ටයිටැනික් කියන්නේ මේ ලෝකේ තියන ජනප්‍රියම නෞකා නාමය කියන මතයට කවුරුත් විරුද්ධ වෙන එකක් නැහැ. මුහුදුබත් වෙලා අවුරුදු සියයකට අධික කාලයක් ගතවෙලත් අදටත් ටයිටැනික් ගැන කතාවෙනවා, කලා නිර්මාණ බිහි වෙනවා. අද අපි කියන්න යන්නේ ටයිටැනික් මුහුදුබත් වීම සම්බන්ධයෙන් අසන්න ලැබෙන එක්තරා ආකාරයක ආන්දෝලනාත්මක කතන්දරයක් ගැන. ඒ තමයි ටයිටැනික් මුහුදුබත් වෙන්න අවුරුදු 14කට පෙර කාලෙක ලියැවුණු එක්තරා නවකතාවක මේ ටයිටැනික් විනාශය ඒ ආකාරයෙන්ම වාගේ සනිටුහන්ව තිබීම ගැන.
මොකක්ද මේ නවකතාව? අපි කියවලාම දැනගමු ඒ ගැන.
1. 1912 දී සිදුවූ ටයිටැනික් විපත
අපි මුලින්ම ටයිටැනික් නැවේ මුහුදුබත් වීම සම්බන්ධයෙන් අපේ මතකය ටිකක් අලුත් කරගෙනම ටයිටන් කතාවට යමු. ඔබට මතක ඇති ටයිටැනික් මුහුදුබත් වෙන වර්ෂය හැටියට සඳහන් වෙන්නේ 1912 අවුරුද්දයි. 3,500කට ආසන්න මගීන් සහ නෞකා කාර්යය මණ්ඩලයකින් සමන්විත වූ ටයිටැනික් නැව තමන්ගේ මංගල මුහුදු ගමනේදීම අයිස් පර්වතයක හැපීමෙන් මුහුදුබත් වෙනවා. මේ අනතුරින් 1,500ක් පමණ දෙනා ජීවිතක්ෂයට පත් වෙනවා.
2. ටයිටන් නැව ගැන ලියූ මෝර්ගන් රොබර්ට්සන්
ඇමරිකානු ජාතික ලේඛකයෙක් වෙන මෝර්ගන් රොබර්ට්සන් 1898 දී කෙටි නවකතාවක් ලියලා ප්‍රකාශයට පත් කරනවා. ඒ කතාවේ නම වෙන්නේ ‘Futility’. අයිස් පරයක හැපිලා මුහුදුබත්වෙන නැවක සිදුවන සිදුවීම් මාලාවක් පාදක කරගත් මේ නවකතාවට මුලදී ඒ තරම් ජනප්‍රියත්වයක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ නවකතාව පළ වී වසර 14කට පස්සේ සිදුවුණ ටයිටැනික් ඛේදවාචකයෙන් පස්සේ මේ නවකතාව ගැන මිනිස්සුන්ගේ උනන්දුවක් ඇති වෙනවා. ඒකට හේතුව වෙන්නේ ටයිටැනික් ඛේදවාචකයේ සිදුවීම්වලට මේ නවකතාවේ සිදුවීම් බොහොම දුරට එක සමාන වීමයි.
ඒ ජනප්‍රියත්වය නිසාම ටයිටැනික් විපතට පස්සෙ කාලෙකදි මේ නවකතාව ‘The Wreck of the Titan’ නමිනුත් නැවත මුද්‍රණය වෙනවා. කොහොම වුනත් ටයිටැනික් ඛේදවාචකයෙන් වසර තුනකට පස්සේ මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවක් ශරීරගත වීමෙන් මෝර්ගන් රොබර්ට්සන් මරණයට පත්වන නිසා මේ නවකතාවේ ජනප්‍රියත්වය මගින් මුදල් හරි හම්බ කරලා සාර්ථක වෙන්න ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
3. ටයිටන් නැවේ කතාව
මේ කෙටි නවකතාවට අනුව ටයිටන් කියන නැව තමයි ඒ වෙද්දී ලෝකයේ තියෙන විශාලතම මගී ප්‍රවාහන නැව. මේක කවදාවත් ගිලෙන්නේ නැති නැවක් හැටියටයි විරුදාවලිය ලබන්නේ (ටයිටැනික් නැව වගේම). මේ නැවේ ඉන්නවා බේබදු නාවිකයෙක්. ජෝන් රෝලන්ඩ් නම් මේ නාවිකයා තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ. තමන්ගේ ගමන අතරමැද අයිස් පර්වතයක ගැටෙන ටයිටන් නෞකාව මුහුදු බත් වෙන්න පටන් ගන්නවා. මේ අතරතුරදී මේ නැවේ මගියෙක් හැටියට ගමන්ගන්නා ඔහුගේ පැරණි පෙම්වතියකගේ දියණියක්ව ගලවාගෙන ගොඩබිමක් කරා පැමිණෙන්නට ජෝන් රෝලන්ඩ් සමත් වෙනවා. ඉන් පස්සේත් යම් යම් හැලහැප්පීම් කීපයකට මුහුණ දෙන්නට ජෝන් රෝලන්ඩ්ට සිදු වුණත්, කතාව නිමවන්නේ සතුටුදායක අවසානයක් සහිතවයි…
4. ටයිටන් සහ ටයිටැනික් අතර සමානකම්
ටයිටන් නැව මුහුදුබත් වීම ගැන ලියැවුණු කතාව කෙටියෙන් තමයි අපි ඉහතින් කිවුවේ. මේ කතාව ලියැවිලා අවුරුදු 14කට පස්සේ සුප්‍රකට ටයිටැනික් නැව මුහුදු බත් වෙනවා. ඉන් පස්සේ තමයි සමහරුන්ට හිතෙන්නේ ඒ අය කලින් කියවලා තිබුණු මේ ටයිටන් නැව සම්බන්ධ කතාවට ටයිටැනික් ඛේදවාචකය බොහොම සමානයි නේද කියලා. මේ සමානකම් ගැන කියනවනම් මෙහෙමයි,
- ටයිටන් සහ ටයිටැනික් නැව් දෙකම ඒ වන විට ලෝකයේ තිබෙන විශාලම නැවු දෙක වෙනවා.
- ටයිටන් නැවේ දිග අඩි 800ක් වන අතර ටයිටැනික් නැවේ දිග අඩි 882ක් වනවා.
- නැවු දෙකම අවර පෙති තුනකින් සහ කුඹගස් දෙකකින් සමන්විත වෙනවා.
- එකම මාසයේදී (අප්‍රේල්) ගමන් ආරම්භ කරන මේ නෞකා දෙකම එකම මාසයේදී තමයි අනතුරට පත් වෙන්නේ.
- නෞකා දෙකම අනතුරට පත් වෙන්නට හේතුව අධික වේගය නිසා අයිස් පරයක හැපීමයි. අනතුරට ලක්වෙන විට ටයිටන් නැව නොට් 25ක වේගයකින් ගමන් කරමින් තිබෙන අතර ටයිටැනික් නැවේ සටහන් වන වේගය නොට් 22.5ක්.
- නෞකා දෙකම අනතුරට පත්වන්නේ උතුරු අත්ලාන්තික් සාගරයේදීයි.
- මෙම නෞකා දෙකේම මගීන් 3000ක් පමණ ප්‍රවාහනය කළ හැකිව තිබූ අතර සමාන මගීන් ප්‍රමාණයක් ඒවායේ ගමන් ගනිමින් ඉන්නවා.
- නෞකා දෙකේම මගීන්ට ප්‍රමාණවත් තරම් ගලවාගැනීමේ බෝට්ටු නොතිබීම නිසා අනතුරින් වන ජීවිත හානි ප්‍රමාණය වැඩිවනවා.
5. කතාවේ සහ ටයිටැනික් ඛේදවාචකයේ ඇති වෙනස්කම්
බොහෝ සමානකම් තිබුණත් යම් යම් වෙනස්කමුත් මේ නෞකා දෙකේ කතන්දර අතර තියනවා. එකක් තමයි නැව් මුහුදුබත් වීමෙන් දිවි ගලවාගන්න ප්‍රමාණය. ටයිටන් නැව ගැන කථාවේදී දිවි ගලවා ගන්නේ 13 දෙනෙක් පමණයි. නමුත් ටයිටැනික් විනාශයෙන් 700ක පමණ පිරිසක් බේරෙනවා. ඒ වගේම ටයිටැනික් නැව අනතුරට පත්වන්නේ තමන්ගේ මංගල ගමනේදීයි. නමුත් ටයිටන් නැව අනතුරට පත්වන්නේ තමන්ගේ 3 වැනි ගමනේදීයි. මීට අමතරව මේ නෞකා දෙකේ ගමන් මාර්ග දෙකත් යම්තාක් දුරකට වෙනස්.
6. මෝර්ගන් රොබර්ට්සන්ට නැවු ගැන තිබුණු දැනුම නිසා වුණු අහම්බයක්ද?
ටයිටන් නැව ගැන ලියූ මෝර්ගන් රොබර්ට්සන් කියන්නේ තරුණ අවධියේ නාවිකයෙක් හැටියට කටයුතු කරපු තැනැත්තෙක්. ඒ කාලය වෙද්දී නැවු තාක්ෂණය සහ නෞකා ගමන් සම්බන්ධයෙන් ඔහු සතුව විශාල දැනුමක් තිබුණ බව කියැවෙනවා. නාවික ජීවිතයෙන් හෙම්බත් වන රොබර්ට්සන් පසු කාලෙකදී මුහුදු ගමන් සම්බන්ධයෙන් කතන්දර ලියන්න පටන් ගන්නවා. ඒකට හේතුවක් හැටියට ඔහු කියන්නේ ඒ වෙද්දි මුහුදු ගමන් ගැන ලියැවෙමින් තිබුණ කතා වල අසත්‍ය තොරතුරු රැසක් ඇතුළත් වීම තමන්ව මේවා ගැන ලියන්න පෙළඹුව බවයි. 1900 ගණන් වලදී නැවු නිර්මාණය වෙමින් පැවති තාක්ෂණය ගැන සහ නාවික ගමන්වල සිදුවිය හැකිව තිබූ අනතුරු ගැන දැනුමක් සහ හොඳ ඉවක් තිබුණු නිසා මේ විදිහේ සමානකම් සහිතව ටයිටන් නැවේ කතාව රොබර්ට්සන් විසින් ලියැවෙන්නට ඇතැයි කියලා සමහරු විශ්වාස කරනවා
7. රොබර්ට්සන්ට අනාගතය දැකීමේ හැකියාව තිබ්බාද?
මේ අතර තවත් සමහරුන් අතර තියන මතයක් තමයි ‘The Wreck of the Titan’ නමින් ටයිටන් නැවේ කතාව ලියපු මෝර්ගන් රොබර්ට්සන් අනාගතය දැකීමේ හැකියාවක් තිබුණු පුද්ගලයෙක්ය කියන එක. ඔහුගේ ඒ හැකියාව ගැන සනාථ කරන්න සමහරු ඔහුගේ තවත් කෙටි කථාවක් වන “Beyond the Spectrum” කථාව උදාහරණ හැටියට දක්වනවා. 1914 දී ලියැවුණු ඒ කතාවෙන් කියැවෙන්නේ ජපනුන් විසින් ඇමරිකාවට ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග දෙරට අතර යුද්ධයකට මග පෑදෙන ආකාරයයි. මේ කතාව සැබෑවක් බවට පත්වෙන්නේ 1941 දී ජපනුන් විසින් ඇමරිකාවේ පර්ල් වරායට එල්ල කරන ලද ප්‍රහාරයත් එක්කයි. මේ නිසා සමහරු කියනවා මේ විදිහේ ඉතිහාසගත ඛේදවාචකයන් දෙකක් ගැනම තමන්ගේ කෘති තුළින් අනාවැකි පළ කරන්න මෝර්ගන් සමත් වෙන්නේ ඔහු සතු අනාගතය දැකීමේ හැකියාව නිසා කියලා.
ටයිටන් සහ ටයිටැනික් විනාශයන් අතර ඇති සමානකම් අහම්බයක් විතරද නැද්ද කියන එක තීරණය කරන්න අපි Lifie පාඨක ඔබට පවරනවා. මේ ගැන ඔබේ අදහස් අපිට කමෙන්ටුවකින් කියන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා…
Leave a Reply