කෘමිසතුන් කාණ්ඩයට අයිති වෙන කැරපොත්තෝ වර්ග 4000කට අධික ගාණක් ඉන්නවා. එයින් වර්ග 70කට ආසන්න ගණනක් පමණයි අපේ ගෙවල් ආශ්‍රිතව ජීවත් වෙන්නේ. අපි වගේ උණුසුම් කාලගුණයක් තියෙන පළාත් වල කැරපොත්තෝ ලේසියෙන්ම බෝවෙන කෘමීන් වර්ගයක්. මේ සතුන් වනාන්තරයේ ඉද්දි පැරණි කොළ ගොඩවල් වල, ගස් කඳන් වල වගේම උස ගස් අතු ආදියෙත් ජීවත් වෙනවා. මිනිස් වාස ගත්තොත් කැරපොත්තා වැසිකිළි, කැසිකිළි, කුස්සි, විසිත්ත කාමර, නැව් බෝට්ටු වල ඉඳලා හිරු එළිය අඩුවෙන්ම වැටෙන යුධ ටැංකි, සබ්මැරීන වල පවා ජීවත් වන බවට වාර්තා වෙලා තියෙනවා.
1. කැරපොත්තාගේ ස්වභාවය
කැරපොත්තන්ට තරමක් දිග තටු දෙකක් තියෙනවා. ඒ වගේම පියාඹන්න උදව් වෙන තවත් කුඩා තටු යුවළකුත් තියෙනවා. ඒවායේ උදව්වෙන් කැරපොත්තට පියාඹන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. බොහෝ කෘමීන්ට වගේ කැරපොත්තාගේ සිරුරත් කොටස් තුනකින් යුතු වෙනවා. හිස, ගෙල කොටස සහ උදරය ඒ කොටස් තුන වෙනවා. ඌට කකුල් 2 බැගින් සෙට් තුනක් වන සේ කකුල් 6කුත් තියෙනවා. කැරපොත්තා දුවන්නේ සහ ඇවිදින්නේ මේ කකුල් වලින්. කැරපොත්තාගේ සංවේදක විදිහට, එහෙමත් නැතිනම් ඇන්ටෙනා විදිහට ක්‍රියාකරන ඉදිරිපස තියෙන අඬු ඌට කෑම සොයාගන්න වගේම සතුරන් හඳුනාගන්නත් උදව් වෙනවා. මේ අඬු වලින් ඊට අමතරව අවට පරිසරයේ ස්වභාවය, උෂ්ණත්වය වගේ දේවලුත් කැරපොත්තාට බලාගන්න පුළුවන්. මේ ඉදිරිපස ඇන්ටනා අඬු දෙක කැරපොත්තා ඌ විසින්ම පිරිසිදු කරගන්නා ආකාරය බලන්න ලස්සනයි.
2. උගේ ඇස කට ආදිය
අපිට තියෙන්නේ ඇස් දෙකයි. ඒකත් කැරපොත්තාට තියෙන්නේ මල්ටිපල් ලෙන්ස් ඇස් ගොඩක්. ඒ කියන්නේ උන්ට ඇස් බෝල දෙකක් වගේ අපිට පේන තැන්වල ඇස් ගණනාවක් පිහිටා තියෙනවා. කැරපොත්තාට උගේ හිස නැතුව සතියක් වුනත් ජීවත් වෙන්න පුළුවන්. මොකද ඌට සිරුරේ අනික් කොටස් හරහාත් හුස්ම ගන්න වැඩේ කරන්න පුළුවන්. ඒ නිසා කැරපොත්තාට හරියටම උගේ නාසය වැනි කොටසින් හුස්ම ගන්නට උවමනා නැහැ. ඒත් හිස නැතිවුනාම කැරපොත්තන්ට කෑම බීම ගන්නට බැරි වෙනවා. ඒ නිසා උන් කෑම නැතුව ගිහින් මැරිලා යනවා. ලෝකේ ලොකුම කැරපොත්තා දකුණු ඇමරිකාවෙන් වාර්තා වෙනවා. එකක් අඟල් හයක් දිග ඌගේ තටු දිගෑරියම මුළු තටු දිග අඩියක් වෙනවා.
3. පෞරාණික වගතුග
අද සුලභ ලෙස කැරපොත්තන් වර්ග කීපයක් ම ඉන්නවා. ඇමරිකන්, දුඹුරු හිසැති, ජර්මන් , ඔරියන්ටල්, මැඩගස්කර් ආදී කැරපොත්තන් අදත් ලොවපුරා තැන් තැන්වල මිලියන ගණනින් වාසය කරනවා.
කැරපොත්තන් පෞරාණික වගේම වඩාත් සාර්ථක කෘමීන් විශේෂයක් වෙනවා. මේ කැරපොත්තන්ගේ ළඟම ඥාතීන් මේ මිහිමත වසර මිලියන 350කට එපිටදීත් ජීවත් වෙලා තියෙනවා. කැරපොත්තන්ට පුළුවන් හුස්ම අල්ලගෙන විනාඩි හතලිහකට එහා කාලයක් ඉන්න. ඒ වගේම වතුර යට පැය බාගයක් ජීවත්වෙන්නත් කැරපොත්තට පුළුවන්. වතුර නැති අවස්ථාවක් වුනොත් හුස්ම ගැනීම සීමා කරලා ජලය ඉතිරි කරගන්න කැරපොත්තාට පුළුවන්. ඉතින් ලෝකයේ ඇතිවූ ජල ගැලීම් වගේම ජලය හිඟ කාලයන් වලදිත් කැරපොත්තා කිසි ගාණක් නැතුව ජිවිතේ ආරක්ෂා කරගෙන ඉන්නට ඇති.
4. කැරපොත්තාගේ කෑම
කැරපොත්තා කියන්නේ මිනිස්සු වගේම සර්ව භක්ෂක සතෙක්. ඒත් අපිට වඩා බොහෝ දේවල් ඒ තියෙන පරිසර තත්ත්වයන් අනුව කැරපොත්තන්ට ආහාරයට ගන්නට පුළුවන්. එසේ ආහාර කියලා නාමයක් නැතුව ඕනිම දෙයක් කන්න පුළුවන් ගතිය කැරපොත්තා මේ මිහිමත ස්ථාවර සතෙක් වෙන්න හේතු වුනා. කැරපොත්තාගේ මුඛය ආහාර ගන්නා විටම ඒවා කෑලි කරගන්නට සමත් උපාංග වලින් සවිමත් වෙනවා. ඇමරිකානු කැරපොත්තන් නම් ඇල්කොහොල් හා ඒ ආශ්රිත දේවලටත් ලොල් බවක් දක්වනවා. විශේෂයෙන් බියර් වලට ඇමරිකන් කැරපොත්තා කැමතියි. බියර් වලින් වහනය වන ධාන්‍ය සහ සීනි සුවඳට ඇදෙන ඇමරිකන් කැරපොත්තාද හොඳ බියර් ලෝලියෙක්.
5. මිනිසුන්ගේ අනිසි බිය
නානකාමරයක හෝ කුස්සියක සිටින කාන්තාවක් එකවරම කැරපොත්තෙක් දැක්ක විට බොහෝවිට කෑ ගසමින් පෙරළි කරනවා. මෙය ඇතැම් පිරිමින්ටත් අදාළ තත්ත්වයක්. පර්යේෂණාත්මකව බැලුවත් ලොව සිටින කෘමීන්ගෙන් මිනිසා බයම සත්වයෙක් ලෙස කැරපොත්තා දැක්වෙනවා. මේ හැසිරීම පරිණාමිකව මිනිසා ට උරුම වූ තත්ත්වයක් කියලත් විද්‍යාඥයින් විශ්වාස කරනවා. කැරපොත්තා මැසි මදුරුවන් වගේ දැඩි ලෙස රෝග වහනය කරන්න දායක වෙන්නෙ නැහැ. ඔවුන් අපේ සිරුර වෙනත් කෘමීන් වගේ දෂ්ඨ කරන්නෙත් නැහැ. මදුරුවන් වගේ විදලා ලේ ගන්නෙත් නැහැ. ඒත් කැරපොත්තෝ ආහාර විෂ කරන්නට නම් යම් තරමකින් දායක වෙනවා. ඒ කුමක් වුවත් ලෝකේ ඉතාම කලාතුරකින් තැනක කැරපොත්තන් ගැඹුරු තෙලේ බැදලා හෝ වෙනත් ක්‍රමවලට ආහාරයට ගත්තත් බොහෝ තැන්වලදි කැරපොත්තා කියන්නේ මිනිසාට අප්‍රසන්නතම කෘමියෙක්.
6. විනාස කරන්න අපහසු ජීවියා
යම්කිසි තැනක ආහාර තියෙනවා නම් එතැනට ජර්මන් කැරපොත්තන් දෙදෙනෙකු දැමුවොත් වසර දෙකකින් මිලියන දෙකක් දක්වා කැරපොත්තන් බිහිකරගන්න මේ කැරපොත්තන්ට පුළුවන්. අපේ ගෙවල්වල ඉන්න කෘමීන්ගෙන් වේගවත්ම කෘමියා වෙන්නේ කැරපොත්තා. ඒ නිසා කැරපොත්තාව ආහාරයට ගන්න එන විලෝපිකයන්ට කැරපොත්තා කියන්නේ අමාරු ටාගට් එකක්. මිනිස් මළ ද්‍රව්‍ය සහ මුත්‍රා කියන්නේ වෙනත් කෘමීන්ට අපහසු තත්ත්වයක්. ඒ වැසිකිළි වලවල අධික නයිට්රජන් තත්ත්වයන් තුළත් කැරපොත්තාට නොනැසී ඉන්නට පුළුවන්. ඒ වගේම අපේ බාත්රූම්, කුස්සි පිරිසිදු කරන්නට ගන්න නූතන දියර වර්ග සහ සෝදන දේවල් වලිනුත් කැරපොත්තාට දැඩි හානියක් වෙන්නේ නැහැ. කොටින්ම බාත්රූම් එක සෙල්සියස් 90ට රත් කරලා තිබ්බත් කැරපොත්තාට ඒ තුළ ජීවත්වෙන්න පුළුවන් අරුම පුදුම හැකියාවක් තියෙනවා. බල්ලා පූසා වගේ ආදරණීය සතෙකුට නම් මිනිසා සමග ගල් යුගේ සිට ජීවත්වෙන්න පුළුවන්. ඒ වගේම අපේ අප්‍රසන්නම සතෙක් උනත් උගේ ඔරොත්තු දීමේ හැකියාව නිසා කැරපොත්තාත් ඒ කාලේ ඉඳන්ම අපි එක්ක ඇවිල්ලා තියෙනවා.
කෑම නැතුව මාසයක් ඉන්න හැකි, වතුර නැතුව සතියක් ඉන්න හැකි විකිරණශීලී වටපිටාවක වුනත් අවුලක් නැතිව ඉන්න පුළුවන් මේ අප්‍රසන්න කෘමියා නොදැක්ක කෙනෙක් නැති තරම්. කැරපොත්තන් නැතිකරන්න නම් අපි විවිධ ක්‍රම අනුගමනය කරනවා. කෑම වැටෙන තැන්වලට කැරපොත්තෝ ඉක්මනින්ම එනවා. අපේ ගෙවල් වල නම් කැරපොත්තන් අල්මාරි වලින් ඉවත් කරගන්න කපුරු බෝල කලක පටන් පාවිච්චි කරනවා. ඒ මොක දැම්මත් සම්පූර්ණයෙන් වඳ කරගන්න අමාරු මේ අරුම පුදුම සත්වයත් අපේ ජීවයටම සම්බන්ධ තවත් එක කොටසක් වෙලා හමාරයි.
Leave a Reply