භාෂාවක් ඔන්ලයින් ඉගෙනීමේ වාසි

ඔන්ලයින් ලර්නින් කියන එක දැන් ජනප්‍රියයි. කොවිඩ් නිසා ලෝකෙට ආපු එක හොඳ දෙයක් තමයි ඔන්ලයින් අධ්‍යාපන අවස්ථා කියන්නේ. දැන් භාෂා ඉගෙනගන්නත් ඔන්ලයින් අවස්ථා එමට තියෙනවා. භාෂා ඉගෙනගැනීමේදි ඒ ඔරිජිනල් භාෂා කථිකයන්ගෙන්ම ඉගෙනීමේ ලොකු වාසියක් තියෙනවා. ඉතින් ඒ වාසිය සහ තව තියෙන අමතර වාසි මොනවද කියලා අපි බලමු.

 

 

1. තෝරාගැනීම් ගොඩයි

අපි හිතමු අපිට ඕනි ඔෆිස් වැඩකට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න කියලා. ඒත් අපි ඉන්න පළාතේ ඉංග්‍රීසි පන්ති තිබුණත් අපිට හිතට අල්ලන විදිහේ එකක් නැති වෙන්න පුළුවන්. නැතිනම් හිතමු අපිට ඕනි ස්පාඤ්ඤ රටට යන්න කලින් ස්පැනිශ් ඩිංගක් තොල ගාගන්න කියලා. එතකොට ලංකාවේ ස්පාඤ්ඤකාරයෝ හොය හොයා යන්න අපිට වෙලාව නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට අපේ මට්ටමට අපිට ඕනි දේ හොයාගෙන කෝස් එකක් ෆලෝ කරන්න ඔන්ලයින් අවකාශය වැදගත් වෙනවා. ඔන්ලයින් අවකාශයේ අපේ මට්ටමට ගැළපෙන, අපේ අතේ තියෙන ගාණට සරිලන කෝස් එකක් ලේසියෙන් සොයාගන්නට අපිට පුළුවන් වෙනවා.

 

 

2. තැන අප්සට් එකක් නැති වීම

කොවිඩ් කාලේ අපි ගෙදර ඉන්නේ. සමහර විට අපි වැඩ කරන්නේ කොළඹ වුණත් අපිට ඉන්න වෙලා තියෙන්නේ ගෙදර. ඒ වගේම කාර්යාලයේ සිට හවස ක්ලාස් එකකට හෝ පාන්දර වීකෙන්ඩ් ක්ලාස් එකකට යනවා කියන්නේ මගටම ලොකු කාලයක් වියදම් වෙනවා කියන එක. ඔන්ලයින් ක්ලාස් එකක් තෝරාගත්තම අපි ඉන්න තැන ඉඳලා ක්ලාස් එකට දුරක් නැහැ. අපේ අතේ තියෙන ෆෝන් එකෙන් වුණත් ඒ කෝස් එකේ කටයුතු කරන්න පුළුවන්.

 

 

3. අනාගත ලෝකයට පෑහීම

අපිට කාලයක් භාෂාව ඕනි වුණේ කතාකරන්න, ලියන්න විතරයි. ඒත් අද වෙද්දි ඊමේල් ගහන්න, චැට් කරන්න, ඔන්ලයින් උත්තර දෙන්න භාෂාව උවමනා වෙනවා. ඔන්ලයින් භාෂාවක් ඉගෙන ගනිද්දි මේ ඔන්ලයින් වටපිටාවේ තියෙන භාෂාමය යෙදීම් වලට පුහුණුවක් කොහොමත් ලැබෙනවා. ඒක අපේ අධ්‍යයන කටයුතු වලට පහසුවක් වෙනවා. ඒ වගේම භාෂාවක් ඉගෙන ගනිද්දි ඒ භාෂාව කතාකරන ඇත්තම උදවිය අද කතාකරන විදිහ අනුව භාෂාව ඉගෙනගන්නත් ඔන්ලයින් ක්‍රමය නිසා අපිට අවස්ථාව ලැබෙනවා.

 

 

4. ඔන්ලයින් සහතික ලබාගැනීමට හැකි වීම

අපි ගමේ පියසිරි සර්ගෙන් ඉංග්‍රීසි ඉගෙනගත්තට අපිට පිහිටන්නේ හැකියාව විතරයි. අපේ දක්ෂතා පෙන්වන්න වැදගත් සහතිකයක් ලැබෙන්නෙ නැහැ. ඒත් කෝසෙරා වගේ කෝස් එකක්, බ්‍රිටිෂ් කවුන්සිල් ඔන්ලයින් කෝස් එකක් කළොත් අපිට ඒ හරහා ඔන්ලයින්ම ඉදිරිපත් කරන්නට පුළුවන් සහතිකයක් ලැබෙනවා. ඒක ලංකාවේ විතරක් නෙමෙයි, විදෙස් රැකියාවලට ඉල්ලුම් කරද්දිත් පැහැදිළිව ඉදිරිපත් කරන්නට පුළුවන්. පිටරට සරසවි වලට ඇතුළත් වෙන්න භාෂා සුදුසුකම් විදිහට ඩුවෝලිංගෝ (Duolingo) වගේ ඇප්ස් හරහා ලැබෙන සහතිකය පාවිච්චි කරන්න පුළුවන් කියන කතාබහකුත් දැන් ඇතිවෙලා තියෙනවා.

 

 

5. වෙලාව ප්‍රශ්නයක් නැති වීම

දැන් ඔන්ලයින් භාෂා ඉගෙනගැනීමත් ලේසි වැඩක් නෙමෙයි. දවසට, සතියට අපිට කරන්න ඕනි වැඩ එනවා. ඒවා ගෝල් විදිහට අරගෙන ඒ වැඩ කරන්න ඕනි. එතකොට තමයි කෝස් එක යන්නේ. ඒත් ඒ වැඩ කරන්න හරියටම මේ වෙලාව කියලා වෙලාවක් බොහෝවිට නැහැ. අපිට ලේසි උදේ නම් උදේ කරන්න පුළුවන්. වඩාත් ලේසි හවස නම් හවස කරන්න පුළුවන්. අහං ඉන්න දිග ලෙසන් එකක් තියෙනවා නම් අපිට යන එන ගමන් ඒක අහගෙන යන්නත් පුළුවන්කම තියෙනවා.

 

 

6. ඇත්ත නවීන භාෂාව සමග සම්බන්ධ වීම

භාෂාව කියද්දි ඒක කාලෙන් කාලයට අලුත් වෙනවා. අපිට සාමාන්‍යයෙන් පාැසල් වල ඉගෙනගන්න ලැබෙන භාෂා පොත පත පවා ටිකක් පරණයි. ඒත් මේ ඔන්ලයින් ක්‍රමයේදි අපිට අහන්නට, දකින්නට ලැබෙන පාඩම් කරන්නේ බොහෝවිට ඒ භාෂාව උපතින්ම කතාකරන අය. එතකොට ඒ වචනවල නිවැරදි උච්ඡාරණය අපිට ලබාගන්න ලේසියි. ඒ වගේම භාෂා භාවිතයේදි තියෙන සංස්කෘතික යෙදවීම් ගැනත් අවබෝධයක් අපිට නේටිව් ස්පීකර්ස්ලගෙන් ලබාගන්න පුළුවන්.

 

 

7. විශ්වාසය ඇති වීම සහ ලාභදායී වීම

අපිට නම් ඔන්ලයින් තියෙන ඇතැම් කෝසස් ටිකක් මිල අධිකයි වගේ පේනවා. ඒත් අපිට ඒ කෝස් එක හා සමාන ලංකාවේ තියෙන ඒ මට්ටමේ කෝස් බැලුවොත් ඔන්ලයින් කෝස් ඊට සාපේක්ෂව ලාබයි. ඒ වගේම අපිට ඔන්ලයින් ඉගනගැනීමේදි අපිට විශ්වාසය ඉබේම ඇතිවෙනවා. මොකද අපි ක්‍රම ක්‍රමයෙන් ඉගෙනගනිද්දි අපිට ලැබෙන සුදුසුකම ගැන අපිට යම් තහවුරුවක් ලැබෙනවා. මොකද මේක අපි විතරක් සම්බන්ධ වෙන අවස්ථාවක් නෙමෙයි. එයින් අපි තැනකට ආවා කියන්නේ අපි භාෂාව ගැන ඉබේම ප්‍රවීණත්වයක් උපයාගෙන තියෙනවා කියන එකයි.

 

ඔන්ලයින් ගෙව්වා කියල අපිට ඉබේම නම් සහතිකය ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපිට ලේසි වෙන්නෙත් නැහැ. සමහර වෙලාවට ඒ ඔන්ලයින් කෝස් වල වේගයට අනුව අපිට හැඩගැහෙන්න ටිකක් ගේමක් දෙන්න වෙනවා. ඉතින් ඒ විදිහට යම්යම් අපහසුතා තිබුණත් භාෂාවක් අලුතින් ඉගෙනගන්න නම් ඔන්ලයින් ඉගෙනීම ගැනත් හිතලා බලන එක වටිනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *