නිවාඩුවක් දාලා ගෙදර ඉන්න දවසට සිද්ද වෙන මරාල හතක්

ජීවත්වෙන්න තරමට සල්ලි ටිකක් හොයාගෙන ඉන්නකොට ඒක ආතල් එකක් ගන්න මදියි. ආතල් එකක් ගන්න තරමට ටිකක් වැඩිපුර සල්ලි හොයන්න ගියාම ආතල් එකක් ගන්​න වෙලාව මදියි. අනේ ඉතිං මේ ජීවන චක්කරේ ​නොමැරී මැරී මැරී හැඳි ගෑ විලාසේ ඉන්න අපිට සතු​ටකට කියලා තියෙන්නෙ සැනසීමෙන් ගෙදරට වෙලා ඉන්න දවසක් තමයි. අන්න ඒ විදියට මහා බලාපොරොත්තු තියාගෙන ෆුල් ත්‍රිල් එකේ නිදහසේ මොකුත්ම වැඩක් නොකර ඉන්න තියෙන දවසටත් අපි නොහිතන විදියට කෙලවීම් සිද්ධ වෙනවා. ඒ මොනවද කියලයි මේ කියන්නෙ. ඔයාලටත් මේ දේවල් වගේම මීට වෙනස් දේවල් නිවාඩු පාඩුවෙ ගෙදර ඉද්දි වෙලා තියෙනවා නම් අපිට කියන්න.

 

1. ඔයා එනවද?

Image Source – hellogiggles.com

නිවාඩු දවසකට උදේ අටහමාර කියන්නෙ පාන්දර තමයි. ඔන්න ෆෝන් රාජයා කන ගාව පත්තුවෙනවා. ආන්සර් කරපු ගමන්. “ආ රංගෙද? ඔයා එනවද?” කියල අහන්නෙ එස්බී නෙමෙයි. අපේ බොසා. නිවාඩු දවසෙත් වැඩට ගෙන්න ගන්න හදන්නෙ. අනේ ඉතිං කකුල කැඩිලා, ඔලුව තුවාල වෙලා, මට අපස්මාරෙ වගේ කියල බොරු කන්දක් ගැහුවට පස්සෙ පොර හිත වෙනස් කරවන ටෝකක් දානව. “ඩබල් ඕටී එකක් දෙන්න පුළුවන් වෙයි… මොකද කියන්නෙ ඔයා…” අනේ මෙවුවටත් රැවටෙන ජීවිත ඉන්නවා. රැවටුනත් නැතත් වසර අගිස්සෙ ලකුණු කොළේ අඩු ලකුණු වැටෙන්න ඕකත් හේතුවක් නිසා ඔන්න ඔහේ ඔෆිස් එකට යනව.

 

2. අම්මා පොයින්ට්ස්

Image Source – youtube.com

අම්මා ගෙදර ඉඳන් කරන ප්‍රධානම දෙයක් තමයි ඕපීඩීපී සර්විස් එක. දැන් ඔය ඕපීඩීපී සර්විස් එකේ ඉන්න ප්‍රොෆෙෂනල්ස්ලව තරහ කරගන්න එක කිසිසේත්ම හොඳ නෑ. නිකමටවත් ඕකුන් තරහ වුනොත් මං බඩ ලොකු ගෑණියෙක් එක්ක කාසල් එකේ පෝලිමේ උන්නා වගේ දේවල් අම්මගෙ කනේ තියනවා. අපේ අම්මත් කොච්චර ඕපීඩීපියේ කෙල පැමිණි කෙනෙක් වුනත් පුතා ගැන විස්තර හොයන්නෙ අනුන්ගෙන් නිසා ඔය කියන අනුන් තරහ කරගෙන බෑ. ඉතිං ඔය ඈයො කොච්චර අනුන්ගෙ කුණු කන්දල් හෙවුවත් දනට පිනට කැමති නිසා කරන එක එක ප්‍රොජෙක්ට්ස්වලට දායක වෙන්න කොල්ලො සෙට් එකට සිද්ධ වෙනවා. දායක නොවුනොත් ඒ කොල්ලොන්ගෙ ජීවිතේ දෙවරක් නොහිතා ඉවර කරලා දාන්න ඔය කියන සංගමේ ඈයොන්ට පුළුවන්නෙ. නිවාඩු දවස්වලට සෙට් වෙන ප්‍රධානම මරාලයක් තමයි ඔය.

 

3. පාත්වීම්

Image Source – pond5.com

පාත්වීම් කියල කිවුවම කට්ටියට එක පාරට මතක් වෙන දේ ගැන නෙමෙයි මේ කියන්නෙ. මේ කියන්නෙ නෑදෑ පාත්වීම් ගැන. සනුහරේ ඕපදූප, ගෙදරදොර අඩුපාඩු, කුණු කතා, වැනි අටෝරාසියක් වූ පොදි කද මළු බැඳගෙන යන එන ගෙදර ආතල් කුඩු කරලා යන්න බලාගෙන නෑදෑයෝ පාත්වෙන දවස් ඕනතරම් තියෙනවා. නිවාඩු පාඩුවෙ නින්දක් ගහලා ඉන්න බලාපොරොත්තුවෙන දවසකට එහෙම දෙයක් වුනාම ඉතිං කේන්තිය දෙකොනින් යනවා. මහ උන් නං ඇවිල්ලා කියන උලවුවක් කියලා ගියත්, උන් එක්ක එන පොඩි ඈයෝ කාමරේට පැනලා කම්පියුටරේට එබෙද්දි හිස්ට්‍රිය එලියට පනියි කියල හිතට පුදුම බයක් දැනෙන්නෙ සාන්ත.

 

4. සරණාගත

Image Source – pond5.com

තමුන්ගෙ ගෙදර ඇතුළෙම තමුන් සරණාගතයෙක් වෙන්නෙ කොහොමද කියල දන්නවද? සාමාන්‍යයෙන් නිවාඩු පාඩුවෙ ගෙදර ඉන්න දවසට කරන්න කැමති මොනවද? වතුර ටිකක් වැඩි වෙලා නාලා, හොඳට කාලා, සැපට නින්දක් දාලා, කැමති ෆිල්ම් එකක් පොතක් බලලා ඉන්න එකනෙ. හැබැයි ක්ෂණික විදුලි හෝ ජල කප්පාදුවකින් ඔබව ඔබගේ නිවස තුළම සරණාගත තත්ත්වයකට පත්කිරීමේ හැකියාව තියෙනවා. කාමරේට වෙලා ඉන්න බෑ දාඩියයි. සාලෙට වෙලා ඉන්න බෑ රස්නෙයි. එලියට බහින්නවත් මූණ කට හෝදගන්න බෑ. හිත නිදහසේ ටොයිලට් එකටවත් යන්න බෑ. මොකටද මහත්තයො එහෙම නිවාඩු.

 

5. රුදා

Image Source – steppingstonechiropractic.com

රුදාව කියල කියද්දි රුදා වර්ග ගොඩක් තියෙනවා. හැබැයි නිවාඩු දවසෙ අතොරක් නැතුව නිදාගෙන ඉඳලා එන්න ඉඩ තියෙන බෙල්ලෙ රුදාව, තුනටිය රුදාව කියන්නෙ නිවාඩු දවසකදි හතුරෙකුටවත් හැදෙන්න හොඳ නැති ලෙඩ දෙකක්. ආයෙ ඉතිං දිව්‍ය සැපසම්පත් තිබුනත් වටිනා දවසකින් පැය තුන හතරක් කාලා දාන්න ඔය කියන රුදාවකට පුළුවන්.

 

6. වැස්ස නිසා

Image Source – chemistryworld.com

සමහර දවස්වල සතිය මැද තමුන් කැමතිම මැච් එකක් වැටුනම බොරු ලෙඩක් හදාගෙන නිවාඩුවක් දාන්නෙ ෆුල් ආතල් එකේ මැච් එක බලන්න හිතාගෙන. හැබැයි සුදෝ කාලගුණේ බලලම ඔය කියන නිවාඩු දැම්මොත් ​හොඳයි. කාලගුණේ බලද්දි තැන් දෙකටම බලන්න ඕන. තැන් දෙක කිවුවෙ ගෙදරට සහ මැච් එක ගහන ක්‍රීඩාංගනේට. ක්‍රීඩාංගනේට වැස්සොත් මැච් එක හේදිලා යනව. ගෙදරට වැස්සොත් කේබල් සිග්නල් අවුල් වෙලා ටීවී එක හේදිලා යනවා. අඩු තරමෙ ගෙදරට වැස්සොත් ටීවී නැතත් සීතලට සනීපෙට නිදාගන්නවත් පුළුවන්. ඒත් වැස්ස නොබලා නිවාඩු දාන්නෙපා.

 

7. ඔමෙරී මා

Image Source – independent.co.uk

ගෙදර සුවෙන් සැපෙන් ඉන්න පුළුවන් අම්මා ඉන්නකල් විතරයි ෆ්‍රෙන්ස්. අම්මා දැනට ජීවතුන් අතර නැති, කසාද බැඳලා වෙනිං ගෙවල්වලට ගිය උන් ඒ අඩුව හොඳටම දන්නවා ඇති. හැබැයි ඉතිං නිවාඩු පාඩුවෙ ගෙදර ඉන්න දවසක අම්මා ලෙඩ වෙලා නං තත්ත්වය හරිම සෝචනීයයි. කන කෑමක් රස නෑ. බොන තේකක වෙනදා කොලිටිය නෑ. ඒ ඔක්කොම ෂේප් කරගත්තත් අම්මා අසනීපෙන් කියන අවුල හිතේ තියෙනකොට කිසිම ආතල් එකක් නෑ. දුක් ගොඩක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *