ව්‍යායාම එහෙම් නැත්නම් එක්සර්සයිසස් කිව්වම අපිට මතක් වෙන්නෙම ජිම් එහෙකට ගිහින් හති දාගෙන දාඩිය පෙරාගෙන දුවන, බර උස්සන දසුනක්. හැබැයි අද මේ කියන්න හදන්නෙ එහෙම මහන්සියක් නොවීම කාලයක් අමුතුවෙන් වැය නොකරම කරන්න පුළුවන් ෆේෂල් එක්සර්සයිසස් ටිකක් ගැන. ටීවි බලන ගමන්, තමන්ගෙම වාහනයක යන එන ගමන් වගේම වෙන ඕනෑම වැඩක නිරත වෙන ගමන් මේ ව්‍යායාම ඔයාලට කරන්න පුළුවන්. මුහුණේ සම එල්ලා වැටීම, තරුණ පෙනුම අඩුවීම වගේ ගැටළු කීපෙකටම මේ සරල ව්‍යායාම වලින් සහනයක් ලබාගන්න පුළුවන්.
1. කම්මුල් වල මහත නැති කරගන්න
චීක් බෝන්ස් එහෙම නැත්නම් කම්මුල් දෙපස මහත් වීම නිසා මුහුණට මහත පෙනුමක් එක් වීම වලක්වගන්න කැමති අයට මේ ව්‍යායාමය කරන්න පුළුවන්. මාළුවෙකුගේ කට ආකාරයට උල් කර තොල් පමණක් අරිමින් වහමින් තද කරන්න. තප්පර 20-25 වාර 5ක් කිරීම ප්‍රමාණවත්. ඒ ආකාරයෙන්ම ඕ අකුර කියවෙන ආකාරයට කට උල් කර තොල් දත් දෙසට අකුලාගෙන තත්පර කිහිපයක් සිටින්න. දිනකට 4 වතාවක් පමණ කිරීම ප්‍රමාණවත්.
2. ශක්තිමත් හකු පෙදෙසකට
මස්පිඬු එල්ලෙන හකු පෙදෙසකට වඩා හොඳින් හම තද වුණු හකු ප්‍රදේශයකට කැමති නම් මේ පහසු ව්‍යායාමය කරල බලන්න. යටි ඇන්ද ලිහිල් කර ඉදිරියට තදින් අදින්න. කම්මුල් සහ කන් ආශ්‍රිත මාංශ පේෂීන් ඇදෙන ලෙස මෙසේ තප්පර 10-15ක වෙලාවක් 4 වතාවක් පමණ කරන්න.
3. ඇස් වටා රැලි ඉවත් කරගන්න
ඇහි පිල්ලම් ඉදිමුණු ගතියත් ඇස් වටා රැලි වැටීමත් තියෙන අයට මේ ව්‍යායාමය හොඳ ප්‍රතිඵල ගෙන දෙනව. පුදුමයට පත්වුන වෙලාවක ඇස් ලොකු වෙන ආකාරයට ඇස් ලොකු කරන්න. තප්පර 10ක් පමණ ඇස් එහෙම ලොකු කරන් ඉන්න. සැහැල්ලු කරන්න. මේ ආකාරයට පස් වතාවක් පමණ කරන්න.
4. ලාෆ් ලයින්ස් ඉවත් කරගන්න
කට දෙපසින් එන ඉරි දෙක කාලයක් ගත වෙනකොට වයසත් එක්ක මතු වෙන්න ගන්නව. මේ ඉරි මතු වීම වලක්වගන්න මේ මේ ව්‍යායාමය සුදුසුයි. කටට හොඳින් හුළන් පුරවාගන්න. බැලුමක් පුම්බන විට කම්මුල් වල ඉදිරිපසට හුළන් පුරවාගෙන තද කරන ආකාරයට තප්පර 10-15ක් තබාගන්න. මෙය දිනකට පස් වතාවක් පමණ කරන්න.
5. ඩබල් චින් නැති කරගන්න
බෙල්ල මහත් වීම සහ නිකටට යටින් මස් පිඬු ලිහිල් වීම බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. මේ ගැටළුව නැති කරගන්න පුළුවන් පහසු ව්‍යායාමයක් තමා මේ. බෙල්ලේ මාංශ පේෂීන් හොඳින් ඇදෙන ලෙසට නිකට උඩට හරවන්න. තප්පර කීපයක් එලෙස රඳවාගෙන නිකට බෙල්ලට තද වන ලෙසට පහත් කරන්න. එලෙස තප්පර කීපයක් රඳවාගන්න. මෙය දිනකට 6 වතාවක් පමණ කරන්න.
6. දෙතොල් එල්ලා නොවැටෙන්න
දෙතොල් වටා සම සහ මාංශ පේෂීන් එල්ලා වැටීම වලක්වාගන්න මේ ක්‍රමය සාර්ථකයි. හාදුවක් නැත්නම් කිස් එකක් දෙන ආකාරයට දෙතොල් මදක් උල් කරගන්න. තප්පර 10ක් පමණ මේ ඉරියව්වෙන් ඉන්න. දවසකට පස් හය වතාවක් කිරීම ප්‍රමාණවත්.
7. දීප්තිමත් නැවුම් ඇස්
දවස තිස්සේම වෙහෙසෙන ඇස් වල එන විඩාබර එල්ලා වැටුණු ගතිය නැති කරගන්න මේ ව්‍යායාමය වැදගත්. හිස කෙලින් තබා ඇස් වලින් පමණක් පුළුවන් තරම් ඉහළ එක ඉලක්කයක් දෙස බලන්න. තප්පර තුනක් පමණ එසේ හිඳ බිම බලන්න. මෙසේ එක වරකට හතර වතාවක් බැගින් දිනකට දෙතුන් වතාවක් කරන්න.
Leave a Reply