්තුරු නෝනලා ඉන්නවනම් කියලා වැඩක් නෑ ඉතින්.
2. තාප්පෙන් එලියට

Source – trinitycollege.lk
ගුරුවරු ශෝට් ලීවු, හාෆ් ඩේ කිය කිය වේල පහින් 12 ට 10 ට ගෙදර යනවා හදිසියක් උනාම. අනේ ඉතින් අහිංසක ශිෂ්‍ය ප්‍රජාවට 7.30 යි 1.30 යි අතරේ හදිස්සියක් උනොත් කොහොම ඉස්කෝලෙන් එලියට යන්න කියලද..? අන්න එතකොට තමයි ළමයි තාප්පෙන් පැනලා ගෙවල් වලට යන්නෙ. මේක ගොඩක් දුරට වෙන්නෙ කොල්ලො ඉන්න ඉස්කෝල වල. මේක වෙනමම ආතල් එකක්. ඒ වගේම ඉතින් බලධාරීන්ගේ ඇස ගැටුණොත් නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා මේක.
3. දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්

Source – youtube.com
ඉස්කෝලෙ ගියානම් දඬුවම් විඳල තියෙන්නම ඕන. නැත්නම් කිසි ලකයක් නෑ ඒ ගියපු ගමනෙ. පංති තහනම් වෙලා, ගුටි කාල, දණ ගහන් ඉඳලා නැත්නම් අඩුම තරමෙ ඔබ පංතියෙන් එලියටවත් දාල තියෙනවද..? එහෙමත් නැත්නම් ඔබ අර කලින් කිවුව වගේම සාන්ත දාන්ත පොරක් තමයි. ගෑණු ළමයින්ගෙ ඉස්කෝල වලටත් මේව පොදුයි ඉතින්.
4. වලි වල හිටියද..?

Source – youtube.com
ඉස්කෝලෙ ගිහිල්ල එකෙක් එක්කවත් ගහගෙන නැත්නම් වැඩක් නෑ. අඩු තරමෙ කොල්ලොන්ගෙ ඉස්කෝලෙකනම් බිග් මැච් කාලෙටවත් එකම එක වලියක් හරි සෙට් වෙන්න ඕන. කෙල්ලෙක්නම් අඩු තරමෙ පැන්සලකට, මකනෙකටවත් ගහ බැනගෙන තියෙන්න ඕන. අඩු තරමෙ මත ගැටුමක් දුර දිග ගිහිල්ල ගහගන්න බැරි උනත් නැගිටලා අනිත් එකාට ගහන්න වගේ සූදානම් වෙන්නවත් ඕන. එතකොට වටේ ඉන්න උං ඇවිල්ල උඹව අල්ලගන්නව කියල දන්නවනේ ඉතින්. හැබැයි ඔහොම වචනෙකින්වත් වලියකට සම්බන්ධ නැත්නම් ඔබ ඉස්කෝලෙ කාලෙ ආතල් හරියට අරගෙන නෑ කියලයි කියන්න වෙන්නේ.
5. පාසල් ප්‍රේමය

Source – fragmenteyes.blogspot.com
ඉස්කෝලෙ කාලෙ ආදරේ ගැන එක එක මත තියෙනවා බුද්ධිමතුන් අතරේ. හැබැයි ඔය හැම බුද්ධිමතාටම ඉස්කෝලෙ යන කාලෙ ඒක පාර්ශ්වික ප්‍රේමයක් හරි තිබිලා තියෙනවා. ඉතින් ඉස්කෝලෙ යන කාලෙදී පාසල් ප්‍රේමයේ රහක් දැනෙන්නම ඕන. එකයි කාලට විතර තාප්පෙන් ශෝට් ලීවු දාලා එකයි තිහට කෙල්ලොන්ගේ ඉස්කෝල වල ගේට්ටු ඉස්සරහ ඉන්න තරම් ජවයක් බෝයි ස්කූල් වල ඉන්න කොල්ලොන්ට ලබා දුන්නෙ ඔය පාසල් ප්‍රේමය තමයි. මිශ්‍ර පාසල් වලනම් ඉතින් ඔය අහුමුලු වල හැංගිලා මුදු දෙතොල් සිප ගත්තු කතාත් අපි අහල තියෙනවා. තව සමහර කොල්ලො, කෙල්ලො තමන්ගෙ හිත ගත්තු සහකාරියට, සහකරුට හිත තුළ සැඟවිච්ච පෙම කියාගන්න බැරුව ලත වුනා මතකද යහලුවේ? ඔය කෝක උනත් ඉස්කෝලෙ කාලෙ හැදෙන ලවු පිස්සුවනම් මරුම මරු ආතල් එකක් තමයි ඈ.
6. සරිගම සාජ්ජේ

Source – youtube.com
ඉස්කෝලෙ ගියාට වැඩක් නෑ ඩෙස් එකට තට්ටු කර කර සින්දුවක් කියලා නැත්නම්. කොල්ලො කෙල්ලො බේදයක් නැතුව ගත්තු ආතල් එකක් තමයි මේක. ගුරු රැස්වීමක් වගේ තියෙනවනම්, ටීචර් අද ඉස්කෝලේ ආවෙ නෑ කියලා දන්නවනම් ඔන්න කට්ටියම සෙට් වෙනවා එක ඩෙස් එකක් වටේ. මේ ඩෙස් එක තමයි තට්ටු කරන කොට හොඳම සද්දෙ එන්නෙ කියලා ඩෙස් එකකුත් වෙන් කරලා තියෙනවා ඒ පන්තියේ. කට්ටිය වට වුණාට පස්සේ ඉතින් අමරදේව, මිල්ටන්, කපුගේ, ජෝතිපාල, ශිහාන් මිහිරංග, බාතිය සන්තුශ් ගෙ වගේ එක එක කාලවල ගීත රාශියක් මේ සෙට් එක විසින් ගයනු ලබනවා. පස් දෙනෙක් හය දෙනෙක් පටන් ගන්න මේ වැඩේ ඉවර වෙන කොට මුලු පන්තියම එතන.
7. එක එක සෙල්ලම්

Source – reddit.com
ඉස්කෝලෙ කාලෙ ඉතින් එක එක සෙල්ලම් දානවා කට්ටිය. මේ කියන්න යන්නේ පංතිය ඇතුළෙ කරන සෙල්ලම් ගැන. අඩුම තරමෙ ඉස්කෝලෙ ගියානම් ෆ්‍රී පීරියඩ් එකක් අල්ලගෙන පෑන් ක්ලිප් වලින් මොකක්ම හරි සෙල්ලමක් කරල තියෙන්න ඕනමයි. ක්ලිප් වලින් අපි ෆුට් බෝල් ගැහුවා, ක්‍රිකට් ගැහුවා, ක්ලිප් ගැහුවා. මොනවද නොකළේ..? ඒ සෙල්ලම් ඉවර වෙන කොට එකෙක්ගෙ හරි පෑනක ක්ලිප් එක නැති වෙනවමයි. උසස් පෙල කාලෙනම් කාඩ් කූට්ටමක් වරදින්නෙ නෑ පන්ති වල. ඒකෙනුත් කරන්න පුලුවන් ඔක්කොම සෙල්ලම් අපේ අයියල ඉස්කෝලෙ වෙලාවෙදිම කරනවා. මේ එක සෙල්ලමක් වත් කරල නැත්නම් වැඩක් නෑ අප්පා. ගෑණු ළමයෙක්නම් කාඩ් සෙල්ලම් කරලා, ක්ලිප් සෙල්ලම් කරලා නැත්නම් අඩු තරමේ “ගෑණු පිරිමි මල් පළතුරු සත්තු ගස්” සෙල්ලමවත් කරල තියෙන්න ඕන.
ඔය හැම ආතල් එකක්ම ගත්තු අයත් ඉන්නවා ඉස්කෝලෙ ගිය. හැබැයි ඔය ආතල් ගත්තා කියලා ඒ අය ඉගෙනීම පාඩු කරගත්තෙත් නෑ. ඉස්කෝලේ කියන්නෙ ළමා කාලේ ඉඳලා යොවුන් වියට යනකම්ම අපි කාලය ගෙවන තැනක්. කවදහරි අන්තිමට මතක කියලා ඉතුරු වෙන්නේ ඔය උඩින් කිවුව වගේ අපූරු මතක විතරයි.
Cover Image Source – ourslsm.blogspot.com
Leave a Reply