ළමා අපචාර ගැන ඔබේ දරුවා දැනුවත් කළ යුතු ආකාරය

ළමා අපයෝජනය විදිහට හැඳින්වෙන්නෙ ළමයෙකුගේ කායික හෝ මානසික තත්ත්වයට, ඔහුගේ හෝ ඇයගේ යහපතට හා මනා කාලක්‍රියාවට එරෙහිව සිදු කරන කුමන හෝ අයහපත් ක්‍රියාවක්. පැහැරගැනීම්, අතහැර දැමීම්, ලිංගික අපචාර, ළමා මෙහෙකාර සේවය වගේ හුඟක් කාරණා මේ යටතේ කතාබහ කෙරෙනව. හැබැයි මේ ගැන සිදුවෙන අන්තර්ජාතික මට්ටමේ කතාබහ වලදී පවා වැඩිපුරම අවධානය යොමු කරල කතා කෙරෙන්නෙ ළමයින්ට සිදුවෙන ප්‍රචණ්ඩ ක්‍රියා සහ ලිංගික අතවර ගැනයි. ලංකාවේ තත්ත්වය ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ දැන් දැන් අපිට අහන්න ලැබෙන අහස පොලොව නුහුලන අපරාද වල ප්‍රවෘත්ති දැක්කම. 

සංඛ්‍යා දත්ත වලට අනුව 2019 වසරේදි ළමා අපයෝජන ගැන ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ලැබුන පැමිණිලි විතරක් 8558ක්. ඒ අතරිනුත් සැලකිය යුතු ප්‍රමාණයක් ලිංගික අපචාර ගණයට ගැනෙන අපයෝජන. ඉතින් පහුගිය දවස්වල ‘හතේ අපේ පොත’ ගැන මහා ලොකු කතා බහක් සිද්ධ උනාට ඊටත් කලින් පුංචි කාලෙ ඉඳන්ම මේ ලිංගික අඩත්තේට්ටම් ගැන, ඒවගෙන් වළකින හැටි ගැන පුංචි දරුවන්ව දැනුවත් කරලා තියන්න ඕන කාලයක් මේක. ඉතින් අපි හිතුව දෙමව්පියෝ විදිහට ඔබේ පුංචි දරුවන් එක්ක මේ මාතෘකාව කතා කරන්න ඕන කොහොමද කියන එක ගැන කියන්න. මල් කැකුළු වගේ අහිංසක පුංචි පැටව් තමන්ගෙ විකෘති කාම ආශාවන් සංසිඳවගන්න පාවිච්චි කරන පව්කාරයො ලෝකෙන්ම වඳ කරලා දාන්න ඕන කියන එක ගැනනම් කිසිම විවාදයක් නැහැ. ඒත් දෙයක් උනාට පස්සේ පසුතැවෙනවට වඩා තමන්ගෙ දරුපැටව් රැකගන්න එක අපේ වගකීම නිසා මේ ගැනත් කියවලා ඉමු.

 

 

1. ශරීරාංග ගැන කතා කරන්න

පුංචි කාලයේදිම දරුවෙක්ට ඇතිවෙන කුතුහලයක්නෙ ගැහැණු ළමයි, පිරිමි ළමයි අතරේ වෙනස. ටිකක් තේරෙන වයසට ආපු ගමන්ම ගෙදර අයියලා අක්කලා, නංගිලා මල්ලිලා අනිත් අයගේ අමුතු ගජමැටික් ගැන බොහොම කුතුහලයෙන් විමසනවා. අන්න ඒ වෙලාවට ඒක “හෑයියා” කිය කියා හංගන එක තමයි අපි කරන ලොකුම වරද. ඒ වෙනස්කම් දැකලා විමසන වයසට ආපු ගමන්ම දරුවන්ට කියල දෙන්න ගැහැණු සහ පිරිමි අය වෙනස් වෙන ආකාරය, ඒ ඒ අවයව වල වෙනස ගැන. මහා ලොකු ජීව විද්‍යා පාඩම් නොවුනට සරලව ඔවුන්ට තේරෙන විදිහට එහෙම වෙනසක් තියෙන බව තේරුම් ගන්න අරින්න. 

 

 

2. ශරීර සීමාවන් කියාදෙන්න

ඊළඟට කරන්න ඕන දේ තමයි මේ කියල දීපු ශරීරාංග වලට තියෙන සීමාවන් කියල දෙන එක. ඒවා වැහෙන්න ඇඳුම් ඇඳිය යුත්තේ ඇයි? ඒ සම්බන්ධ සනීපාරක්ෂක පුරුදු, පිටස්තරයින්ට නිරාවරණය වෙන්න පුළුවන් ශරීරයේ මොන මොන දේවල් විතරක්ද, කියන දේවල් ගැන ළමයින් එක්ක කතා කරන්න පැකිලෙන්න එපා. එහෙම නැතුව ඒ ශරීරාංග ගැන වෙන කෙනෙක් දරුවාත් එක්ක කතා කරපු දවසකට අපිට කරන්න වෙන්නෙ පසුතැවෙන එක විතරයි. ඒ නිසා පුංචි දවස්වල ඉඳන්ම තමන්ගේ ශරීරයේ තමන්ටත්, අවශ්‍යම අවස්ථාවල දෙමව්පියන්ට හෝ ලඟම භාරකාරයාටත් විතරක්ම අල්ලන්න පුළුවන් පෞද්ගලික අවයව තියෙන බව දරුවන්ට කියල දෙන්න. පුංචි දවස්වල ඉඳලම පිටස්තරයින් ඉදිරියේ ඇඳුම් නැතුව ඉන්න එක, පිටස්තරයින් එක්ක නාන්න, ඇඟ හෝදන්න වගේ පෞද්ගලික සනීපාරක්ෂක කටයුතු වලට යන එක වළක්වන්න. 

 

 

3. නොගැලපෙන දර්ශන/ පින්තූර

තමන්ගේ පෞද්ගලික අවයව නොපෙන්වීම වගේම අනුන්ගේ පෞද්ගලික අවයව දැකීමත් නොකළ යුත්තක් කියන එකත් කියල දෙන්න ඕන. කවුරු හරි කෙනෙක් එහෙම පෞද්ගලික අවයව එහෙම නැත්තම් එයාගේම හරි වෙන කෙනෙකුගේ අවයව වල පින්තූර හරි පෙන්නන්න එනවනම් ඒක වරදක් කියන එක දරුවාට කියල දෙන්න. 

 

 

4. සෑමවිටම අපහසු අවස්ථා දැනුම් දෙන්න

එහෙම කවුරුහරි කෙනෙක් අනවශ්‍ය පින්තූර, වීඩියෝ දර්ශන හරි පෞද්ගලික අවයව හරි පෙන්වන්න උත්සාහ කරනවානම්, පෞද්ගලික අවයව ස්පර්ශ කරන්න උත්සහ කරනවානම් ඒ වෙනුවට එක එක අල්ලස් ඒ කිව්වේ ටොෆි, චොකලට් වගේ දේවල් දෙන්න උත්සාහ කරනවනම්, එහෙමත් නැත්තම් “අම්මලාට කිව්වොත් ගහනවා” වගේ තර්ජන බිය වැද්දීම් කරනවනම්, ඒ වලට අවනත නොවී ඒ හැම අවස්ථාවක් ගැනම තමන්ගේ දෙමව්පියන්ව දැනුවත් කරන්න ඕන කියන එකත් පුංචි දරුවන්ව ලංකරගෙන කියල දෙන්න ඕන කාරණයක්. 

 

 

5. ශරීරය ගැන රහස් සුදුසු නැත

රහස් රකින එක ඇත්තටම හොඳ පුරුද්දක්. වැඩිහිටියො උණ දවසක ජීවිතේ පහසු වෙන්න පුංචි කාලෙම පුරුදු කරන්න ඕන හොඳ පුරුද්දක්. හැබැයි ඒ තමන්ගේ ශරීරය ගැන රහස් නොවෙන බවත් දරුවන්ට කියල දෙන්න අවශ්‍යයි. මොනම විදිහේ අල්ලසකට හරි, එහෙම නැත්තම් අදාළ පුද්ගලයා තරහ වෙනවට අකමැති නිසා, ඒ කෙනාට ඇති ආදරය නිසා, අම්මලාට කිව්වොත් ගහයි කියන බිය නිසා කියන මොන විදිහේ කාරණයක් නිසාවත් තමන්ගේ හෝ වෙන කෙනෙකුගේ ශරීරය, අපි කලින් කියල දීපු පෞද්ගලික අවයව ගැන රහස් එකිනෙකා අතරෙ තියාගන්න එක ලොකුම ලොකු වැරැද්දක් බව ඔවුන්ට කියල දෙන්න. 

 

 

6. රහස් සැඟවීමෙන් මිස හෙළි කිරීමෙන් කරදරයක් නොවන බව

හැබැයි අපි ඔය මොන දේ කිව්වත් “අම්මලාට කිව්වොත් ගහනවා” වගේ දරුණු කතාවක් කිව්වොත් පුංචි දරුවෝ බය වෙනව කියන එක අපි දන්නවනේ. ඒ නිසා එහෙම තර්ජනය කරලා බය කරගන්න තියෙන හැකියාවත් නැති කරන්න ඒ ගැනත් මුලින්ම කියල දෙන්න. කවුරු මොන දේ කියල තර්ජනය කළත් තමන්ට වැඩියම විශ්වාස කරන්න පුළුවන් අම්මා, තාත්තා හෝ භාරකාරයාට ඒ දේවල් කියන එකෙන් දරුවට කිසිම අනතුරක් නොවෙන බවත් එහෙම අනතුරක් නොවෙන්න දෙමව්පියන් වගාලාගන්න බවත් ඒත්තු ගන්වන්න. එහෙම නොකියා රහස් හංගගෙන හිටියොත්නම් ලොකු කරදරයක් වෙනව කියන එකත් කියල දෙන්න. 

 

 

7. ලඟම මිතුරන් හෝ වැඩිහිටියන් සමඟ ඇති සීමාවන්

අපි කලිනුත් කිව්ව වගේ දෙමව්පියන් හෝ ලඟම භාරකාරයින් ඇරුනහම පිටස්තර කිසිම කෙනෙක් එක්ක දරුවන්ව උවමනාවට වඩා මුහු කරන එක අවදානමක්. ඒ අය ලං වෙන්නේ ඇත්තටම ආදරේ නිසා වෙන්න පුළුවන්. ඒත් මේ අහන දකින දේවල් එක්ක අද කාලේ කිසිම කෙනෙක් විශ්වාස කරන්න බැහැනෙ. ඒ නිසා කොච්චර ගෙදරට නිතරම යන එන කෙනෙක් උනත්, කොච්චර ආදරේ කෙනෙක් එක්ක උනත් සීමාවක් ඇතුව හැසිරෙන හැටි කියල දෙන්නම ඕන. 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *