ඒ කාලේ පර​ණ ග​මේ කඩවල තිබුණ ස​හ සිද්ද වුණු මේ දේවල් මතකද?

අනූ ගණන් විතර කාලෙදි සාමාන්‍යයෙන් ගමකට තිබ්බෙ එක කඩයයි බොහෝ විට. හැබැයි ඉතින් ඒ කාලේ අපේ අවශ්‍යතා සරල වුණාද කියල දන්නෙ නැහැ, මොකද බොහෝමයක් අපේ එදිනෙදා අවශ්‍යතා සපුරන්න එච්චර දියුණු නැති මට්ටමේ තිබ්බ ගමේ කඩේකට වුණත් පුළුවන් වුණා. කල් ගත වෙලා ක්‍රම ක්‍රමයෙන් දෙදහස් ගණන්වලට එද්දි මේ ගමේ පොඩි කඩ ටික ටික මොඩිෆයි වෙන්න, එහෙමත් නැත්නම් තරඟයට මුහුණ නොදී හැකිලී යන්න පටන් ගත්තා

 අද වෙද්දි සුපර් මාර්කට්, මිනි සුපර් මාර්කට්වලින් ගිහින් ඔන්ලයින් මාර්කට් දක්වා අපි ගිය ගමනෙදි මේ ගමේ කඩවල් ගැන මතක බොහෝ දෙනෙක්ට අහිමි වෙලා තියනව. අපේ මේ උත්සාහය ඒ මතකය නැවත ගෙන දෙන්නයි.

 

1. තරාදිය, පාන් බටර් කාල සහ නූල

ඒ කාලේ ගමේ කඩවල තිබ්බෙ දෙපැත්ත බැලන්ස් කරන යකඩ තරාදි. ඒවා තිබුණත් දැන් කාලේ වගේ හැම දෙයක්ම ග්‍රෑම් ගණනින් කිරල මැනල ග​ණන් නියම කිරිල්ලක් ඒ කාලෙ තිබ්බෙ නෑ. සීනි, හාල්, පිටි, තේ කොළ, කරවල, තුනපහ වගේ දේවල් කිරන්න ​තමයි ඒක භාවිතා වුණේ. එතනින් එහාට ගත්තහම අද වෙද්දි සම්පූර්ණ එක ඒකකයක් බැගින් විකුණන සමහර දේවල් බාග සහ කාල් වශයෙන් ගන්නත් අපිට පුළුවන් වුණා. පාන් ගෙඩි කාලක්, ඇන්කර් බටර් කාලක්, සබන් කැට බාගයක් වගේ දේවල් අපිට මිලදීගන්න පුළුවන්කම ලැබුණ. මේව ඉතින් මුදලාලිගෙ අතේ හුරුවට තමයි කපල දෙන්නෙ. රෙදි හෝදන සබන් කැට කෑල්ල කපන්න වෙනම නූලක් තිබ්බා කඩේ කොනක එල්ලලා. පොඩි ළමයි හැටියට ඒ කාලෙ අපිට ආතල්ම වැඩක් තමයි මේ විදිහෙ නූලෙන් සබන් කෑල්ල කපන විදිහ බලන එක.

 

2. තේ කඩේ

ඉස්සර ගොඩක් ගමේ කඩ එක්කම පවත්වගෙන ගිය අනිත් අයිටම් එක තමයි ​මේක. තේ කඩේ. ගොඩක් වෙලාවට ලොකු මුදලාලිම තමයි මේ කඩේත් වෙළඳාම කළේ. එහෙම නැත්නම් තමන්ගෙ ගෝලයෙක් මේ වැඩේට දාල තිබ්බා. ගමේ උදවිය ඉතින් තේකක් බොන ගමන් පත්තරේ, රේස්කොළේ බලන්න මේ කඩේට ගොඩ වැදුණා. ගමේ බේකරියෙන් දාන බටර්, සීනි, කිඹුලා, ගල් බනිස්, ඥාණ කතා, ඉඟුරු විස්කෝතු වගේ කෑම ජාතිත් මේ කෑල්ලෙ වෙනම වීදුරු හෝ ලී වලින් හදපු පොඩි රාක්කයක් වගේ එක​ක අහුරලා තිබ්බා.

 

3. ගින්දර ලණු​ව

දැන් කාලෙ වගේ ඉස්ටැයිල් එකට ලයිටර් එක අරන් සිගරට් පත්තු කරන උදවි​ය ඒ කා​ලෙ හිටියෙ බොහොම අඩුවෙන්. හැබැයි එහෙම ලයිටර් නැති අයටත් බොහොම ඉස්ටයිලිෂ් විදිහට සිගරැට්ටුව පත්තු කරගන්න පුළුවන් ක්‍රමයක් මුදලාලි විසින් සකසල තිබ්බ. ඒ තමයි කොනක් පත්තු කරපු ලණු කෑල්ලක් කඩේ කොණකින් එල්ලල තැබීම. ඉතින් සිගරට් එක, බීඩිය දල්වගන්න ගමේ උදවිය පොඩ්ඩක් නැමිල, මූණ වකුටු කරගෙන මේ ලණු කෑල්ලෙන් ස්ටයිලිෂ් විදිහ​ට තමන්ගේ දුම් වැටිය දල්වගන්නව.

 

4. කෙහෙල් ගෙඩි ඛන්නා සහ ක​ඩේ භල්ලා

කඩේ ඉස්සරහින්ම තමයි කෙහෙල් කැන එල්ලලා තිබ්බෙ. ඒක ඉස්සරහින් බොහෝවිට දෙන්නෙක්ව දකින්න ලැබුණා. ඒ තමයි කෙහෙල් ගෙඩි ඛන්නා සහ කඩේ භල්ලා. කෙහෙල් කෙඩි ඛන්නා කියල අපි ​මේ හැඳින්වුවෙ කඩේට එන, කෙහෙල් ගෙඩි කන්න සෑහෙන ගිජු කමක් දක්වන පොරකට. ඉතින් මේ කියන පොර කඩේට වැඩකට ආවත්, නිකන් ටැග්ගැහෙන්න ආවත් කෙහෙල් ගෙඩි හත අටකටවත් වග කියල තමයි ආයෙ යන්නෙ. කෙහෙල් කැනෙන් ගෙඩිය ගලෝගෙන, කෙහෙල් ලෙලි එළියට විසි කර කර තමයි කන්නෙත්. ඒ කාලෙ මේ විදිහෙ කඩේට එන උදවිය කෙහෙල් ගෙඩි කාපු ගණන් මිනුම් කඩේ වෙන වැඩ කරන ගමන් මුදලාලි කොහොම ගැන්නාද කියන එක තමයි අදටත් හිතාගන්න බැරි.

කඩේ භල්ලා කියල අපි මෙතන කිවුවෙ මේ ගොඩක් කඩවල ඉස්සරහ ලැග​ල හිටපු බල්ලෙක්ට. හැම කඩේකට වගේම පුරුදු වෙලා හිටපු බල්ලෙක් දෙන්නෙක් හිටියා. එහෙම නැත්නම් කඩේ මුදලාලිම ෆිට් එකට සෙට් කරන් හිටපු බල්ලෙක් හිටියා. මේ බල්ලා ඉතින් කඩේ ඉස්සරහට වෙලා දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට ඌ නිදියන්නෙත් කඩ පිළේ තමයි.

 

5. එන්ටර්ටේන්මන්ට්

විනෝදාස්වාදය සඳහා සෙට් වෙන්න සමහර කඩවල් ඉස්සරහ තිබ්බ දෙයක් තමයි මේ බංකුව. දාම් අතක් අදින්න, ගමේ ඕපදූපයක් යාං හෑල්ලක් කියවන්න, පත්තරේ කියවලා නිවුස් එකක් ෂෙයාර් කරන් ආතල් එකක් ගන්න කට්ටිය සෙට් වෙච්ච තැනක් තමයි මේක. කාලෙ කන්න, ගමේ සෝෂල් ගේම් එක ලල් එකේ තියාගන්න සෙට් වෙන මේ කට්ටිය නිසා ගමේ තේ කඩේට එහෙම බොහොම වාසි වුණා.

 

6. පොත

ඒ කාලේ ගොඩක් උදවිය සුද්දෝ වගේ බඩු අරගෙන අන්තිමට මුදලාලිට කියන සුන්දර වාක්කියක් තිබ්බා. ඒක බොහෝ වෙලාවට කියන්නේ බඩු මල්ලත් අරන් ශරීරය වට බාගයක් කරකවන ගමනුයි. ඒ තමයි, ‘මුදලාලි පොතට දාගන්න’ කියන එක. මේක කියලා ඉවර වෙලා මුදලාලි දිහාට පොඩි අහිංසක හිනාවකුත් දාගෙන තමයි ගොඩක් වෙලාව​ට අදා​ළ පුද්ගලයා හැරෙන්නෙ. මේ කියපු පොතේ තමයි ගමේ හැම ගැනුම්කරුවගේ​ම එකවුන්ට් රිපෝට් එක, ගනුදෙනු ඉතිහාසය සටහන් වෙලා තිබ්බේ. මේ සමහර අයගෙ එකවුන්ට් නම් මුදලාලිට හොඳට මතකයි. මොකද ඒව තමයි කොයි වෙලෙත් සෑහෙන හිඟ මුදල් සටහන් වෙන ඒවා. මේ වගේ කෙනෙක් පොතට දාගන්න කියල මුදලාලිට කිවුවහම මුදලාලි බොහොම ස්ථිරව ඒත් කාරුණිකව මතක් කරනව ‘දැන් නම් ක්‍රෙඩිට් ලිමිට් එක පැනල පුතෝ’ කියල. එහෙම කිවුවා කියල බඩු නොදී ඉන්නෙ නම් නෑ. නොදී ඉන්නෙ බොහොම කලාතුරකින් තමයි.

 

7. ගෝලයා

ඒ කාලේ සමහර කඩවල ගෝල වැඩේ මුදලාලිගෙම පුතා තමයි කළේ. එහෙම නැත්නම් ගෝල කොල්ලෙක් හිටියා මේ වැඩේට. මේ කොල්ලා එක්කෝ මුදලාලිගෙ ඥාති පුතෙක්. එහෙම නැත්නම් කොහෙ හරි ඈත ගම් පළාතක ඉඳන් ඉබාගාතේ ආපු කොලු කුරුට්ටෙක් වුණා. බිසී මුදලාලිට බඩු දෙන්න හෙල්ප් කිරීම, තේ කඩේ වැඩ බැලී​ම, මුදලාලිට අවශ්‍ය කෑම බීම අඩුමු කුඩුම සපයා දීම, කඩේ ඇරීම සහ වැසීම වගේ වැඩ තමයි මේ ගෝල කොල්ලට පැවරිලා තිබ්බෙ. සමහර දවස්වලට අහල පහළ ළමයි ක්‍රිකට් ගහද්දි එහෙම මේ ගෝල කොල්ලා නලියනවා. ඉතින් කරුණාවන්ත මුදලාලි කෙනෙක් හිටියොත් කියනවා ‘කොලුවො උඹත් ගිහින් බෝල අතක් ගහල වරෙන්’ කියලා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *